හැමෝටම වැදගත් EPF ගැන දැනගෙන ඉන්න ඕන දේවල්

රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ රැකියාවක් කරන ඕනෙම කෙනෙක්ට සෑහෙන්න හුරු පුරුදු වචනයක්නේ මේ EPF ෆන්ඩ් එක කියන්නෙ. මාසෙ අන්තිමට පඩි ශීට් එක අතට ගත්ත ගමන්ම දන්නවා EPF වලටනම් මෙච්චරක් කැපිල කියල. හැබැයි රැකියා කරන හුඟ දෙනෙක්ට ලොකූ අවබෝධයක් නැහැ මේ කැපෙන EPF සල්ලි කැපෙන්නේ ඇයි, කැපිල යන්නෙ කොහෙටද වගේ කාරණා ගැන. අන්න ඒ නිසාම විශ්‍රාම ගිහින් සල්ලි ගන්න ගියහම අපහසුතාවයන්ට පත්වෙන අවස්ථා ඕන තරම්. අන්න ඒ නිසාම අපි හිතුව මේ EPF ගැන වැදගත් කාරණා කිහිපයක් කතා කරන්න. 

 

 

1. මොකක්ද මේ EPF කියන්නේ?

EPF කියන වචනෙ තේරුම ගත්තොත් මේක Employee’s Provident Fund කියල තමයි කියවෙන්නෙ. එහෙම නැත්තම් සිංහලෙන් කිව්වොත් සේවක අර්ථසාධක අරමුදල. අපි හැමෝම, විශේෂයෙන් පරණ අම්මල තාත්තල කියපු පුරුද්දට ෆන්ට් එක කිව්වට හරි වචනෙ ෆන්ඩ් (Fund) කියන එක. ඒ කියන්නෙ අරමුදල කියන එක. මේකෙන් ප්‍රධානවම වෙන්නෙ යම්කිසි මුදලක් හැම මාසෙම අදාල සේවකයාගේ නමට මේ අරමුදලට බැරවෙන එක. මේ අර්ථසාධක අරමුදල ක්‍රියාත්මක වෙන්නෙ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ. ඉතින් මේ අරමුදලෙන් කියන විදිහටම EPF එක කියන්නේ සේවකයාගේ විශ්‍රාම දිවිය ගැන හිතේ තියෙන බර යම් තරමකට අඩු කරන්නත් රටේ ආර්ථිකය නගා සිටුවන්න සේවකයා දක්වපු සහයෝගය අගය කරන්නත් පිහිටවපු අරමුදලක්.

 

 

2. EPF ඉතිහාසය

මේ EPF කියන්නෙ ලංකාවේ විතරක් ක්‍රියාත්මක වෙන අරමුදලක් නෙමෙයි. ඉන්දියාව, මැලේසියාව වගේ තවත් රටවල් කිහිපයක්ම සේවක විශ්‍රාම සුභසාධනය වෙනුවෙන් මේ විදිහට මේ අරමුදල ක්‍රියාත්මක කරනවා. 

හැබැයි අපේ ලංකාවේ EPF පටන් ගන්නේ, ඒ කිව්වේ මේ සේවක අර්ථසාධක අරමුදල පිහිටුවන්නේ 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ. මේ අරමුදලට අදා​ළ සියලුම නීති, කොන්දේසි සඳහන් වෙන්නෙ මේ පනතේ තමයි. දැනට ලංකාවේ තියෙන ලොකුම සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමය වෙන්නෙත් මේ EPF එක කියල තමයි කියන්නෙ. 

 

 

3. EPF හැදෙන හැටි

හැම මාසෙම අන්තිමට පඩියෙන් මේන්න මෙච්චරක් කැපිල යනව කියල දැනගෙන හිටියට මේ EPF එක ගණනය වෙන්නෙ කොහොමද කියන එක ගැන හුඟක් අයට ලොකු අදහසක් නැහැනේ. ඔන්න අපි ඒ ගැනත් කතා කරමු. 

මාසෙ අන්තිමට තමන්ගේ වැටුප් පත්‍රිකාවේ දළ වැටුපෙන් තමයි මේ EPF ගණනය වෙන්නෙ. ඒ කියන්නේ ස්ථිර නොවන දීමනා වර්ග ඇරුණම මූලික වැටුපයි සියලුම ස්ථාවර දීමනාවන්ගේ එකතුවෙනුයි යම් ප්‍රතිශතයක් කැපෙනව EPF විදිහට. අර කලින් කියපු පනත අනුව ලංකාවේ සේවකයෙකුගෙන් අවම 8% ක දායකත්වයක් මේ අරමුදලට ලැබෙන්න ඕන. ඒ කියන්නේ ඔයා ඔයාගේ පඩියෙන් 8% ක කොටසක් මේකට දෙන්න ඕනෙ. ඒකත් එක්කම සේව්‍යයා, සේවා යෝජකයා එහෙම නැත්තම් සරලවම කිව්වොත් ඔයාගේ ආයතනය 12% ක දායකත්වයක් දෙන්න ඕනෙ. මේන්න මේ දෙකේම එකතුව ඒ කියන්නේ 20% ක ප්‍රමාණය ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ ගිණුමක තැන්පත් වෙනවා. අන්න ඒ එකතුවෙන මුදලට පවතින ආර්ථික තත්ත්වයන් යටතේ වෙනස් වෙන හැබැයි සැලකිය යුතු මට්ටමකින් හොඳ පොලී අනුපාතයක් යටතේ පොලියකුත් එකතු වෙනවා. 

ඔය අපි කිව්වේ රජයෙන් නියම කරල තියෙන අවම ප්‍රමාණය උනත් ආයතනයේ තීරණය මත ඊට වඩා වැඩි ප්‍රතිශතයක් උනත් EPF විදිහට වෙන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සේවකයාගෙන් 10% ක් සහ ආයතනයෙන් 15% විදිහට EPF ගෙවන්න පුළුවන්.

 

 

4. EPF බැලන්ස් එක

දැන් අර කලින් කියපු විදිහට කැපිල අයින් වෙන මුදල සේවකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ගිණුමක තැන්පත් වෙන බව අපි කිව්වනේ. මේන්න මේ මුදලට ඔය කියපු පොලියත් එකතු වෙලා අවසාන ශේෂය කීයද කියන එක හැම මාස 6 කටම සැරයක් එක එක සේවකයාගේ නමට වෙන වෙනම ප්‍රකාශයක් (statement) මඟින් දැනුම් දීම කරනවා අරමුදල විසින්ම. හැබැයි මේ ස්ටේට්මන්ට් එක එන්නේ අවුරුද්දක විතර ප්‍රමාදයකින්. ඒ කිව්වේ ගිය අවුරුද්දේ මුල් මාස හයේ ශේෂයට අදා​ළ ස්ටේට්මන්ට් එක ඔයාට ලැබෙන්නේ මේ අවුරුද්දේ අන්තිම කාලේදී වගේ. අනිත් එක මේ ස්ටේට්මන්ට් එකෙන් දැනගන්න පුළුවන් දැනට සේවය කරන ආයතනයට අදාල EPF බැලන්ස් එක විතරයි. 

ඔය විදිහට නැතුව මොකක්ම හරි උවමනාවකට මුළු රැකියා ඉතිහාසයටම අදා​ළ බැලන්ස් එක බලාගන්න ඕනනම් ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් මහා බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් කාර්යාලයට ගිහින්. බොහොම කාර්යක්ෂම සේවාවක් මෙතනින් ලැබෙනවා. උපරිම පැය බාගයක් ඇතු​ළත බැලන්ස් එකට අදා​ළ ස්ටේට්මන්ට් එකකුත් අරගෙන එන්න පුළුවන්. හැබැයි මතක ඇතුව ජාතික හැඳුනුම්පත අරන් යන්න ඕන. ඒ වගේම මේ අරමුදෙන් ලඟදි ඔන්ලයින් සේවාවකුත් ආරම්භ කරල තියෙනවා මේ බැලන්ස් එක චෙක් කරගන්න. EPF වෙබ් අඩවියේ ඒකට අදා​ළව තියෙන අයදුම්පත සම්පූර්ණ කරලා වර්තමාන සේවා යෝජකයා ලවා සහතික කරලා පරණ සේවා යෝජකයින්ගෙන් ලැබුණ B කාර්ඩ් වල පිටපත් එක්ක බාරදුන්නම ලේසියෙන්ම මේ ඔන්ලයින් සේවාවටත් ලියාපදිංචි වෙන්න පුළුවන්. 

 

 

5. කොහොමද EPF ගන්න පුළුවන්?

ඔන්න වැදගත්ම කතාව. කොහොම එකතු උනාම මොකද අපිට සල්ලි ගන්න පුළුවන් විදිහනේ වැදගත්ම. නැද්ද? මේ එකතුවෙන EPF එක මූලිකවම ක්ලේම් කරන්න එහෙමත් නැත්තම් ලබාගන්න පුළුවන් වෙන්නෙ විශ්‍රාම ගියාට පස්සෙයි. ඒ කිව්වේ කාන්තාවකට නම් අවුරුදු 50නුත් පිරිමි කෙනෙකුට නම් අවුරුදු 55නුත් පස්සෙයි. හැබයි මෙතැනදී මේන්න මේ පහල සඳහන් කරපු හේතු නිසා ස්ථිරවම රැකියාවෙන් ඉවත් වෙන අයට ඔය කියපු වයස් සීමාවන්ට කලින් EPF බැලන්ස් එක ක්ලේම් කරන්න පුළුවන්. 

  • කාන්තාවක්නම් තමන්ගේ විවාහයට මාස තුනකට හෝ විවාහයෙන් අවුරුදු 5ක කාලයක් ඇතුලත රැකියාවෙන් ඉවත් වූ අවස්ථාවක.
  • ස්ථිර අබාධිත තත්ත්වයක් හේතුවෙන් රැකියාවෙන් ඉවත්වෙන අවස්ථාවක (මීට අදාළ සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්න ඕන)
  • ස්ථිර වීසා මත වෙනත් රටකට සංක්‍රමණය වෙන අවස්ථාවක. 
  • විශ්‍රාම වැටුප් හිමිවෙන ස්ථිර රජයේ රැකියාවකට යාම සඳහා සේවයෙන් ඉවත් වෙන විට.
  • ආයතනය වසා දැමීමක්, ජනසතු කිරීමක් වැනි කාරණා මත සේවයෙන් ඉවත්වීමට සිදුවන අවස්ථාවක (මේ කාරණය මේ ලිස්ට් එකට මෑතක අලුතෙන්ම එකතු වුණ එකක්)

 

 

6. EPF ලෝන්ස්

ඉහලින් කියපු විදිහට තමන්ගේ EPF බැලන්ස් එක ක්ලේම් කිරීමට අමතරව මේ EPF එක ඇපයට තියල නිවාස ණයක් ලබාගන්න පුළුවන් ක්‍රමයකුත් අරමුදල මඟින් හඳුන්වා දීල තියෙනවා. දැනට සේවයේ දී සිටින අරමුදලේ ක්‍රියාකාරී සේවකයින්ට තමන්ගේ EPF බැලන්ස් එකෙන් 75% ක මුදලකුත්, සේවයේ යෙදෙන්නේ නැති අවුරුද්දක කාලයක් ඇතුලත අරමුදලට දායක මුදල් සපයා නැති ක්‍රියාකාරී නොවන සාමාජිකයින්ට බැලන්ස් එකෙන් 50% ක මුදලකුත් ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රජයට අනුබද්ධ බැංකු 5කින් නිවාස ණයක් විදිහට මේ ණය මුදල ගන්න පුළුවන්. 

හැබැයි මෙතැනදී ණයට අදා​ළ වාරික අපි මාසිකව අදාල බැංකුවට වෙනම ගෙවන්න ඕන. එක EPF බැලන්ස් එකෙන් කැපෙන්නේ නැහැ. EPF එක ඇපයක් විදිහට තියාගන්නව විතරයි. 

 

 

7. 30% ක්ලේම් එක

මේන්න මේ ක්‍රමය පවතින ආණ්ඩුව මඟින් හඳුන්වා දීපු අලුත්ම ක්‍රමයක්. දැනට ක්‍රියාකාරීව අරමුදලට මුදල් දායකත්වය සපයන සහ අවුරුදු 10කට වැඩි සේවා කාලයක් දායකත්වය සපයල තියෙන සාමාජිකයින්ට පුළුවන් තමන්ගේ බැලන්ස් එකෙන් 30% මුදලක් නැවත ලබාගන්න. මේක ලෝන් එක වගේ නෙමෙයි. බැලන්ස් එකෙන් අඩු කරලා අපිට ගෙවනවා. ආයෙත් ගෙවන්න ඕන නැහැ. මේ සේවාවට අදා​ළ වෙනමම යුනිට් එකක් නාරාහේන්පිට කම්කරු කාර්යාලයේ තියෙනවා. එතනින් අදා​ළ අයදුම්පත් ලබාගන්න, ගන්න පුළුවන් මුදල චෙක් කරගන්න වගේම අයදුම්පත් බාරදීල මුදල ලබාගන්න එක දක්වාම බොහොම කාර්යක්ෂම, සුහදශීලි සේවාවක් ලබාගන්න පුළුවන්.

 

ඉතින් මේන්න මේ EPF කියන ගැඹුරු කාරණාව ගැන උඩින් උඩින් තේරෙන විදිහට අවශ්‍යම දේවල් පැහැදිලි කිරීමක් තමයි මේ ක​ළේ. EPF ක්ලේම් කරන එක, ඒ ඒ දේවලට අදාල අයදුම්පත් වර්ග වගේ හුඟක් ලොකු කාරණා තියෙනවා. නමුත් මේ ප්‍රමාණය ඇති නොතේරෙන කෙනෙක්ට සරල අවබෝධයක් ලබාගන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *