දිවට උපරිම රසයක් දෙන නිර්මාංශ රෙසිපි 5ක්

ලයිෆි අපි එක්ක එකතු වෙලා ඉන්න නිර්මාංශ යාළුවන්ට ගැලපෙන කෑම වර්ග ටිකක් අරන් එන්න අපි හිතුව. ලයිෆි අපි එකතු කරන බොහෝමයක් ආහාර වට්ටෝරු ලිපි වල නිර්මාංශ අංගයක් ඇතුළත් උනත් මස් මාළු ප්‍රිය නොකරන අපේ යාළුවන්ට වෙනම නිර්මාංශ වට්ටෝරු ලිපියක් අරගෙනයි මේ ආවේ. හැබැයි මේවා නිර්මාංශ අයට විතරක් නෙමෙයි, මස් මාළු කන කෙනෙක්ට වුනත් ඒවායේ අඩුව නොදැනෙන විදිහට හදාගන්න පුළුවන් තරම් රස කෑම ටිකක්.

 

1. හොට් බටර් මශ්රූම්

Image Source – yamu.lk

නිර්මාංශ අයට ලොකුම ප්‍රශ්නෙ තමා රස බයිට් එකක් හදාගන්න එක. මේ බයිට් එකට වගේම ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක උනත් අපූරුවට ගැලපෙන ඩිශ් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හතු 100g
  2. කෝන් පිටි 100g
  3. ලුණු තේ හැඳි 1\4
  4. කහ ස්වල්පයක්
  5. චොප් කරගත් සුදු ළූණු
  6. බටර් මේස හැඳි 1
  7. සීනි තේ හැඳි 1\2
  8. චිලි පේස්ට් මේස හැඳි 1
  9. තෙල් තේ හැඳි 1
  10. කපාගත් මාළු මිරිස් කරලක්
  11. දිගට කපාගත් ළූණු කොළ ටිකක්
  12. කපාගත් වියලි මිරිස් කරල් කීපයක්
  13. දියාරුවට සාදාගත් කට්ලට් බැටර් එක
  • හතු ලුණු වතුරේ දමා සෝදා, හොඳින් දිය මිරිකා තීරු වලට ඉරාගන්න.
  • කෝන් පිටි වලට ලුණු සහ කහ ඇඟිලි තුඩින් ගන්න තරම් ප්‍රමාණ දෙකක් විතර දාල මික්ස් කරගන්න.
  • හතු වලට කට්ලට් බැටර් එක එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. කෝන් පිටි වල හතු තීරු දවටා රත් වූ ගැඹුරු තෙලේ ක්‍රිස්පි ගතියට එනතුරු බැදගන්න.
  • වෙනම භාජනයක් රත් වෙන්න තබා එයට තෙල් තේ හැන්දක් එක් කර එයට සුදු ළූණු, බටර්, චිලි පේස්ට්, තෙල්, සීනි එක් කර මිශ්‍ර කරගන්න.
  • එයට බැදගත් හතු, මාළු මිරිස්, වියලි මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. ලිප නිවා ළූණු කොළ එක් කර මිශ්‍ර කරගන්න.
  • මස් මාළු නොකන බිත්තර විතරක් පාවිච්චි කරන අයට මේ රෙසිපි එකේ කට්ලට් බැටර් එක වෙනුවට බිත්තර සුදු මදයක් ගන්න පුළුවන්.

 

2. පොලොස් බර්ගර්

Image Source – lovingitvegan.com

වෙජිටේරියන් අයට රස බලන්න ආස උනාට හැමතැනම තියෙන්නෙ මස් මාංශ පාවිච්චි කරල හදන බර්ගර්ස්. මේ පොලොස් වලින් හදන රසම රස බර්ගර් එක ඔයාලට ගෙදරදිම හදල රස බලන්න දැන් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ලුණු දමා තම්බාගත් පොලොස් කප් 2
  2. කෝන් ෆ්ලා මේස හැඳි 2
  3. මිරිස් කුඩු රස අනුව
  4. පාස්ලි කොළ මේස හැන්දක්
  5. බාබකිව් සෝස් මේස හැන්දක්
  6. බර්ගර් බන් එකක්
  7. චීස් ස්ලයිස් දෙකක්
  8. සලාද කොළ
  9. තක්කලි පෙති
  10. ළූණු පෙති
  11. තක්කාලි සෝස්
  • පොලොස් වලට මිරිස් කුඩු, පාස්ලි කොළ එක් කර අඹරාගන්න. අඹරාගත් පොලොස් බෝල් එකකට දමාගෙන ඒකට බාබකිව් සෝස්, කෝන් ෆ්ලා සහ අවශ්‍ය නම් රස අනුව ලුණු එක් කර හොඳින් අනාගන්න.
  • මිශ්‍රණය අතින් තද කරමින් බෝලයක් ආකාරයට සකසා පැතලි කරගන්න.
  • තෙල් ටිකක් තවරාගත් පෑන් එකක දමා රන්වන් පැහැ වනතුරු දෙපැත්තම පුළුස්සාගන්න.
  • බර්ගර් බන් එක දෙකට කපා, බටර් සහ තක්කාලි සෝස් තවරා, පොලොස් පැටේ එක තබා චීස්, සලාද කොළ, ළූණු සහ තක්කාලි පෙති පිළිවෙලින් තබා සකසාගන්න.

 

3. තායි ස්ටයිල් ෆ්‍රයිඩ් ටෝෆු

Image Source – taste.com.au

ටෝෆු එහෙම නැත්නම් බීන් කර්ඩ් හදන්නෙ සෝයා වලින් කියල දන්නවනෙ. මේ බීන් කර්ඩ් රසටම හදාගන්න විදියක්. තායි සෝස් එකකින් රස වෙලා එන මේ ටෝෆු එක ෆ්‍රයිඩ් රයිස් වලට, ෆ්‍රයිඩ් නූඩ්ල්ස් වලට වගේම නාන් වගේ රොටි වර්ග වලටත් ගැලපෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ටෝෆු පැකට් එකක්
  2. චොප් කරගත් ළූණු ගෙඩියක්
  3. තලාගත් සුදු ළූණු බික් 3ක්
  4. කුඩු කරගත් රටකජු මේස හැඳි 3
  5. සෝයා සෝස් මේස හැන්දක්
  6. ගම්මිරිස් කුඩු
  7. එළවළු ස්ටොක් කප් 1/4
  8. ලුණු සහ සීනි රස අනුව
  9. තල තෙල් ස්වල්පයක්
  10. මිරිස් කුඩු රස අනුව
  11. චිලි පේස්ට් මේස හැන්දක්
  12. ළූණු කොළ ටිකක්
  • ටෝෆු ටික කුඩා කොටු කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් ස්වල්පයක් වෙනම බඳුනක රත් වෙන්න තියල ඒකට කපාගත්ත ළූණු සහ සුදු ළූණු එක් කර තෙම්පරාදු කරගන්න.
  • එයටම චිලි පේස්ට් සහ රටකජු එක් කරගෙන මද වෙලාවක් තෙම්පරාදු කරගන්න.
  • එයට ගම්මිරිස්, මිරිස්, සීනි සහ ස්ටොක් වතුර එක් කර සෝස් එක මදක් උකු වනතුරු හැඳි ගාමින් තියාගන්න. සෝස් එක උකු වූ පසු බැදගත් ටෝෆු එක් කර, රස අනුව ලුණු එක් කර, ළූණු කොළ ටික සහ තල තෙල් මිශ්‍ර කර ලිපෙන් ඉවත් කරගන්න.

 

4. කොස් කොත්තු

Image Source – window2nature.wordpress.com

හැමදාම උයල, තම්බල කන කොස් වලින් නිර්මාංශ යාළුවන්ට රස කොත්තුවක් සකසගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හීනියට කපා තම්බාගත් කොස්
  2. කපාගත් කැරට්
  3. කපාගත් ලීක්ස්
  4. කපාගත් ළූණු
  5. තලාගත් ඉඟුරු සුදු ළූණු
  6. කරපිංචා කොළ ටිකක්
  7. කෑලි මිරිස්
  8. සෝයා සෝස් ටිකක්
  9. සකසාගත් තක්කාලි හොද්දක්
  • තෙල් ටිකක් රත් වෙන්න හැර ඒකට කරපිංචා, ඉඟුරු සුදු ළූණු එක් කරගෙන තෙම්පරාදු කරගන්න. එයටම ළූණු සහ කැරට් එක් කර තෙම්පරාදු වෙන්නට හරින්න.
  • එයට කෑලි මිරිස් සහ සෝයා සෝස් එක් කරගෙන, එයටම තක්කාලි හොද්ද අවශ්‍ය පමණ එක් කර, හොඳින් කලවම් කරගෙන ලීක්ස් සහ තම්බා ගත් කොස් එක් කර කලවම් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න.

 

5. එග්ලස් චොකලට් පුඩින්

Image Source – youtube.com

වෙජිටේරියන් අයට ඩෙසර්ට් වර්ග කන එකත් හුඟක් වෙලාවට ප්‍රශ්නයක්. බොහොමයක් පුඩින් වර්ග අතුරුපස වර්ග වලට බිත්තර පාවිච්චි කරනව. මේ බිත්තර නැති චොකලට් පුඩින් එකක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සීනි කප් 1/2
  2. කොකෝවා පව්ඩර් මේස හැඳි 3
  3. කෝන් ෆ්ලා කප් 1/4
  4. ලුණු පින්ච් එකක්
  5. ෆ්‍රෙශ් මිල්ක් කප් 2 3/4
  6. බටර් මේස හැඳි 2
  7. වැනිලා තේ හැන්දක්
  • සීනි, කොකෝවා, ලුණු සහ කෝන් ෆ්ලා එකට මිශ්‍ර කරගෙන එයටම කිරි එක් කර මද ගින්දරේ ලිප තබාගන්න.
  • මිශ්‍රණය උකු වනතුරු නොනවත්වා හැඳි ගාන්න. හොඳින් ඝන වූ පසු ලිපෙන් ඉවත් කර බටර් සහ වැනිලා එක් කර මිශ්‍ර කරගන්න. ශීත කර පිළිගන්වන්න.

Cover Image Source –  foodrevolution.org/ atkins.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *