ඔය දැන් කාලේ ගෑණු ළමේක්ගෙන් හරි පිරිමි ළමේක්ගෙන් හරි අහල බලන්න මොනවද විනෝදාංශ කියලා. අනිවාර්යයෙන්ම පළවෙනි, දෙවෙනි නැතිනම් තුන්වෙනි තැනට හරි නිදාගැනීම තියෙනවාම තමයි. සමහරුන්ට නම් සතිය පුරා මැරිලා වැඩ කරලා නිදහසක් කියලා තියෙන්නේ නිදාගන්න වෙලාව විතරයි. එතකොට ජොබ් එකකුත් කරන ගමන් ඉගෙන ගන්න අයට? ආන්න ඒ අයට දෙයියන්ගෙම පිහිටයි. නින්ද කියන්නේ රත්තරන් වගේ ඒ අයට. හැබැයි මොකක් හරි එසයිමන්ට් එකක් හරි එක්සෑම් එකක් හරි සෙට් වුණහම මොකද වෙන්නේ? ආන්න එතකොට ජොබ් එකයි ඉගෙනීමයි දෙකම බැලන්ස් කර ගන්න නයිටක් දෙකක් ගහන්න වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට රෑ ඇහැරිලා ඉඳලා වැඩ කරන එකේ ගැටළුව වෙන්නේ ඊළඟ දවසේ කාර්යක්ෂමතාවය ඩවුන් වෙන එක. හැබැයි එහෙම වෙන්නේ නැතුව නිදිමරාගෙන වැඩ කරන්නත් ආට් එකක් තියෙනවා. ආන්න ඒක තමයි මේ කියලා දෙන්න යන්නේ!
1. පුළුවන් තරම් නිදි මරන්න වෙන එක මග අරින්න
ඔව්, නයිට ගහන ආට් එකේ පළවෙනි නීතිය තමයි මේ. නින්ද කියන්නේ විනෝදාංශයක් නෙවෙයි. නින්ද කියන්නේ අපේ ශරීරය කියන මැෂින් එක වැඩකරන්න අත්‍යාවශ්‍ය විවේකයක්. ඒ නිසා නිදිමරාගෙන වැඩ කරන එක තියාගන්න ඕන අන්තිම විකල්පය විදියට තමයි. දවසකට අවශ්‍ය හරි නින්ද ලැබුණහම තමයි නියම කාර්යක්ෂමතාවයෙන් මනුස්සයෙක්ට වැඩ කරන්න පුලුවන් වෙන්නේ.
2. ප්ලෑන් කරලා කලින් වැඩිපුර නිදාගමු
ගොඩක් අය හිතනවා නයිටක් ගහන්න කලින් හොඳට නිදාගත්තොත්, ඒකට හුරු වෙලා නයිට ගහන දවසට මාර නිදිමතක් එයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම මේ නිදිවරන දිනය කලින් ප්ලෑන් කරන එක වටිනවා. හරි, සතියකට කලින් නයිටක් ගහන්න වෙයිද කියලා කියන්න බැහැ තමයි. හැබැයි අඩුම ගාණේ දවස් දෙකකට කලින් වත් නයිට් සෙට් වෙන පාටක් තියෙන්නේ කියලා තේරෙනවා නම් වඩා හොඳයි. අන්න එතකොට කරන්න තියෙන්නේ ඊට කලින් දවසේ ෆුල් ටෑන්ක් ගහගන්න එක. ඒ කියන්නේ නයිට ගහන්න කලින් දවසේ ටිකක් වැඩිපුර නිදාගන්න එක. එහෙම නැතුව දවසට පැය හතරක් නිදාගෙන ඉන් පස්සේ දවසේ නයිට ගහන්න යනවා කියන්නේ ඊළඟ දවසේ විනාසයි කියන එක තමයි.
3. කාබ් එපා, ප්‍රෝටින් ඕනා!
නයිට ගහනකොට සාමාන්‍යයෙන් පාන්දර දෙකට විතර මොනවා හරි බර කෑමක් දාගන්නවාමනේ. මෙතනදී ඔළුවේ තියාගන්න ඕන කාරණා දෙකයි. එක. ඔව් නයිට ගහනකොට කෑම සහ බීම – ඒ කිවුවේ වතුර- අත්‍යාවශ්‍යයි. නයිට ගහනකොට කරන්නෙත් මොළේ වෙහෙසවෙන වැඩක්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම රෑ මැද වුනත් කෑම වේලකට ගියාට කමක් නෑ. ඒ එක්කම බිස්කට් එකක් වගේ පොඩි කෑමක් ළඟ තියෙන එකත් හොඳයි. හැබැයි, මේ නිදිමරනකොට කන කෑම පීසා, පාන්, චිප්ස් වගේ දේවල් වෙලා හරියන්නෙ නෑ කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. හේතුව කාබෝහයිඩ්රේට් තියෙන කෑම වලින් සිද්ධ වෙන්නේ ශක්තිය පස්සේ ගන්න තියාගන්න එක. හැබැයි කාබ් වෙනුවට ප්‍රෝටීන් බහුල ආහාරයක් ගන්නවා නම් ඒකෙන් සැලසෙන වාසිය වැඩියි. වඩාත් ක්ෂණිකව තමන්ට ශක්තිය ලැබෙනවා. හැබැයි සීනිත් පුලුවන් තරම් අඩුවෙන් රාත්‍රිය පුරා පාවිච්චි කරන එක හොඳයි.
4. ඒ පිටටම කෝපි එකකුත් ගහලා…
කෝපි කියන්නේ ඕනෑවට වඩා බොන්න හොඳ දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට කැෆේන් මිලිග්‍රෑම් 400 ක්, ඒ කියන්නේ කෝප්ප 4 කට වඩා බොන්න කිසිසේත්ම හොඳ නෑ කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් රෑ නිදිවරාගෙන වැඩකරනකොට කෝපි කෝප්පයක් දෙකක් බොන්න වෙනවා. හැබැයි කෝපි කෝප්ප දෙකක් බොනවා වගේම සෑහෙන්න ප්‍රමාණයක වතුර බොන්න ඕන රාත්‍රිය පුරා. වතුර බොන එක අනිවාර්යයයි.
හැබැයි නිදි මරන්න කෝපි බොන එකෙත් පොඩි කලාවක් තියෙනවා. ඒ තමයි ඕනෑවට වඩා කෝපි නොබොන එක. අනික රාත්‍රියට කලින් දවල් දවසේ කෝපි නොබොන එක. ඉන් පස්සේ රාත්‍රිය පුරාවට තමන්ගේ කෝපි කෝටා එක බෙදිලා යන එක හොඳයි.
5. මැරතන් එකක් නෙවෙයි, රිලේ එකක්!
රාත්‍රිය නිදිවරාගෙන එක දිගටම ගත කරන එක ලේසි වැඩක් නෙවෙයි කොහොම වුනත්. සමහර වෙලාවට මාරාන්තික නිදිමතක් එනවා. එතකොට කරන්න පුලුවන් දෙයක් තියෙනවා. තමන් තවත් කෙනෙක් එක්ක නම් වැඩ කරන්නේ, එහෙම නැතිනම් තමන්ට එලාම් එකකට හෝ ඇහැරෙන්න පුලුවන් නම් එහෙම අමාරු නිදිමත එන වෙලාවට විනාඩි දහයක් පහළොවක් නිදාගන්න එක. හැබැයි පරිස්සම් වෙන්න ඕන, ඇඳට වැටුණු ගමන් බහ් ගාලා නින්ද යන කෙනෙක් නම් විනාඩි දහයක් නිදාගන්න ගියාට පස්සේ ඇහැරෙන්නේ පහුවෙනිදා උදේ වෙන්න පුලුවන්.
නිදිමත ඉන්න බැරි ගාණට එනවා නම්, පොඩ්ඩකට ඇහැ පියාගත්තොත් ආයෙමත් ඇහැරිලිත් බොරු නම් ගිහින් මූණ හෝදාගෙන එන්න තියෙන්නේ.
6. පොඩි පොඩි එක්සසයිස්!
රෑ නිදිවරාගෙන වැඩ කරනවා කියලා එළිවෙනකල් හිටි පිම්මේ වැඩකරලා හරියන්නෙ නෑ. හොඳම දේ තමයි අර පොමොදෝරෝ ක්‍රමයට අනුව වැඩ කරන එක. විනාඩි තිහක් වැඩ, විනාඩි පහක් රෙස්ට්. ඔහොම පැය දෙකක් විතර කළාට පස්සේ පැය බාගෙක රෙස්ට් එකක්. දැන් ඔය රෙස්ට් කරන විනාඩි පහේත් වාඩිවෙලා පොත දිහා හරි කම්පියුටර් එක දිහා හරි බලාගෙන ඉඳලා හරියන්නෙ නෑ. පොඩ්ඩක් ඇවිදලා, හිරි ඇරලා, ඇඟට පොඩි එක්සයිස් එකක් දෙන්න ඕන.
ඒ වගේම තමයි නිදි මැරිල්ල පටන් ගන්න කලිනුත් පොඩි එක්සයිස් පාරක් දාලා, වොෂ් එකක් අරන් වැඩේ පටන් ගත්තට කමක් නෑ. ඒ කියන්නේ පැය බාගෙක විතර ඇඟ මහන්සි වෙන විදියේ එක්සයිස් පාරක්.
7. සුවපහසු, ආලෝකමත් වටාපිටාවක්
තමන් වැඩ කරන තැන ඉතාමත් හොඳින් ආලෝකමත් වෙලා තියෙන එක අනිවාර්ය දෙයක්. ඒක වැඩ කරන්න පහසුවක් වෙනවා විතරක් නෙවෙයි, තමන්ට නිදිමත එන එකත් වළකින්න හේතුවක් වෙනවා. ඒ වගේම තමයි සුවපහසුව වැඩ කරන්න පුලුවන් වාතාවරණයක් තියෙන එක. ඒ කියන්නේ ඇඳට පැනලා වැඩ කරන්න කියන එක නෙවෙයි. ඊට පස්සේ වැඩ කෙරෙන්නෙම නෑ. සුවපහසු මේසයක්, සුවපහසු පුටුවක් බැරිනම් සුවපහසු ඉරියව්වකින් වැඩ කරන්න පුලුවන් මොනයම් හෝ තැනක් සූදානමින් තියෙන එක. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන, මේ වැඩකරන්න තියෙන සුවපහසුව සහ ඇලවෙන්න තියෙන සුවපහසුව කියන දෙක පටලවා ගන්න එපා කියන එක. උදාහරණයක් විදියට ඇලවෙලා ඉන්න පුලුවන් බීන් බෑග් එකක් හරි හාන්සි පුටුවක් හරි මේ වැඩේට ගැලපෙන්නේ නෑ.
8. ඊට පහුවෙනිදා!
දැන් කෙනෙක් අද රෑ ඇහැරිලා වැඩ කරන්නේ පහුවෙනිදා දවසම නිදාගන්න නෙවෙයිනේ. ගොඩක් වෙලාවට නයිට ගහන්න වෙන්නේ පහුවෙනිදා ඩෙඩ්ලයින් එකක්, එක්සෑම් එකක් වගේ තියෙනවා නම්, කොටින්ම කිවුවොත් පහුවෙනිදා තමයි ඇහැරිලාම ඉන්න ඕන දවස. ආන්න ඒ නිසා පහුවෙනිදට පිළිපදින්න ඕන කරුණු කාරණා ටිකකුත් තියෙනවා.
මුලින්ම ඊළඟ දවසට රෙඩි වෙන්න කලින් පැය බාගෙක විතර නින්දක් ගන්න. මතක තියාගන්න, දිග නින්දක් ගත්තොත් දවසම අවුල් වෙනවා. ඒ නිසා කෙටි නින්දක්. ඇහැරිලා එක්සයිස් පාරක් දාන්න පුලුවන් නම් හොඳයි. ඉන් පස්සේ වොෂ් එකක් ගන්න ඕන, ඊට පස්සේ උදේට හොඳට කන්න ඕන. ආන්න එතකොට ඇඟට ෆුල් ෆිට්. ඔය පිටට ඕන නම් කෝපි එකක් වගේ ගැහුවට අවුලක් නෑ, දැන් ඕන ඩෙඩ්ලයින් එකකට, ඕන එක්සෑම් එකකට ෆේස් කරන්න පුලුවන් ෆිට් එකක් එනවා.
හැබැයි එකක්, එදාට මල්ටි ටාස්කින් නොකර ඉන්න එක හොඳයි. එතකොට වාහන එළවනවා වගේ වැඩකුත් නොකර ඉන්න තරමට හොඳයි. එතකොට වැදගත්ම දේ. එදාට වෙලාවට නිදාගන්න ඕන!
Cover Image Source – medicalnewstoday.com
Leave a Reply