පසුගිය 7 වැනිදා සිට 11 වැනිදා දක්වාම බෞද්ධ-මුස්ලිම් ගැටුම් නිසා නුවර පැත්තට අන්තර්ජාලය සම්පූර්ණයෙන්මත් අනෙකුත් පළාත්වලට සෝෂල් මීඩියානුත් බ්ලොක් කළේ ඒවා හරහා ඇතිවෙන විවිධ කතා නිසා වෛරය වැපිරෙන්නට පටන්ගත් නිසායි. විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මේ ගත්තු පියවර ඇත්තටම සාර්ථක දෙයක් ද? අපි ඒ ගැන සොයා බලමු.
1. දඬුවම් වලින් මිනිස්සු හදන්න බැහැ
පොඩි කාලෙ අපි කරන ජල්තරස් වැඩ වලට ගෙදරින්, ඉස්කෝලෙන් අනන්තවත් බැට ලැබෙනවා. එහෙම ගුටි කද්දි හිතේ මරාගෙන මැරෙන්න තරම් වෛරයක් ආවාට ඉස්කෝලෙන් එළියට එන දවසෙදි, අම්මලා වයසට ගිහින් තමන්ට දැනුම් තේරුම් ඇතිවෙන කාලෙදි එයාලා කරපු දේවල් නිසා නේද අපි මේ හොඳට හැදුනේ කියලා ආදරයක් ඇති වෙනවා. හැඳි නොගා හදන හොද්ද රස නෑ කියන්න වගේ දඬුවම් නොදී හදන ළමයෙකුගෙත් හොඳක් ඇතිවෙන්නේ නෑ කියලා කතාවටත් කියනවා. හැබැයි ඉතින් දඬුවම් දුන්නු පලියටම ළමයි හොඳ වෙනවා නම් හිර ගෙවල් හැදෙන්නෙත් නෑ, ඒවායෙන් එළියට එන අය ආයෙ ඇතුලට යන්නෙත් නෑ.
ඔන්න හරක් වගේ සත්තුන්ට නම් ගහලා බැනලා කීකරු කරවන්න පුළුවන්. ඒත් උන් ඒ කීකරු වෙන්නේ හොඳ දේ මොකක්ද කියලා තේරුම් අරගෙන නෙවෙයි. මේ දේ කළාම මෙච්චරක් රිදෙනවා කියලා බයට විතරයි. මිනිසාගේ මොළය දියුණු නිසා ගුටි නොකා හොරෙන් කරන්න හරි පෙළඹෙනවා. එතකොට ගහලා බැණලාම මිනිහා හදන්න බැහැ.
2. සංහිඳියාව හිඳෙන්නේ ඇයි?
ඔය කවුරු මොනවා කිව්වත් අපේ රටේ මිනිස්සුන්ට ඕන එකම දේ එදා වේල ශේප් කරගෙන හොඳට නිදාගන්න විතරයි. අපිට න්‍යෂ්ඨික අවි හදන්න ඕනත් නෑ, ලෝකෙ අල්ලන්න ඕනත් නෑ, ළමයි ටිකට කන්න බොන්න දීලා උන් සතුටෙන් ඉන්නවා නම්, අපිට සප්පායම ලැබෙනවා නම් ජීවිතේ මල් හතයි. ඉතින් එහෙම තියෙන සමාජයක කවුරුහරි කියනවා නම් මුන්ට ඕන ජාතික විනාස කරන්නයි, රට අල්ලන්නයි කියලා ඒක මහත්තයො මෙන්න මේ කියපු සාමාන්‍ය මිනිස්සුන්ගෙ වරදක්ම නෙවෙයි.
කාලා බීලා පාඩුවෙ ඉන්න මිනිස්සු අතරෙ ඉන්නවා ඒ මිනිස්සුන්ට කැරට් අල පෙන්නලා උඩට ගියපු කට්ටියක්. සුපර්මෑන් වීරයෙක් වුණේ නගරයේ ඇතිවුණ විවිධ කලබල නිසා, කෙල්ලො අසරණ වුණ නිසානේ. බැට්මෑන්ට වීර ක්‍රියා කරන්නටත් ජෝකර්ගේ නරක වැඩ අවශ්‍ය වුණා. හැමෝම සතුටෙන් ඉන්න ලෝකෙක සුපිරි වීරයෝ බිහිවෙන්නේ නැහැ. ඉතින් අපේ දේශපාලකයන්ටත් සුපිරි වීරයෙක් වෙන්න ඕන වුණාම රටේ ප්‍රශ්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ එයාලාම ඒවාට විසඳුම් දීලා තව මිනිස්සු පිරිසක් නම්මවා ගන්නවා. අන්න එතෙන්දි ජාතිමාමක අයව පොඩ්ඩක් අවුස්සන්න සිද්ධ වෙනවා.
3. පේජ් ඇඩ්මින්ලාගේ සපෝට් එක
අද වනවිට දේශපාලකයන්ටත් වඩා පිරිසක් ෆේස්බුක් පේජ් වටේ ඉන්නවා. මේ නිසා එයාලාට සමාජයේ බොහොම පහසුවෙන් කතා බහක් ඇති කරවන්න පුළුවන්. දවස තිස්සේම විහිළු දදා ඉන්න පේජ් එකක් වුණත් එක පාරම ටූත්පේස්ට් එකක හොඳ කියන්නේ පක්ශාත් භාගයේ ඉත්තෑවො දුවන නිසා නෙවෙයි, ඒක වෙළඳ දැන්වීමක් නිසා. සල්ලි වලට තමන්ගෙ පේජ් එකේ මූලික අන්තර්ගතය වෙනස් කරන්න පුළුවන් නම්, එයාලාට එකපාරම ජාතිමාමකත්වයත් ඇති වෙන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා.
වැඩිහිටියො කොච්චර උපදෙස් දුන්නත් ෆේස්බුක් එකේ දැකපු quote එකක් හිස් මුදුනින් පිළිගන්නා අපි “ඉන්ටර්නෙට් එකේ තියෙන හැමදේම විශ්වාස කරන්න එපා” කියලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පත්තිරිප්පුවේදී කරපු කතාව අනිවාර්යයෙන්ම ශෙයා කරලා යාළුවන්ව දැනුවත් කරනවා. චිත්‍රපට ජවනිකාවක තිබුණු පින්තූරයක් දාලා “මේ අක්කා ඉන්නේ බොහොම වේදනාවෙන්. එයාට බුදුසරණයි කියලා කමෙන්ට් කරන්න” කියපු ගමන් සට සට ගාලා බුදුසරණ වැසි වස්සනවා. එහෙම තියෙන කාලයක අහවල් ජාතියට අපි ගහමු කියලා කුණුහරුපයක් එක්ක දැම්මාම අපේ කට්ටිය එවෙලේම පාරට බහින්නේ තමන් අනගාරික ධර්මපාලතුමා කියලා හිතාගෙන!
4. කීබෝඩ් වීරයෝ ටික
දැන් මේකෙන් කුලප්පු වෙන තව සෙට් එකක් ඉන්නවා. එයාලා ගෙදරින් එළියට බහින්නේ නෑ, අම්මා තාත්තාගෙන් කාලා ගෙදරට වෙලා තමයි ඉන්නේ. කොටින්ම කිව්වොත් ඉන්ටර්නෙට් බිල ගෙවන්න, කාඩ් එක දාගන්න සල්ලි ඉල්ලගන්නෙත් අම්මාට ඇවිටිලි කරලා. මේ සෙට් එක ජීවිතේට රටේ සටනක් තිබුණොත් ඒකට යන්නෙ නෑ. හැබැයි ගෙදර ඉඳන් උදේ පාන්දර ඉඳන් රෑ වෙනකම්ම ෆේස්බුක් එක ඕපන් කරගෙන හතර වටේට මැසේජ් යවනවා “මේක තව 10 දෙනෙකුට යවලා දැනුවත් කරන්න” කියලා. ඊට පස්සේ ස්ටේටස් දානවා අහවලා මෙහෙමයි, මුන් මෙහෙමයි, මෙහෙම ඉඳලා බෑ අපි සටන් කරන්න ඕන, අපේ රට බේරගන්න ඕන බ්ලා බ්ලා. ඉතින් හතර වටේ ඉන්න නංකිලා ටිකත් අනේ ඇත්ත අයියේ ඔයාට බුදුසරණයි කියද්දී තව කමෙන්ට් කරන්න බලාගෙන ඉන්න කීබෝඩ් වීරයො ටිකත් නංකිලාට පේන්න අරූට විරුද්ධව බණිනවා. ඊට පස්සේ පෝස්ට් එක දාපු එකත් බණිනවා උගෙ තත්ත්වෙ තියාගන්න. මෙයාලා ඉතින් ඔහොම ගහ බැණගෙන එකිනෙකාව බ්ලොක් කරගෙන නිදාගන්න ගියාට උදේ පාන්දර මේවා දකින අයගෙ මොරාල් එක හැදිලා එයාලා කඩු කිණිසි අරන් උදෙන්ම පාරට බහිනවා.
5. ඉන්ටර්නෙට් බ්ලොක් කරන එක
ඔන්න ඔය කියපු දේවල් නිසා කීබෝඩ් වීරයෝ ටික නවත්වන්න සෝෂල් මීඩියා බ්ලොක් කරන්න අදාල පාර්ශව වලට සිද්ධ වෙනවා. මේක නිසා කපල් වලට මල් කඩන්න විධියකුත් නෑ, වැදගත් දේවල් දාන සහ භාණ්ඩ වෙළඳාම් කරන පේජ් සහ සයිට් වලට තමන්ගේ බිස්නස් තියාගන්න විධියකුත් නැහැ. ඊට පස්සේ හැකර්ලා කියලා හිතාගෙන ඉන්න කට්ටියක් VPN කියලා එකක් හරියට එයාලා හැදුවා වගේ නංකිලාට අඳුන්නලා දීලා ආයෙ බුරුතු පිටින් ෆේස්බුක් යනවා.
කොහොම වුණත් අන්තර්ජාලය බ්ලොක් කරන එකෙන් තරමක් දුරට මේ අනවශ්‍ය කතාබහ නැවතුණා. 2012දි ඉන්දියාව පවා එරට ඇතිවුණ ප්‍රාන්ත අතර ගැටුමක් වළක්වන්න මේ විධියටම ඉන්ටර්නෙට් කැපුවා. ඒත් ඉතින් රට වටකර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බෑ කියනවානේ. කඩ්ඩෙන් කිව්වත් Freedom of Speech කියලා එකක් තියෙන නිසා ඕනම කෙනෙක්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා. ඒ වගේම ඒ කියන කතා නොඅහා ඉන්න අයිතියක් (Freedom from Speech) තිබෙනවා. ඉතින් මේ අපිට නිතර දෙවේලේ ඇහෙන කතා බොහොම හොඳින් බුද්ධියෙන් විමසා බලලා, මේ කියන කතාවල් සහ ප්රවෘත්ති සත්‍ය දේවල් ද කියලා තහවුරු කරගත්තාට පස්සේ ඒවා පිළිගන්නට පුරුදු වීමයි ඉගැන්විය යුතු වෙන්නේ. එහෙම නැතුව ලිපියක මාතෘකාවක “අහවල් නිලිය රෙදි ගලවගත්තේ මෙහෙමයි” කිව්වාම එයා නිරුවත් වෙනවා ඇති කියලා හිතාගෙන ඒක ක්ලික් කරන්න ඇඟිල්ල යන මානසිකත්වයක් තිබෙනවා නම් කවදාවත් අපිට ගොඩ ඒමක් නැහැ.
Cover Image Source – modernfatheronline.com / twitter.com
Leave a Reply