මස් කඩේට ගිහින් හරි විදියට මස් ටිකත් අරගෙන එන්නේ මෙහෙමයි!

අපි ඕනම කෙනෙක් මොකක්ම හරි වෙජිටේරියන් වර්ගෙක නෙවෙයි නම් මස් කනවනේ. හා නැද්ද? එතකොට එහෙම කන්න මස් ලැබෙන්නේ කොහෙන්ද? සරලයි. එක්කො මස් කඩෙන් ගෙන්න ගන්නවා, එහෙම නැතිනම් අපි මස් කඩේට ගිහින් ගන්නවා. හැබැයි ඉතින් මස් කඩේ කිව්වට, දැන් කාලේ අපිට මස් එහෙම ගන්න තියෙන්නේ සාම්ප්‍රදායික මස් කඩේම විතරක් නෙවෙයි. ඔය සුපර් මාර්කට් වලත් වෙනම බුචරි එකක්, එහෙම නැතිනම් මස් විකුණන අංශයක් තියෙනවා. එහෙම නැතිනම් ඔය කෙලින්ම ගෙදරටම ගාණට පැකට් කරලා පිරිසිදුවට මස් ඩිලිවර් කරන ආයතන එහෙමත් තියෙනවා. හරි, අපි මේ කියන්නේ ඒ වගේ එව්වා ගැන නෙවෙයි. පරණ විදියටම අපි ගියහම, අපිට ඕන මස් ටික අර තඩි මන්නෙකින් කපලා කරලා, ගාණට ඔතලා කරලා දෙන, කඩේ හැමතැනම මස් එල්ලලා තියෙන, එහෙම නැතිනම් ඩිස්ප්ලේ එකේ මස් දාලා තියෙන, පරණ පුරුදු සාම්ප්‍රදායික මස් කඩ ගැන. 

 

ඇත්තටම ඔය වගේ තැනකට ගියත් හැසිරෙන්න ඕන විදියක් තියෙනවද? මොකද නැත්තේ? මස් කඩේකට ගිහින් හැසිරෙන්න ඕන විදියක් තියෙනවා විතරක් නෙවෙයි, හරියට අපිට අවශ්‍ය විදියට මස් ටික අරගෙන එන්නත්, අපි දැනගෙන ඉන්න ඕන කරුණු කාරණා තියෙනවා. ඉතින් අපි හිතුවා අන්න ඒ දේවල් ගැන කියලා දෙන්න. 

 

1. මුලින් පොඩ්ඩක් බලන්න

සමහරු ඉන්නවා කෙලින්ම මුස්ලිම් මනුස්සයෙක් කරන කුකුළු මස් කඩේකට ගිහින් අහනවා පෝක් නැද්ද කියලා. ඒකට මනුස්සයට තරහ නොයන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ඒ තරම් හරි දෙයක් නෙවෙයි. කොහොමත් තමන්ටත් හොඳයි, ගියපු ගමන් හායි ගාලා මස් ගන්න කලින්, පොඩ්ඩක් අවට හොඳට බලලා ඉන්න එක. සමහර ටවුන් එකක එක ලඟ මස් කඩ තුනක් හතරක් තියෙනවා. ඒ තියෙන්නේ කුකුළු මස් කඩේ, ඌරු මස් කඩේ, හරක් මස් කඩේ, එළු මස් කඩේ වගේ විවිධ මස් වර්ග විකුණන විවිධ මස් කඩ වර්ග විදියට තමයි. අන්න එතකොට තමන්ට අවශ්‍ය මස් ටික ගන්න අවශ්‍ය කඩේට යන්න පුළුවන්. ඒ ඇරෙන්න, පොඩ්ඩක් බලන්න මස් කඩේ තත්ත්වය කොහොමද කියලා. ඒ කියන්නේ, මස් කඩේකට ගිහින් දවස් ගණන් පරණ මස් අරගෙන එන්න ඕන නැහැනේ. ඒ නිසා. ඒ ගැන ඊලඟට තව දුරට කතා කරමු.

 

2. ප්‍රදර්ශන ට්‍රික්ස් වලට අහු නොවෙන්න

දැන් ඔය සුපර් මාකට් වල එළවළු විකුණන්න කරන ට්‍රික්ස් තියෙන්නේ. කොළ පාට ලයිට් එකක් දාලා, නිතර වතුර ස්ප්‍රේ කරලා එහෙම තියාගෙන ඉන්නේ? ආන්න ඒ වගේ ට්‍රික්ස් සමහර මස් කඩවලත් තියෙනවා. කෙලින්ම ඉස්සරහා තියෙන ඩිස්ප්ලේ එකේ අපිට නොපෙනෙන පැත්තේ තියෙන්නේ රතුපාට ලයිට් එකක්. ඒ නිසා අපිට මස් පේන්නේ දැන් මැරුවා වගේ ලේ පාටට. අපිත් එතකොට හම්මා අලුත්ම අලුත් මස් කියලා හිතාගෙන ගන්නවා. අන්න ඒ නිසා, ඩිස්ප්ලේ එක ඇතුළෙන් කුකුලෙක් අරගෙන දෙනකොට, ඒක පොඩ්ඩක් ස්වභාවික ආලෝකය යටතේත් කොහොමද කියලා බලන්න. සාමාන්‍යයෙන් හරක් මස් එහෙම නම් තද දීප්තිමත් රතු පාටින් තියෙනවා කියන්නේ ෆ්‍රෙෂ් බඩු කියන එක. එතකොට ඔය සෑහෙන්න කහ ගැහිලා එහෙම තියෙන කුකුළු මස් අනිවා පරණයි. මස් ඇඟිල්ලෙන් ඔබලා බැලුවහම හෙමිහිට ආයෙමත් තිබ්බ විදියටම එන තද ගතියක් තියෙනවා කියන්නේ ෆ්‍රෙෂ් බඩු කියන එක. එබිලම හිටිනවා නම් ගොඩක් වෙලාවට පරණ මස්. ඕන නම් පොඩ්ඩක් සුවඳ බලන්නත් පුළුවන්. ෆ්‍රෙෂ් මස් වල ලාවට ලේ සුවඳක් තිබ්බොත් මිසක් වෙන ගඳ සුවඳවල් තියෙන්න බෑ. හැබැයි එහෙම සුවඳ බලනකොට ඇමෝනියා හරි ඒ වගේ කෙමිකල් සුවඳක් හරි එනවා නං, නොගන්න එක හොඳයි. මස් ගඳ ගහනවා නං කොහොමත් ගන්නෙ නැහැනේ.

 

3. මස් ටික කපන විදිය බලාගෙන ඉන්න

මේක ඇත්තටම වැදගත්, නොදන්නා මස් කඩේකින් එහෙම මස් ගන්නකොට. ඕනම කෙනෙක් ඉතින් හොර කරන්න පුළුවනිනේ. අපි කියන්නේ මස් කඩේ මුදලාලි දිහා සැකෙන් බලන්න කියලා නෙවෙයි. හැබැයි කෝකටත් හොඳයි, තමන්ටම මස් ටික ගෙදර කපා ගන්න පුළුවන් නම්, කපන්න එපා කියලා ඒ විදියටම මස් ටික ඔතාගෙන එන එක. එතකොට අපේ හිතටත් හොඳයි, මුදලාලිටත් ලේසියි. හැබැයි අපි මස් ටික කඩෙන් කප්පවගෙන එනවා නම්, පොඩ්ඩක් විමසිල්ලෙන් බලාගෙන ඉන්න. අර කොටේ උඩ තියලා කපනකොට සමහර කලාතුරකින් ඉන්න ඇම්බැට්ට මුදලාලිලා කරන ට්‍රික් එකක් තමයි, ෂේප් එකේ මස් කෑල්ලක් දෙකක් එක්කෝ පැත්තකට අයින් කරන එක, එහෙම නැතිනම් වට්ටවන එක. කපන්න කලින්නේ මස් ටික කිරන්නේ. එතකොට ඇත්තටම අපිට හම්බෙන්නේ අපි ගෙවන ගාණට මස් ටික නෙවෙයි, ඊට අඩුවෙන්. ඒ නිසා, විමසිල්ලෙන් මස් කපන දිහා බලාගෙන හිටියට කමක් නෑ. අනික, මස් කපන්න ලොකු දැනුමක් නැතිනම්, මුදලාලි මස් ටික කපන විදිය බලාගෙන ඉඳලා හරියට මස් කපන සාස්තරේ අල්ලගන්නත් පුළුවන්! 

 

4. ගණන් අහන්න, ලාබෙ බලන්න

මස් ගන්න විතරක් නෙවෙයි, වෙන ඕනම දෙයක් ගන්න ගියත් මුලින් කරන්න ඕන දේ තමයි ගණන් අහලා ඉන්න එක. ආයෙ ඕක අමුතුවෙන් කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයිනේ. විශේෂයෙන්ම ඔය පැකට් කරපු මස් වල ගණන් ගහලා තිබුණට, මස් කඩේ නිකම් එල්ලලා තියෙන මස් වල ගණන් ගහලා නෑ. ගොඩක් වෙලාවට දැන් මස් කඩවල් වල මස් කිලෝ එකක් මෙච්චරයි කියලා නං ගහල තියෙනවා. හැබැයි මස් විවිධ විදියට ගන්න කොට – ඒ කියන්නේ කටු නැතුව ගන්නකොට ගාණ කීයද, රිබ්ස් ගන්නකොට ගාණ කීයද, ලිවර් එකෙන් ගන්නකොට ගාණ කීයද- කියලා වෙන වෙනම ගහලා නැහැනේ. ඒ නිසා, මුලින් නිකමට වගේ ගණන් අහන්න. ඊට පස්සේ පොඩ්ඩක් ගණන් හදලා බලන්න. සමහර වෙලාවට ගොඩක් මස් ගන්නවා නම්, නිකම්ම මස් කිලෝ එක ගන්නකොට ගාණට වඩා, කටු රහිතව ගන්නකොට ගාණ ලොකු වැඩියක් වෙන්නෙ නෑ. අන්න එහෙමනම් ඒ විදියට ගන්න එක හොඳයි.

 

ඒ වගේම තව දෙයක්. තමන්ට අවශ්‍ය මස් කොටස් ගණන් අහලා ගන්න. ඒ කියන්නේ සමහරු කැමතියි ඌරු මස් තෙල් කෑලි එක්ක ගන්න. සමහරු කැමති තෙල් කෑලි නැතුව මස් විතරක්. අන්න ඒ වගේ ගන්න විදිය අනුව සමහර වෙලාවට ගණන් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ගණන් අහලා, හිතින් ගණන් හදලා බලලා මස් ටික ගන්න. ඔය ගැන අපි තව කරුණු ටිකක් ඉස්සරහට කියනවා.

 

5. උපදෙස් ගන්න මැලි නොවෙන්න

එහෙම කියනකොට කෙනෙක් හිතයි, මස් කඩේ ලොක්කගෙන් මොනවද අපිට ගන්න තියෙන උපදෙස් කියලා. ඇත්තටම එතනදී අදාළ වෙන්නේ අපි ඔය මස් මාංශ ගැන ඒ හැටි දන්නෙ නැතිනම් අහලා බලන එක තමයි. උදාහරණයක් විදියට, ඌරු මස් බාබක්‍යු එකක් දාන්න ගන්නවා නං, වඩාත් හොඳ මොන කොටස් ද? දැන් කාලේ අපිට ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන දැනගෙන කරගෙන යන්නත් පුළුවන් තමයි. හැබැයි ඉතින් හැම්, ටෙන්‍ඩර්ලොයින්, ස්පෙයාර් රිබ්ස් වගේ වචන දැම්මහම ගමේ මස් කඩේ මුදලාලි හොල්මන් වෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා, මුදලාලිගෙන් අහල බැලුවට කමක් නෑ, ඌරු මස් කරියක් හදන්න මොන මස් කෑලි ද හරියන්නේ, බීෆ් ස්ටේක් එකකට නං මොන විදියටද හරක් මස් ගන්න ඕනෑ, බාබක්‍යු එකකට සෙට් වෙන්නේ කුකුළු මස් මොන විදියටද වගේ දේවල්. සමහර විට වැඩේ දන්නෙ නැති, මස් ටික කපන්න විතරක් දන්න මුදලාලියෙක් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට මස් කඩයක් කරන මනුස්සයෙක්ට ඔය දේවල් ගැන එක්ස්පීරියන්ස් තියෙනවා. ආන්න ඒ නිසා නොදන්න දෙයක් එහෙම අහලා බලන්න මැලි වෙන්න එපා.

 

6. අවශ්‍ය විදියට මස් ටික අසුරවාගන්න

මස් ටික අහුරන එකත් ඇත්තටම එක්තරා විදියක කලාවක්. බලාගෙන ඉඳලා තියෙනවද එක්ස්පීරියන්ස් තියෙන මුදලාලි කෙනෙක් කොහොමද මස් ටික අහුරන්නෙ කියලා? මුලින්ම මස් ටික ෂොපින් බෑග් එකකට දැම්මා, ඊට පස්සේ පත්තර කොළ දෙකක් එකට තියලා, ඒ ෂොපින් බෑග් එක හොඳට පත්තර කොළ වලින් එතුවා. ඊටත් පස්සේ දෙයියනේ කියලා ඒ ඔතපු මස් ටිකත් ආයෙ තව ෂොපින් බෑග් එකකට දැම්මා. ඇත්තටම එහෙම ඇහිරුවට පස්සේ මස් වලින් ලේ ලීක් වෙන්නෙවත්, මොකුත් මස් සුවඳක් එළියට එන්නෙවත් නෑ. ගෙදර ගිහින් කපලා කරලා ෆ්‍රිජ් එකේ දානකල් කරදරයක් නැතුව තියෙනවා. අන්න ඒ නිසා, මස් කඩේ ලොක්කා ඒ විදියට නීට් එකට මස් ටික අහුරලා දෙන්නෙ නැතිනම්, ඒක කාරුණිකව ඉල්ලා හිටින්න අපිට අයිතියක් තියෙනවා. මොකද, මස් ටික ගෙනියන්න ඕන අපිනේ. එතකොට වාහනේක එහෙම මස් ටික කැත නැතුව, බය නැතුව සීට් එකක් උඩින් හරි තියාගෙන එන්න පුළුවන් වෙන්න ඕන. ටිකක් වැඩිවෙන්න මස් ගන්න වෙලාවක නම්, ඒක අපි බයික් හැන්ඩ්ල් එකක එහෙම එල්ලගෙන එනවා නම්, මුදලාලිට කියලා ෂොපින් බෑග් දෙකකවත් දාගෙන එන්න. එහෙම නැතිනම් තවත් හොඳම වැඩක් තමයි, මස් ගේන්න යනකොට, අර හයිය බඩු ගෙනියන බෑග් එකක් මස් ගේන වැඩේටම වෙන් කරගෙන, ඒකත් අරගෙන යන එක.

 

7. සල්ලි දෙන්නෙ කොහොමද?

දැන් මස් අරගෙන සල්ලි දෙන එක අමුතු වැඩක් ද? පර්ස් එක ගත්තා, සල්ලි දුන්නා, ඉතුරු සල්ලි ගත්තා. එච්චරයිනේ? නෑ, ඔතනදී සමහරුන්ට මෙහෙම ප්‍රශ්නයක් එනවා. සමහරු කැමති නැහැ ලේ ගෑවුණු සල්ලි ආයෙමත් තමන්ගේ පර්ස් එකේ තියාගන්න. ඒක ඉතින් අසාධාරණ නැහැනේ. සමහරුන්ට එහෙම විශ්වාස තියෙනවා. ඉතින් තමනුත් එහෙම විශ්වාසෙක ඉන්න කෙනෙක් නම් කරන්න තියෙන්නේ, මස් ගන්නකොට කිලෝ ප්‍රමාණෙට නැතුව, මුදල් ප්‍රමාණෙට ගන්න එක. උදාහරණයක් විදියට කිව්වොත්, රුපියල් දාහක කුකුල් මස්. අන්න එතකොට දාහෙ කොළයක් දෙන්න විතරයි තියෙන්නේ. ආයෙ මාරු සල්ලි ගන්න අවශ්‍යතාවයක් නෑ. ඕක ඉතින් තම තමන්ගේ හැටියට තමයි.

 

දැන් පැහැදිලි වෙන්න ඕන තමන්ටත් පාඩුවක් නොවෙන්න, කරදරයක් නැතුව මස් ටික ගන්න නම් කොහොමද මස් කඩේට ගිහින් තමන්ගේ චර්යාව පවත්වාගන්න ඕන කියන එක. හැබැයි ඔය ඇරෙන්න තව දෙයක් තියෙනවා. නිතරම මස් කන, විවිධ ක්‍රම වලට මස් හදලා බලන්න ආස කරන කෙනෙක් නම්, පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සැරිසරලා, තමන් කන මස් වර්ග ගැන පොඩ්ඩක් හදාරලා යන එක පාඩු නෑ. ඒ කියන්නේ, සතාගේ මොන මොන කොටස් මොන මොන දේවලටද ගන්නේ, සතාගේ මොන මොන කොටස්, මොන මොන නම් වලින්ද හැඳින්වෙන්නේ වගේ දේවල් ඉගෙන ගෙන ඉන්න එක වාසියක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *