රැල්ලට අම්බුළුවාවෙ යන්න ඉන්න කස්ටිය එහෙ විතරක් ගිහිල්ලා මදිනේ. ඒ අවට තියන තව ලස්සන තැන් ගැන දැනගෙන ගියාම ඔක්කොම කවර් කරන් එන්න පුළුවන්නේ. ඒ නිසාම අපි අද කියන්න යන්නෙ අම්බුළුවාව කන්ද ගැන වගේම ගම්පොළ වටේ තියන තවත් ලස්සන තැන් ටිකක් ගැනයි.
1. අම්බුළුවාව කන්ද
අම්බුළුවාවෙ විස්තර දැනගෙනම අම්බුළුවාවෙ යන එකනෙ හොඳ. ගම්පොළ නගරයේ හෙම්මාතගම පාරෙ කි. මි. 4ක් 5ක් වගේ ගියාම අම්බුළුවාව කන්දට යන පාර හම්බෙනවා. මේ කන්දේ සර්ව ආගමික සන්ධිස්ථානයක් විදියට පන්සලක්, කතෝලික පල්ලියක්, කෝවිලක් හා මුස්ලිම් පල්ලියක් දැකගන්න පුළුවන්. හරියට බැලුවොත් මුහුදත් බලාගන්න පුළුවන් මට්ටමකට උසක් තියනවා. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 3560ක වගේ උසින් තියන මේ කන්ද උඩම තියන අම්බුළුවාව පන්සල ගොඩක් ජනප්‍රිය තැනක්.
අද වෙද්දි තරුණ පිරිස් ගොඩක් මේ අම්බුළුවාව පන්සලේ තියන කුළුණ නගින්න එනවා.
අම්බුළුවාව කන්දට නැග්ගම වටේ තියන සමනළ කන්ද, නකල්ස් කඳු වැටිය, පිදුරුතලාගල කන්ද, බයිබල් කන්ද, හන්තාන කඳු වැටිය ගොඩක් ලස්සනට බලාගන්න පුළුවන්. මීටර් 48ක් වගේ උසට හදලා තියන කුළුණ මේ ප්‍රදේශයටම අමුතු අභිමානයක් ගේනවා. විදේශිකයන් ගොඩක් සංචාරය කරන්න කැමති තැනක් තමයි මේ. මේ කන්දෙ තියන පන්සලට අමතරව පොකුණු තුනක්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්, ජල උයනක්, ඖෂධ උයනක් බලාගන්න පුළුවන්
මෙන්න තැන
2. Tea Plantation Museum
ගම්පොළ පැත්තෙ ඉඳලා දොරගල පැත්තට එනකොට පාරදෙක හන්දියෙන් කෙලින්ම ඇවිත් දොරගල හන්දිය පහු කරලා මීටර් 200ක වගේ දුරින් මේ කෞතුකාගාරය පිහිටලා තියනවා. ප්‍රමාණයෙන් විශාල නොවුනත් ගොඩක් වැදගත් දේවල් ටිකක් බලාගන්න පුළුවන්.
අතීතයේ තේ දළු නෙලපු අය භාවිතා කරපු උපකරණ, ඓතිහාසික ජායාරූප, පැරණි සංගීත උපකරණ, ආබරණ පෙට්ටි වගේ වටිනා භාණ්ඩ රැසක් දැකබලාගන්න පුළුවන්. මේ කෞතුකාගාරය පටන් අරන් තියෙන්නෙ 2007 අවුරුද්දෙ. වතුකරයෙ ජනතාවගේ සංක්‍රමණය, මෙහෙ වැඩ කළ අන්දම වගේ කරුණු රැසක් හෙළිදැක්වීම අරමුණු කරගෙන පටන් අරන් තියන මේ කෞතුකාගාරය හදලා තියෙන්නෙ සාමාන්‍ය වතු ජනතාව ජීවත් වෙන විදියට ඉරි තැලුණු බිත්ති වලින් සමන්විත ලයින් කාමරයක් වගේ. නරඹන්නන්ට වතුකරයෙ ජනතාවගෙ ජීවිතයේ සැබෑ ස්වභාවය නිරූපණය කිරීමයි මෙහි අරමුණ වෙලා තියෙන්නෙ. එතනට ගියාම ඇත්තම ලයින් කාමරයක අත්දැකීම ගන්න පුළුවන්.
3. කොත්මලේ ඩෑම් එක
ගම්පොළ පැත්තෙ යන ඕනම කෙනෙක් නොවැරදීම යන්න ඕනෙ තැනක් තමයි මේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ තමයි මේ ඩෑම් එක පිහිටලා තියෙන්නෙ. මේ ඩෑම් එක හදන්න පටන් අරන් තියෙන්නෙ 1979. ඉවරවෙලා තියෙන්නෙ 1985 අවුරුද්දෙ. මෙගාවොට් 67ක ධාරිතාවයකින් යුක්තව ටර්බයින් 3කින් විදුලිය නිපදවන ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරය තමයි මේ. රටට සෑහෙන සේවයක් වෙන මේ ඩෑම් එක නොබල නම් වැඩක් නෑ.
මෙන්න තැන
4. ලංකාතිලක විහාරය
මහනුවර දිස්ත්‍රික්කයේ උඩු නුවර පිහිටලා තියන මේ විහාරය 14 වෙනි සියවස දක්වා අතීතයකට හිමිකම් කියන IV වන බුවනෙකබාහු රජතුමා හදපු එකක්. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පියෙක් විසින් නිර්මාණය කරන ලද මේ පන්සල පොළොන්නරුවෙ ගෘහ නිර්මාණ ශිල්පය ආභාෂය කරගෙන තියන බව පේනවා. ස්වභාවික ගලක් වෙන පහන්ගල උඩ තමයි මේ පන්සල හදලා තියෙන්නෙ. ඒ වගේම සාම්ප්‍රදායික මූර්ති වලින් සමන්විත වෙලා තියනවා. ගම්පොළ ගියොත් බෞද්ධයන් අනිවාර්යයෙන් යන තැනක් තමයි මේ. මෙහි ඇති රූප ගෘහය අතීතයේ තට්ටු 4කින් සමන්විත උනත් මේ වෙනකොට දකින්න පුළුවන් තට්ටු 3ක් විතරයි.
මේ විහාරයට යන්න පිළිමතලාවෙ හන්දියෙ ඉඳලා කි.මි 4කට වගේ දුරක් තියනවා. මේ කිට්ටුවම තමයි ගඩලාදෙණිය පන්සලත් තියෙන්නෙ.
මෙන්න තැන
5. කබරගල
ගම්පොළ ඉඳලා කුරුඳුවත්ත හරහා කබරගලට සේන්දු වෙන්න පුළුවන්. මීටර් 1500කට වඩා උසින් පිහිටලා තියන මේ ගල හා අවට ප්‍රදේශය හරිම ලස්සනයි වගේම සිත් ඇදගන්නා සුළුයි.
ගොඩක් තරුණ පිරිස් හයික් වලට තමයි මෙහෙට එන්නෙ. දොළොස්බාගෙ පාරෙන් තමයි මේ කන්දට යන්න ඕනේ. මේ ගල උඩටම නැගලා පහල බලන ගල ළඟට යන්නෙ නම් පරිස්සමින් හොඳේ. එතන ෆොටෝ ගන්න එකත් ටිකක් අවදානම්. මේ ගල උඩට නාවලපිටිය ටවුන් එක නියමෙට පේනවා. කෑම්පින් වලටත් සූට්වෙන විදියට තණ පිට්ටනියක් තමයි ගල උඩ තියෙන්නෙ. මෙතන්ට අම්බුළුවාව කන්දත් ලස්සනට පේනවා. මෙහෙම කියලා බෑ. ඔයාලා ගිහින්ම බලන්න.
මෙන්න තැන
Leave a Reply