ඩෙසර්ට් එහෙමත් නැත්නම් අතුරුපස විදියට හුඟක් අය පාවිච්චි කරන්නෙ අයිස්ක්‍රීම්, කිරිපැණි, කෙසෙල් නැත්නම් ෆෘට් සැලඩ් වගේ දේවල් ටිකක් විතරයි. ඩෙසර්ට් එකට ඇත්තටම අවධානයක් යොමු නොකරන තරම්. ඩෙසර්ට් එකක් හදාගන්න වැඩ ගොඩක් කරන්න වෙන එකත්, බඩු ගොඩක් ඕන වෙන එකත් ඒකට හේතු වෙන්න පුළුවන්. එහෙම වද නොවී ලේසියෙන්ම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණෙකින් රසවත් ඩෙසර්ට් ටිකක් හදාගන්න හැටි බලමුද?
1. ෆ්‍රෝසන් චොකලට් බනානා

Image Source – foodbeast.com
නිකම්ම කෙසෙල් කන වෙලේ ලේසියෙන්ම මේ විදියට හදල බලන්නකො.
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුන කෙසෙල්
- කුකින් චොකලට් කප් 2
- කුඩාවට කපාගත් කජු
- චොකලට් ටික භාජනයකට දමා අඩු ගින්දරේ දියකරගන්න. ලෙලි ඉවත් කරගත් කෙසෙල් චොකලට් වල දවටා, කජු ඉස විනාඩි 30ක් ෆ්‍රීසර් එකේ තබාගන්න.
2. ශෝර්ට්බ්‍රෙඩ් කුකීස්

Image Source – epicurious.com
කඩෙන් ගේන්නෙ නැතුව ගෙදර හදන්න මෙච්චර ලේසියි කියල හිතන්නවත් නැතුව ඇති. මේකත් එක්ක චොකලට් සෝස් එකක් තිබ්බ නම් අයිස්ක්‍රීම් එක්ක ඩෙසර්ට් එක සම්පූර්ණයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩු කරගත් සීනි කප් 1/2
- බටර් 220g
- පිටි කප් 2
- බටර් සහ සීනි ක්‍රීම් වනතුරු බීට් කරගෙන පිටි ටිකෙන් ටික එකතු කර සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. ඔයිල් පේපර් එකක් දමාගත් තැටියක කුකීස් රවුම් තියාගන්න.
- සෙල්සියස් 170-180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20-25ක් බේක් කරගන්න.
3. ඔරේන්ජ් සොර්බේ

Image Source – fiddleheadscuisine.blogspot.com
රස්නෙ කාලෙට කියාපු අතුරුපසක්. වැනලා අයිස්ක්‍රීම් ටිකක් එක්ක පිලිගන්වන්න අපූරුයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- දොඩම් යුශ කප් 2
- සීනි කප් කාලක් සහ මේස හැඳි 2
- ලුණු තේ හැඳි 1/2
- සියල්ල එකට මිශ්‍ර කර, සීනි දියකරගෙන මිශ්‍රණය සිප්ලොක් බෑග් එකකට දමාගන්න. ඒ බෑග් එක කුඩු කරගත් අයිස් දමාගත් බෑගයක් ඇතුළට දාගෙන වේගයෙන් සොලවන්න.
- මිශ්‍රණය ඝණ වූ පසු ෆ්‍රීසර් එකේ දමාගන්න. අවශ්‍ය වෙලාවට ඉවතට ගන්න.
4. චොකලට් මූස්

Image Source – bbc.com
ලේසියෙන්ම හදාගන්න පුළුවන් චොකලට් මූස් එකක්. ඕන වෙන්නෙ දේවල් තුනක් විතරයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- පුරවාගත් කොකෝවා පව්ඩර් මේස හැඳි 2
- හෙවි ක්‍රීම් හෝ විපින් ක්‍රීම් කප් 1
- ලුණු පින්ච් එකක්
- සියල්ල එකට මිශ්‍ර කර ඝණ වනතුරු බ්ලෙන්ඩ් හෝ බීට් කරගන්න. එවෙලේම පිලිගන්වන්න. නැත්නම් ශීතකරණයක තබන්න.
5. පිටි රහිත චොකලට් කේක්

Image Source – recipetineats.com
පිටි නැතුව කේක් හදන්න පුළුවන් කියල දන්නවද? හදලම බලමුද?
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 8
- චොප් කරගත් කුකින් චොකලට් 450g
- බටර් 220g
- බිත්තර ටික ප්‍රමාණය දෙගුණ වනතුරු හොඳින් බීට් කරගන්න.
- ඩබල් බොයිල් ක්‍රමයට චොකලට් සහ බටර් උණුකරගන්න. ලිපෙන් ඉවත් කර මදක් නිවෙන්නට හැර බිත්තර මිශ්‍රණය තුන් වරකට එක් කරමින්, පැතලි හැන්දකින් එක පැත්තකට පෙරලමින් කලවම් කරගන්න. බටර් ගාගත් තැටියකට දමාගන්න.
- කේක් ට්‍රේ එක උණු වතුර දමාගත් තැටියක බස්සා, සෙල්සියස් 170-180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20-25ක් බේක් කරගන්න.
- හොඳින් නිවුණු පසු ශීතකර පිලිගන්වන්න.
6. කොකනට් මැකරූන්ස්

Image Source – foodnessgracious.com
හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඩෙසර්ට් එකකට විතරක් නෙවෙයි, තේ වෙලාවට ස්නැක් එකකටත් ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- ඩෙසිකේටඩ් කොකනට් හෝ සිහින්ව ගාගෙන අවන් එකේ දමා වියලාගත් පොල් කප් 5 1/3ක්
- මිල්ක්මේඩ් පොඩි ටින් එකක්
- වැනිලා මේස හැන්දක්
- සියල්ල එකට මිශ්‍ර කර හොඳින් අනාගන්න. ඔයිල් පේපර් එකක් දමාගත් තැටියක සාදාගත් මිශ්‍රණයෙන් කුඩා බෝල තැනින් තැන දමාගන්න.
- සෙල්සියස් 170ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 15-18ක් පමණ රන්වන් පාට වනතුරු බේක් කරගන්න.
7. ෆෘට් ටාර්ට්

Image Source – cooksillustrated.com
කැමති ඕනම පළතුරක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. නිකම්ම මේ විදියට හෝ චොකලට් සෝස්, විප්ඩ් ක්‍රීම්, අයිස්ක්‍රීම් හෝ කස්ටඩ් එක්ක පිලිගන්වන්නත් පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- පේස්ට්‍රි ශීට් එකක් (ඕනම සුපිරි වෙළඳසලකින් ලබාගන්න පුළුවන්)
- අන්නාසි/ ස්ට්‍රෝබෙරි/ ඇපල් වගේ පලතුරක් හෝ පළතුරු කීපයකින් ග්‍රෑම් 450ක්
- සීනි මේස හැන්දක් හෝ රස අනුව
- පේස්ට්‍රි ශීට් එක අඟල් 12 12 ප්‍රමාණයට දිගහැරගෙන වටෙන් අඟල් බාගයක් පමණ උසට හිටින්න නවාගන්න. එය ඔයිල් පේපර් එකක් දමාගත් ට්‍රේ එකක තබා ඒ මැදට කපාගත් පළතුරු පෙති අතුරාගෙන උඩින් සීනි පැණි රස අවශ්‍ය පරිදි ඉසගන්න.
- දියකරගත් සීනි ටිකක් පේස්ට්‍රි එක වටේට බ්‍රශ් කරගන්න. සෙල්සියස් 200ට ප්‍රීහීට් කරගත් අවන් එකක දමා විනාඩි 18-20ක් හෝ පේස්ට්‍රි එක රන්වන් පාට වනතුරු බේක් කරගන්න. නිවෙන්නට හැර පිලිගන්වන්න.
Cover Image Source – sbs.com. paleoglutenfree.com/food52.com
Leave a Reply