බයිට් එකට, ලන්ච් එකට සෙට් වෙන අයට කියාපු ඩෙවල් රෙසිපි ටිකක් ගෙනාවා. කියවනකොට කටට කෙළ උනනවනම් කරන්න දෙයක් නෑ ඕන්. එකින් එක අහගන්නකෝ. හදලා අපිටත් ගේන්න අමතක කරන්න එපා.
1. හතු ඩෙවල්
අවශ්‍ය ද්‍රව්‍ය
- හතු 200g
- කුඩාවට කපාගත් බී ළූණු ගෙඩියක්
- රවුමට කපාගත් බී ළූණු ගෙඩියක්
- කෑලි මිරිස් මේස හැඳි 3
- චොප් කරගත් ඉඟුරු, සුදුළූණු තේ හැඳි 1
- තලාගත් එනසාල්, කරාබු නැටි 3
- අමුමිරිස් කරල් 3
- කපාගත් මාළුමිරිස් කරල් 2
- ගම්මිරිස් මේස හැඳි 1
- කපාගත් තක්කාලි ගෙඩි 1
- සෝයා සෝස් මේස හැඳි 1
- ටොමැටෝ කෙචප් මේස හැඳි 2
- ලුණු කුඩු ටිකක්
- සීනි තේ හැඳි 1
- කුරුඳු පොතු කැබැල්ලක්
බැටර් එක සදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල පිටි මේස හැඳි 3
- කෝන් පිටි මේස හැඳි 3
- ගම්මිරිස් කුඩු ටිකක්
- ලුණු කුඩු ටිකක්
- වතුර ටිකක්
- හතු හොඳින් සෝදා වතුර මිරිකා අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපන්න. බැටර් එකට අවශ්‍ය සේරම බ්ලෙන්ඩ් කරගෙනා උකු බැටරයක් සාදා හතු වල හොඳින් දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
- වෙනම භාජනයක් අරගෙන ඒකට තෙල් දාලා ඉඟුරු, සුදුළූණු, එනසාල්, කරාබු නැටි, කුරුඳු, කුඩාවට කැපූ බී ළූණු, රම්පා, කරපිංචා, අමුමිරිස්, කෑලි මිරිස්, තක්කාලි දාලා හොඳින් තෙම්පරාදු කරගන්න.
- දැන් ඒකට සෝයා සෝස්, බැදගත් හතු, සීනි, රවුමට කපා ගත් බී ලුණු ගෙඩියක්, මාළුමිරිස්, ලුණු කුඩු හා ටොමැටෝ කෙචප් එක් කර ලිපෙන් බාගන්න.
2. වම්බටු ඩෙවල්
අවශ්‍ය ද්‍රව්‍ය
- දිගටි වම්බටු කරල් 2
- ළූණු ගෙඩියක්
- තක්කාලි ගෙඩියක්
- අමුමිරිස් කරල් කිහිපයක්
- බිත්තර 1
- තෙල් ටිකක්
- සෝයා සෝස් මේස හැඳි 2
- තක්කාලි සෝස් ටිකක්
- කෑලි මිරිස්
- ඉඟුරු සුදුළූණු පේස්ට්
- සීනි තේ හැඳි 2
- පොඩියට කපාගත් කැරට් ටිකක්
- ලුණු කුඩු ටිකක්
- වම්බටු තරමක් ඝණකමට පෙති කපා ගන්න. බිත්තරයට ලුණු ටිකක් දාලා හොඳින් ගසා ගන්න. වම්බටු පෙති බිත්තර වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
- භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාන්න. දැන් ඒකට සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි හා ලුණු කුඩු එක් කරන්න. අවසානයේ කැරට්, ලුණු, තක්කාලි, අමුමිරිස් හා බටු එක් කර කෑලි මිරිස් ටිකක් එක් කර කලවම් කර ලිපෙන් බාගන්න.
3. මාළු ඩෙවල්
අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත් මාළු ග්‍රෑම් 250
- කපගත් මාළු මිරිස් කරල් 2
- තක්කාලි ගෙඩි 2
- පෙති කපාගත් ළූණු ගෙඩි 2
- කෑලි මිරිස් තේ හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- තක්කාලි සෝස් ටිකක්
- ලුණු කුඩු
- කහ කුඩු තේ හැඳි 1/2
- දෙහි යුෂ ටිකක්
- පෙති කපාගත් මාළු වලට කහ, ලුණු, දෙහි යුෂ දාලා අතගාලා ටික වේලාවක් තියලා හොඳින් බැදගන්න.
- ලොකු භාජනයකට තෙල් ටිකක් දාලා රත් වී ගෙන එද්දි කපාගත් ළූණු, මාළු මිරිස් දාලා තෙම්පරාදු වී ගෙන එද්දි තක්කාලි ටික එකතු කරන්න. කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු එක් කරන්න. තක්කාලි සෝස් ඒකට එක් කර අවසානයේ බැදගත් මාළු ටික එක් කරන්න.
4. ගෝවා මල් ඩෙවල්
අවශ්‍ය ද්‍රව්‍ය
- මල් ගෝවා කෝප්ප 1
- පාන්පිටි කෝප්ප 1/4
- කෝන් පිටි මේස හැඳි2
- බිත්තර 1
- ලුණු කුඩු ටිකක්
- ගම්මිරිස් කුඩු ටිකක්
- මිරිස් කුඩු ටිකක්
- කපාගත් ළූණු ගෙඩි 1
- කපාගත් තක්කාලි ගෙඩි 1
- මාළු මිරිස් කරල් 2
- කපාගත් කැරට් අල 1
- තෙල් ටිකක්
- තක්කාලි සෝස් ටිකක්
- මුලින්ම ගෝවා මල් ටික පොඩියට කඩා ගන්න. හොඳින් සෝදා ගන්න. දැන් වෙනම භාජනයක් ගෙන ඒකට පාන් පිටි, කෝන් පිටි, බිත්තරයක්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු ටිකක් දාලා බීට් කරගන්න. කපාගත් ගෝවා මල් ටික මේ සදාගත් බැටර් එකේ තවරා තෙලේ බැදගන්න.
- ඊළඟට වෙනම භාජනයක් ගෙන ඒකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කපාගත් ළූණු, තක්කාලි, මාළු මිරිස්, කැරට් ඒකට දාන්න. ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, සීනි එක් කර හොඳින් කලවම් කරන්න.
- අවසානයේ කලින් බැද ගත් මල් ගෝවා ටික ඒකට එක් කර සෝස් ටිකක් දාලා නැවත හොඳින් කලවම් කරන්න.
5. චිකන් ඩෙවල්
අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩා කෑලි වලට කපා ගත් චිකන් 500g
- සීසන් කර ගැනීමට සෝයා සෝස්, මිරිස් කුඩු හා ලුණු කුඩු
- තක්කාලි සෝස් මේස හැඳි 3
- සෝයා සෝස් මේස හැඳි 3
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 3
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- ලොකුවට කපාගත් ළූණු ගෙඩි 2
- කෑලි මිරිස් ටිකක්
- සීනි තේ හැදි 2
- තෙල්
- පළමුව චිකන් ටික සීසන් කර විනාඩි 30ක් විතර තියන්න. දැන් චිකන් ටික ගැඹුරු තෙලේ බැදගන්න.
- තෙල් ටිකක් ලිපේ තියලා ඒකට ඉඟුරු සුදුළූණු පේස්ට් එක, තක්කාලි සෝස්, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් දාලා හොඳින් බැදගන්න. දැන් ඒ මිශ්‍රණයටම කෑලි මිරිස් හා සීනි එක්කර හොඳින් කලවම් කරන්න. දැන් චිකන් ටික දාලා මද ගින්නෙන් ටික වේලාවක් උයා ගන්න.
- දැන් කපාගත් ළූණු දමා කලවම් කර ලිපෙන් බාගන්න. (කැමති නම් අවසානයේ මාළු මිරිස් හෝ බෙල්පේපර් එක් කර ගන්නත් පුළුවන් )
6. ඉස්සෝ ඩෙවල්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉස්සෝ ග්‍රෑම් 200
- රවුමට කපාගත් ළූණු ගෙඩි 1
- රවුමට කපාගත් මාළු මිරිස් කරල් 1
- තෙල් ටිකක්
- චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 1
- රම්පා
- කුරුඳු පොතු
- ලුණු කුඩු ටිකක්
- කෑලි මිරිස්
- තක්කාලි සෝස්
- පිරිසිදු කරගත් ඉස්සෝ භාජනයකට දාලා වතුර ටිකක් හා ලුණු ටිකක් දාලා ලිපේ තියන්න. පාට වෙනස් වේගෙන එද්දිම ලිපෙන් බාලා පෙරා ගන්න. ඒ වතුර ටික අරන් තියා ගන්න. පස්සේ ඒ භාජනයටම තෙල් දාලා හොඳට රත් වෙනකොට ඉස්සෝ දාලා යාන්තමට බැදගන්න.
- රත් වුණ භාජනයකට තෙල් ටිකක් දාලා ඒකට ඉඟුරු, සුදුළූණු, රම්පා, කුරුඳු දාලා බැදගන්න. ඒකටම කෑලි මිරිස් ද එක් කරන්න. ඒකටම තක්කාලි සෝස් එක් කර කලින් ඉස්සෝ තම්බා ගත් වතුරත් දාලා සෝස් එක සාදා ගන්න.
- මේ සාදා ගත් සොස් එකට බැදපු ඉස්සෝ ටික දාලා හොඳින් කලවම් කරන්න. ලුණු කුඩු ටිකක් දා ගන්න. පොඩියට කපාගත් ලුණු, මාළු මිරිස් දාලා ලිපෙන් බාගන්න.
7. සෝසේජස් ඩෙවල්
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් සොසේජස් ග්‍රෑම් 400
- රවුමට ලියාගත් ළූණු ගෙඩි 1
- තක්කාලි කෙචප් කෝප්ප 1
- කපාගත් මාළුමිරිස් කරල් 2
- රවුමට කපාගත් තක්කාලි ගෙඩි 2
- චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 1
- සෝයාසෝස් මේස හැඳි 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- තෙල් ටිකක්
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- කෑලිමිරිස් තේ හැඳි 1
- කෝන්ෆ්ලා මේස හැඳි 1
- පෑන් එකට තෙල් ටිකක් දාලා සොසෙජ් ටික බැදගන්න. හොඳට බැදුණම ඒ ටික අයින් කරලා චොප් කරගත් ඉඟුරු සුදුළූණු ටික දාගන්න.
- ඒ අතරෙ කෝන්ෆ්ලා වලට සෝයාසෝස්, තක්කාලි සෝස් ටිකක්, මිරිස්කුඩු හා කහකුඩු, ගම්මිරිස්කුඩු චුට්ටක් දාලා කලවම් කරගන්න. මේකට වතුර චුට්ටක් දාලා සෝස් එකක් හදාගන්න.
- ඉඟුරු සුදුළූණු හොඳට ෆ්‍රයි වෙලා නම් ළූණු හා මාළු මිරිස් ටික දාගන්න. ටිකකින් රස අනුව ලුණු දාලා කෑලිමිරිස් එකතු කරගන්න.
- ඊළඟට හදාගත් සෝස් එක දාලා කලවම් කරගන්න. කැමති නම් තව වතුර ටිකක් දාල කලවම් කරලා තක්කාලි ටික එකතු කරගන්න. අන්තිමට සොසේජස් ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.
Leave a Reply