මෙන්න මේ අවස්ථාවලදී කාගෙවත් පස්සෙන් යන්න එපා

ඔය කාගෙහරි පස්සෙන් යනවා කියලා අපි කීමට කියන එකේ තේරුම දන්නවනේ. ඒ කියන්නේ, තව කෙනෙක් අපිව ගණන් නොගෙන හරි, තකන්නේ නැතුව හරි ඉන්නකොට, අපි බැගෑපත් වෙවී ආයෙ ආයෙ ‘අනේ අපිව ඈත් කරන්න එපා, අපිව ලං කරගෙන ඉන්න’ කියලා කියමින් ඒ කෙනාට ආයෙමත් සමීප වෙන්න හරි, ඒ කෙනා ලව්වා අපිව ගණන් ගන්වගන්න හරි උත්සාහ කරන එකට තමයි  මේ පස්සෙන් යනවා කියන්නේ. එහෙම නැතිනම් සමහර වෙලාවට කෙනෙක් දිගින් දිගටම අපිව පාච්චල් කරමින්, අපිව පහත හෙළමින්, එයාට අපිව වැඩක් නෑ, අපිව අදාළම නෑ කියලා පෙන්නන්න උත්සාහ කරන වෙලාවකත්, නැවතීමක් නැතුව එයාට බැඳී ඉන්න උත්සාහ කරන එකත් ඔය කියපු විදියේ පස්සෙන් යෑමක්ම තමයි.

ඇත්තටම එහෙම අපිව වැඩක් නැහැයි කියලා පෙන්නන කෙනෙක්ගේ පස්සෙන් යෑමෙන් අපිට නැතිවෙන්නේ මොනවද? ප්‍රධාන වශයෙන්ම අපිට අපේ ආත්ම අභිමානය නැතිවෙනවා. ඊට පස්සේ, අපේ පෞරුෂය නැතිවෙනවා. එතකොට අනික් මිනිස්සු අපිව දකින ප්‍රතිරූපයට හානියක් වෙනවා. ඒ ඔක්කොටමත් වඩා, මේ පස්සෙන් යෑම නිසා තමන්ට තමන් නැතිවෙන්න පුළුවන්. අන්න ඒ නිසා, කිසිම මොහොතක කිසිම කෙනෙකුගේ පස්සෙන් යන්න එපා. විශේෂයෙන්ම මේ පහළ කියලා තියෙන අවස්ථාවන් වලදී කිසිම කෙනෙක්ගේ පස්සෙන් යන්න එපා.

 

1. කෙල්ලෙක්/කොල්ලෙක් අපිට කැමති නෑ කියනව නම්

ආදරේ කියන්නේ ඇත්තටම ඒකපාර්ශ්විකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පුළුවන්, හැබැයි හැමදාටම බෑ. එක අතකින් අත්පුඩි ගහන්න බැහැනේ. ආන්න ඒ වගේ. හැබැයි එහෙම වුණත්, ගොඩක් දෙනෙක් ඔය ආදරේ නිසා මිනිස්සුන්ගේ පස්සෙන් යනවනේ, හා නැද්ද? එක්කෝ තමන් ආස කරන, තමන් ආදරේ කරන කෙනා තමන්ට කැමැති නැති නිසා එයාගෙ පස්සෙන් යනවා, එයා කවදහරි අපිට කැමති වෙයි කියලා හිතාගෙන. එහෙම නැතිනම් ගොඩක්ම වෙලාවට වෙන්නේ, අපිට කාලයක් ආදරේ කරපු කෙනා බූට් එකක් තිබ්බහම, අපි ඒ ලව් එක ඉවරයි කියලා පිළිගන්නෙ නැතුව ‘අනේ අපි ආයෙ එකට ඉමු’, ‘අනේ මට ආයෙ කැමති වෙන්න’ වගේ දේවල් කිය කියා පස්සෙන් යනවා. හැබැයි අපිව කෙනෙක් එපා කියලා යනවනම්, අපි පස්සෙන් ගියා කියලා එයා අපිට ආයෙ කැමති වෙයිද? ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ අපි ගැන තියෙන සුළු හරි හැඟීමත් නැතිවෙලා, අපිව කරදරයක් කියලා හිතෙන්න පටන් ගන්න එක නෙවෙයිද? ආන්න ඒ නිසා, දවසක් හරි ආදරේ කළා නම්, දිගින් දිගටම කෙනෙක්ගේ පස්සෙන් යන්න එපා. අපිව ඇත්තටම ඕන නම්, දවසක අපි ගාවට ඒවි. නැතිනම් නෑ. එච්චරයි.

 

2. යාළුවෙක් කතා නොකර ඉන්නව නම්

 

යාළුවෝ තරහ වෙලා තියෙනවද? තරහ වෙලා, කතා නොකර ඇරලා ඉඳල තියෙනවද? සමහර වෙලාවට එහෙම වෙන්නේ නිස්කාරණේ, අපේ අතේ කිසිම වැරැද්දක් නැතුව වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපේ අතේ වැරැද්දක් තිබිලා වෙන්න පුළුවන්. ඒ කොයි විදිය වුණත්, අපිට යාළුවෙක් එක්ක -විශේෂයෙන්ම අපි ගොඩක් ආදරේ කරන හොඳම යාළුවෙක් නම්- තරහ වෙලා ඉන්න අමාරුයිනේ. ඔන්න ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා ආයෙමත් යාළු වෙන්න. එහෙම හිතාගෙන, පස්සෙන් යනවා. හැබැයි අපි කියන්නේ මේකයි. තමන් අතින් වැරැද්දක් වුණා නම්, පැකිළීමක් නැතුව අවංකව ඒ වැරැද්දට සමාව ඉල්ලන්න. ආයෙමත් ඒ වැරැද්ද සිද්ධ නොවෙන බව තහවුරු කරන්න. ආයෙමත් යාළු වෙමු කියලා කියන්න. හැබැයි එහෙම කියලත් යාළුවා ආයෙ යාළුකමක් ඕනෙ නෑ කියනවා නම්, යාළුවෙන්න බෑ කියලා පෙන්නනවා නම්, ඇත්තටම අපිට මොනවද කරන්න පුළුවන්? කරන්න දෙයක් නෑ. එක්කෝ එයාට ඒ වැරැද්ද අමතක කරන්න බෑ. එහෙම නැතිනම් සමහර වෙලාවට වැරැද්දක් වෙලා නැතත්, එයා තමන්ගේ ස්‍ථාවරය වෙනස් කරන්න කැමති නෑ. එහෙම නැතිනම් එයාට අපේ යාළුකම අවශ්‍ය නෑ. ඔය කොයි දේ වුණත්, හොඳම දේ වෙන්නේ අපි අපේ පාඩුවේ ඉන්න එක නෙවෙයිද? අපේ යාළුකම කෙනෙක්ට අවශ්‍ය නැතිනම් එච්චරයි. එයාට එපා නම් අපිත් හිත හදාගන්න ඕන, අපිටත් එපා කියලා!

 

3. මිනිස්සු අපිව අතඅරිනවා නම්

සමහර වෙලාවට මිනිස්සු අපිව දරුණු විදියට අතඅරිනවා. ඒකට ඕන තරම් හේතු තියෙන්න පුළුවන්. අපේ අතින් සිද්ධ වෙන වරදක්, වැරදි වැටහීමක්, වෙනත් අය කියන කේලාම් බස් ඇත්තට ගැනීමක්, නිකම්ම අපිට අකමැති වීමක් වගේ ඕන තරම් හේතු නිසා, මිනිස්සු අපිව අතාරින්න පුළුවන්. මෙතනදී ඇත්තටම මිනිස්සු කිව්වහම අපේ හිතමිත්‍රයෝ, නෑදෑයෝ, පවුලේ අය, රැකියාව කරන තැන අය විතරක් නෙවෙයි, පොදුවේ සමාජය වුණත් ගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ සාමූහික අත්හැරීමක් කෙනෙක්ට දරාගන්න ටිකක් අමාරුයි. අර බ්‍රහ්ම දණ්ඩනය කියලා දඬුවමක් තියෙන්නේ. ඒකත් මේකමනේ. එතනදී අපේ අතින් වැරැද්දක් සිදුවෙලා තියෙනවා නම්, කළ යුතු පළවෙනි දේ වෙන්නේ ඒ ගැන අවංකවම කණගාටුව ප්‍රකාශ කිරීම සහ සමාව ඉල්ලීම. හැකි නම් ඒ වැරැද්ද නිවැරදි කරන්න කටයුතු කිරීම. හැබැයි තවමත් මිනිස්සු අපිව අතඇරලා ඉන්න තීරණය කරනවා නම්, අපිව පිළිකෙව් කරනවා නම්, කමක් නෑ. අපිට තනියෙන් ඉන්න බැරිකමක් නෑ. එහෙම වෙලාවට අපි පස්සෙන් යන්න නරකයි. අපි කරන්න ඕන, දිගින් දිගටම වැඩ කරන එක, ඉහළට යන එක, සාර්ථක වෙන එක. එතකොට කවදාහරි අපිව අතඇරපු මිනිස්සුන්ට, ඒ ගත්තේ වැරදි තීරණයක් කියලා ඒත්තු යයි. එහෙම නොවුනත්, අපිට මොකෝ? අපි සාර්ථක වෙලානේ!

 

4. මිනිස්සු අපිව කොන් කරනවා නම්

මිනිස්සු අපිව කොන් කරන්න ඕන තරම් හේතු තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපේ වාර්ගිකත්වය නිසා, අපේ ආගමික විශ්වාසයන් නිසා, අපේ ජාතිය නිසා අපිව කොන් වෙන්න පුළුවන්. එතකොට අපේ හමේ පාට නිසා, අපේ රූපය නිසා අපිව කොන් වෙන්න පුළුවන්. අපි ඉන්න කරන විදිය, අපේ ඇවතුම් පැවතුම් නිසාත් අපිව කොන් වෙන්න පුළුවන්. දැන් ඔය අන්තිමට කියපු විදියේ දේවල් නම් අපිට අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි අපි ඉන්න විදියේ, අපේ ඇවතුම් පැවතුම් වල වැරැද්දක් නැතිනම්, අපි වෙන කාටවත් ගැලපෙන විදියට ඒවා වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. අපේ විදියෙන්, අපි ජීවත් වෙන විදියෙන් වෙනත් කෙනෙක්ට හරි සමාජයට හරි කරදරයක් නැතිනම්, අපි අපිම වෙන්නයි ඕන. ඒත් අපිව එතකොටත් මිනිස්සු කොන් කරනවා නම්?  කමක් නෑ. එතනදීත් අපි ශක්තිමත්ව නැගී සිටීම තමයි වෙන්න ඕන. එහෙම නැතුව, අනේ අපිව කොන් කරන්න එපා කියලා කිසිම මොහොතක ඒ මිනිස්සුන්ගේ පස්සෙන් යන්න නරකයි. ඇත්තටම ඔය මුලින් කියපු මොකක් හරි කාරණාවක් පදනම් කරගෙන කෙනෙක් අපිව කොන් කරනවා නම්, ඒක ඒ කෙනාගේ ප්‍රශ්නයක් මිසක් අපේ ප්‍රශ්නයක් නෙවෙයි.

 

5. ජොබ් එක පෙන්න පෙන්නා අසාධාරණේ වැඩ ගන්නවා නම්

දැන් ඔය ගොඩක් බොස්ලා, එහෙම නැතිනම් රැකියා ස්ථාන වල, වැඩ කරන අයව තියාගන්න පාවිච්චි වෙන ප්‍රධානතම සාධකය තමයි ජොබ් එකක් තිබීමේ වැදගත්කම. ඒ කියන්නේ, ගොඩක් වෙලාවට කෙනෙක් තමන් වැඩ කරන තැන තමන්ට මොන අකටයුතුකම් සිද්ධ වුණත්, දමලා ගහලා එන්නෙ නැත්තේ, ආයෙ ජොබ් එකක් ලේසියකට හොයාගන්න බැරිවෙයි කියන බයට. එහෙම නැතිනම් මේ වගේ ජොබ් එකක් හොයාගන්න බැරි වෙයි කියන බයට. ඒක බොරුවකුත් නෙවෙයි, දැන් කාලේ සමහර ජොබ් හොයාගන්න තියෙන අමාරුව බැලුවහම. ඉතින් ඔය නිසා, රස්සාව කරන තැන අපෙන් අසාධාරණ විදියට වැඩ ගත්තත්, අඩුවෙන් ගෙව්වත්, නරකට සැලකුවත් ගොඩක් අය කරන්නේ ලොක්කගේ කකුල් ලෙවකකා පස්සෙන් යන එක. එහෙම පස්සෙන් ගිහින් තමයි අපිට ජොබ් එක කරන තැන සලකන විදිය වෙනස් කරගන්න උත්සාහ කරන්නේ. අපි කියන්නේ ඒක කරන්න එපා කියලා. ඒක තමන්ගේ පෞරුෂත්වය නැති කරගැනීමක්. තමන් වැරදි නම් වැරදි හදාගන්න. වැරදි නැතිනම් තව මහන්සි වෙලා වැඩ කරන්න. හැබැයි ඒ මහන්සියට සරිලන දෙයක් දෙන්න ඒ රැකියා ස්ථානයේ උනන්දුවක් නැති නම්, කාගෙවත් පස්සෙන් නොයා වෙන රස්සාවකට මාරු වෙන්න. එච්චරයි!

 

6. වැඩක් කරගන්න ලොකු තැන් වල පස්සෙන් යන්න වෙනවා නම්

දැන් ලංකාව වගේ රටක් ගත්තහම, ගොඩක් වෙලාවට මිනිස්සු මොකක් හරි වැඩක් කරගන්න හුරු වෙලා තියෙන්නේ බුලත් අතෙන් බැරි නම් අරක්කු බෝතලෙන් නේ. නැද්ද හා? රස්සාවක් ගන්න කියලා දේශපාලකයොන්ගේ, බලවත් මිනිස්සුන්ගේ පස්සෙන් වැඳ වැටෙනවා. ළමයෙක්ව ඉස්කෝලෙට දාගන්නත් ඒ විදියටම කාගේ හරි පස්ස ලෙව කකා යනවා. වෙන එකක් තියා, රජයේ තැනකින් වැඩක් කරගන්න ගියත් දන්න අඳුනන කෙනෙක් මාර්ගෙන් හරි එතන ලොකු කෙනෙක්ව අල්ලගන්න පස්සෙන් යනවා. එහෙම කාගෙවත් පස්සෙන් යන්න එපා. මොකද, එතන අපි හිතනවට වඩා විශාල වැරැද්දක් තියෙන නිසා. අපි ලේසි පාරකින් වැඩක් කරගන්න හරි, නොකෙරෙන වැඩක් කරගන්න හරි කෙනෙක්ගේ පස්සෙන් යන එකෙන් කරන්නේ, මේ දූෂිත ක්‍රමයටම උඩගෙඩි දෙන එක. අපිත් ඒ හොර පාරෙන් වැඩ කෙරෙන ක්‍රමය පෝෂණය කරන එක. අන්න ඒ නිසා පස්සෙන් යන්න එපා වැඩ කරගන්න. හැබැයි වැඩේ කොහොම හරි හරි පාරෙන් කරගන්න උත්සාහ කරන්න, බැරි වුණොත් ගේම ඉල්ලන්න, බැරි වුනොත් ඉහළ තැනකට පැමිණිලි කරන්න, ඒත් බැරි වුණොත් ඒ ගැන සමාජයේ ප්‍රසිද්ධ කරලා කතිකාවක් හදන්න. හැබැයි පස්සෙන් යන්න විතරක් එපා!

 

7. මිනිස්සු අපේ වැරදි කියනවා නම්

දැන් මිනිස්සු අපේ වැරදි කියන අවස්ථා තියෙනවනේ. ඒ කියන්නේ සමහර වෙලාවට අපේ වැරැද්දක් ඇත්තටම තියෙන නිසා මිනිස්සු අපේ වැරදි කියනවා. එතනදී සමහරු ඇත්තටම අපේ වැරැද්ද හදාගන්න ඕන නිසා වැරදි කියනවා. තවත් සමහරු අපිට අකමැති නිසා අපේ වැරදි කියනවා. තවත් වෙලාවක කෙනෙක් අපේ තියෙන සුළු වැරැද්දක් උළුප්පලා, ලොකු කරලා කියන්න පුළුවන්. ඒ වගේම, ඇත්තටම අපේ අතේ වැරැද්දක් නැතුවත් මිනිස්සු අපි වැරදියි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ නැති වැරදි හද හදා කියන්නත් පුළුවන්. ආන්න ඔය වගේ මොකක් හරි නිසා මිනිස්සු අපේ වැරදි කියන අවස්ථාවකදී මොකද ඇත්තටම කරන්නේ? සමහරු ඉන්නවා ඒ වගේ වෙලාවට කරන්නේ “අනේ මම වැරදි නෑ” කිය කියා අර වැරදි කියන මිනිස්සුන්ගේ පස්සෙන් ගිහින් තමන්ගේ නිවැරදි බව තහවුරු කරන්න උත්සාහ කරනවා. හැබැයි මතක තියාගන්න, අපේ අතේ වැරැද්දක් තිබිලා හෝ නැතා හෝ අපි එහෙම මිනිස්සුන්ගේ පස්සෙන් ගියා කියලා, කවුරුවත් අපිව විශේෂයෙන් පිළිගන්න තියෙන ඉඩ අඩුයි. ගොඩක් වෙලාවට අපිට යන්න ඇරලා හරි හිනාවෙයි. අන්න ඒ නිසා, කවදාවත් මිනිස්සු අපේ වැරදි කියනවා නම්, ඒවා හදන්න පස්සෙන් යන්න එපා. අපේ අතේ ඇත්තටම වැරැද්දක් තියෙනවද බලන්න. වැරැද්දක් තියෙනවා නම් වහාම ඒක නිවැරදි කරගන්න. කණගාටුව ප්‍රකාශ කරන්න. එච්චරයි.

 

ඇත්තටම මේ වගේ අවස්ථාවන් වලදී තමයි අපි ශක්තිමත්ව නැගී සිටින්න, අපි ගැනම විශ්වාසය තියන්න අවශ්‍ය වෙන්නේ. මතක තියාගන්න, අපි කවුරුත්ම ඕන නෑ කියලා, අපිට අපි ඉන්නවා කියලා තීරණය කරගෙන ඉස්සරහට යන්න පටන් ගත්තු දවස තමයි අපි සාර්ථක වෙන්න පටන් ගන්න පළවෙනි දවස. එහෙම ගිහින් ගිහින් සාර්ථකත්වය ලඟා කරගත්තු දවසට, ඔය අපිව එපා කියපු, අපිව පහතට දාපු ගොඩක් මිනිස්සු එයාලම අපිට ආයෙ ලං වෙන්න උත්සාහ කරාවි. ඒක තමයි ඇත්ත…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *