සරම ගැන රසවත් වැදගත් කරුණු දැනගමු

ටිකක් ලොකු ටියුබ් එකක් විදිහට තියෙන, ඇතුළට බැහැලා අඳින්න තියෙන සරම අවුරුදු කාලෙට නම් වැඩියෙන් කල එළි බහිනවා. ලොකු ලොකු නිලවල අයත් අවුරුදු කාලයට සරම ඇඳගෙන ටීවී එකට පෙනී සිටිනවා. ඒත් දැන් සාමාන්‍යයෙන් බස් එකක, කෝච්චියක, ටවුමක වුනත් සරම් ඇඳපු අය අඩුයි. අනූව අසූව කාලෙදි ගම්මාන වල සරම් අඳින අය ගොඩක් හිටියත් අද වෙද්දි ගම් වල පවා කලිසම්කාරයෝ වැහි වැහැලා. ඉතින් සරම් ගැන පොඩි කාරණා ටිකක් ඔයාලට ඉදිරිපත් කරන්න අපි හිතුවා. 

 

1. සරම අපේද?

නැහැ. සරම කියන එක අපේ ජාතික ඇඳුමටත් එක්කාසු වෙනවා. අවුරුදු වෙලාවට අපි අපේම ඇඳුමක් විදිහට සරම අඳිනවා. ඒත් සරම කියන්නේ ​එහෙම අපේම ඇඳුමක් නම් නෙමෙයි. සරම දකුණු ඉන්දියාවේ වගේම අග්නිදිග ආසියාවෙත් ජනප්‍රිය ඇඳුමක්. ඊට අමතරව අප්‍රිකාවේ ජනතාවත් සරම අඳිනවා. මේ සරම ඇතැම් කලාප වලදි ලුංගිය විදිහට හැඳින්වෙනවා. අපේ මුස්ලිම් අය අඳින කොටු කොටු ජාතියේ සරම් කේරළයේ වගේම ඉන්දුනීසියාවේ දිවයින් වල ජනතාවත් අඳිනවා. සරම් කියන වචනයත් ඉන්දුනීසියාවේ ජාවා බාසාවෙන් බිඳී ආපු වචනයක්.

 

2. සුද්දන්ට සරම ගැන තියෙන ප්‍රශ්​න

සරම දුන්නම කලින් ඇඳලා නැති කෙනෙක් නම් මුලින් එන අවුල තමයි කොහොමද සරම අඳින්නේ කියන එක. සරම අඳින විදිය සුද්දට ප්‍රශ්නයක්. ඊට අමතරව සරමට කලිසමට වගේ පොකට් එකක් නැති එකත් සුද්දට ප්‍රශ්​නයක්. ඒ වගේම සරම හිර කරගැනීම, ඒක ඇඳගෙන දිවීම වගේ සාමාන්‍ය සරම් ගැටළු කිහිපයක්ම සුද්දට එනවා. සරම ඇන්දාම බුරිය හරියට සෙට් වෙන සරම් ගැටේ අස්සේ ඉස්සර අපේ ආතලා බුලත් මඩිස්සලය, සල්ලි පොට්ටනිය ගහගෙන ගියා. පස්සේ කාලෙක ආවා සරමට බඳින අඟල් දෙකක් විතර මහත බෙල්ට් එකක්. ඒ බෙල්ට් එකේ තිබුණා පොඩි පොකට් එකක්. ඒ කාලේ සරම් ඇඳපු අපේ සීයලා ඒ පොකට් එකේ සල්ලි දාගත්තා. දැන් නවීන ලෝකයෙත් ඒ වගේ ඉණ වටේ බඳින පටි ආදිය තියෙනවා ෆෝන් එකක්, පර්ස් එකක් දාගන්න පුළුවන් ලොකු ඉඩක් තියෙන. සරම ඇඳලා එයින් එකක් දාගත්තා නම් පොකට් ප්‍රශ්නය ගාණට ශේප් වෙනවා.

 

3. බහුකාර්යය සරම

සරම කියන්නේ ඇඳුමක් වගේම ඒක බෙඩ්ශීට් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. සරම නමලා කරලා අමුඩය ගහගෙන ගහකට නඟින්නත් පුළුවන්. දෙමළ චිත්‍රපට වල පෙන්වන විදිහට වලියකට වගේ සෙට් වෙනවා නම් සරම කැහැපට ගහගත්තාම ඕනි වලියකට දුවන්න, පනින්න හැකියාව ලැබෙනවා. ඉතින් කලකට පෙර නම් සරම් දෙකක් ඇඳලා උඩ ඇඳුම විදිහට පාවිච්චි කරපු අයත් හිටියා. අනූව දශකයේ ජනප්‍රියම නාට්‍යයක් වුන කෝපි කඩේ සිටි කුරුං ගුරුං චරිතය එහෙම සරම් දෙකක් ඇඳලා එකක් උඩට ඇන්ද චරිතයක් වුණා.

 

4. ගෑණුන්ට සරම

ගෑණු අය සරම අඳිනකොට ඒක සරම කියන නමින් හඳුන්වන එක අඩුයි. ලුංගිය විදිහට සරමේ ගෑණු වර්​ෂන් එක දැක්වෙනවා. ලංකාවේ මේ ගෑණු සරම හෙවත් ලුංගි එතරම් ජනප්‍රිය නැහැ. අවුරුදු කාලෙට සහ මැදිවියේ කාන්තාවන් උත්සව වලට මේ වැනි ලුංගි අඳිනවා. ඒත් මියන්මාරයේ ලුංගිය ජනප්‍රිය තවමත් කාන්තාවන් අඳින වස්ත්‍රයක්. මියන්මාර ලුංගිය සහ පිරිමි සරම ස්වරූපයෙන් දිග පළලින් එක වගේ වුණාට ඒක අඳින විදිහ වෙනස් වෙනවා. පිරිමින්ට වගේ දුව පැනලා කෙලි කරන්න අමාරුයි ඒ මියන්මාර ක්‍රමයට ගෑණු ලුංගිය ඇන්දාම. මියන්මාරයේ ලුංගි දැන් නම් අඳින්න පහසු විදිහට පටි ඇතුළත් කරලා එනවා. ඒ වගේම ඒ බර්මීස් ලුංගි විවිධ හැඩයෙන්, වර්ණයෙන් ස​හ මෝස්තර වලින් මිලදී ගන්නත් ඒ රටේදි අවස්ථාව ලැබෙනවා.

 

5. මොඩිෆයිඩ් සරම්

සරම ඇන්දාම සාක්කු නැති එක කේස් එකක් විදිහට ගත්ත නිර්මාණකරුවන් දැන් සරමට පොකට් එකකුත් එකතු කරලා අලුත් ජාතියේ සරම් නිපදවලා තියෙනවා. ඒ වගේම සරම අඳින්න තියෙන අපහසුතාවය අවබෝධ කරගත් ඔවුන් සරම අඳින්න පුළුවන් විදිහට ලේසි කරලා තියෙනවා. ඒත් ඒ මොක ආවත් තාමත් පැරණි විදිහට සරම අඳින අය සුල​භයි. ලංකාවට සරම් බොහෝවිට ඉන්දියාවෙන් එනවා. ඒ වගේම කලක පටන් ලංකාවේ සරම් බතික් කිරීමේ කලාව ජනප්‍රිය වෙලා තියෙනවා. මේ ඉන්දියානු සරම් රුපියල් දෙතුන් සීයේ ඉඳන් රුපියල් දෙතුන්දාහ දක්වා පරාසයක පැතිරිලා තියෙනවා. දැන් මුද්‍රණ ක්‍රම දියුණු නිසා අලුතින් මෝස්තර සහ වෛවර්ණ අද වෙද්දි සරමට එකතු වෙලා තියෙනවා.

 

6. ස්විම් සූට් කවර් සරොන්ග්

ඇමරිකාවේදී මේ සරොම් කියන වදන වෙනත් කාන්තා ඇඳුමක් හැඳින්වීමටත් පාවිච්චි වෙනවා. කාන්තාවන් මුහුදේ, ඇලේ දොලේ නාන්න යද්දි ඇමරිකාවෙදි බිකිනි කියන බොහොම කෙටි ඇඳුම අඳිනවා. ඒ බිකිනිය පිටින් හැම තැනම යන එක අසෝබන නිසා ඔවුන් ඒක උඩින් දුහුල් සළුවක් අඳිනවා ලස්සන වෙන්න ඉණට. මෙන්න මේ සළුවත් ශෝට් සරොන් කියලා දැක්වෙනවා. මේ ශෝට් සරොන් මසන් අඩවියේ ඩොලර් 17 සිට විකුණන්න තියෙනවා.

 

7. සරම අභාවයට යෑම

ඉන්දුනීසියාවේ ඇතැම් කලාප වල සරම රෝල් කරලා එය නන්චක්කුවක් ආකාරයෙන් සටන් කරන්නත් පාවිච්චි කරනවා. කොහොම වුනත් ආසියානු රටවල පවා දැන් දැන් සරම ටිකක් ඈත් වෙලා ඒ තැන ෂෝටස් සහ කලිසම් වලට ලැබෙමින් යනවා. සරම ලෙහෙසි පහසු වාතාශ්‍රය ලැබෙන කදිම ඇඳුමක් වුණත් සරම ඇන්දම අපේ ඇවිදීම්, දුව පැනීම් ටිකක් අමාරු වෙනවා. ඇරත් සරම දේශපාලනයේදී පාවිච්චි වුණාට ව්‍යාපාරික වාණිජ ලෝකයේදි තාමත් ලොකු ටයි කෝට්කාරයින්ට තැන ලැබෙනවා වැඩියි. ඒ වගේම අපේ පාසල්, විශ්වවිද්‍යාල ආදියෙත් දැන් සරම් අඳින ආචාර්යවරුත් නැතිම තරම්.

 

කාලයක් සිංහල චිත්‍රපටි වල ලිංගික ජවනිකාවේ එක් අංගයක් විදිහට බිමට දාපු සරම හෝ පොඩිවෙන සරම පෙන්නුවා. අද වෙද්දි සරම පාවිච්චිය අඩු නිසා ඒ අවස්ථා නිරූපණත් වෙනස් වෙලා. කාලය එක්ක සරම ටිකක් සමාජයෙන් ඈත්වී ගියත් ඇඳල පුරුදු අයට නම් සරම තරම් සැහැල්ලු කදිම ඇඳුමක් තව කොහෙවත් නැහැ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *