හින්දි චිත්‍රපට කොපිකර තැනූ සිංහල චිත්‍රපට 7ක්

සිංහල සිනමාවේ ආරම්භයේ ඉඳලම ඒකට ඉන්දියානු සිනමාවේ හෙවනැල්ල වැටිලයි තිබ්බේ. මුල් කාලෙදී සිංහලට හඬකවා පෙන්වපු දමිළ සහ හින්දි චිත්‍රපටත්, පහු වෙද්දී දර්ශනයෙන් දර්ශනය කොපි කරලා නැවත සිංහලෙන් හදපු චිත්‍රපටත් බොහොමයක් දකින්න ලැබුණා. අදටත් එහෙම නිර්මාණ බිහිවෙනවා. මේ අතරින් සමහරක් චිත්‍රපට දැක්ක ගමන්ම ප්‍රේක්ෂකයන්ට හිතෙනවා මේක නම් අනිවාර්යෙන් හින්දි හරි ටැමිල් හරි පිචර් එකක් කොපි කරලා හදපු එකක්ය කියලා. ඒ වගේම තවත් සමහර චිත්‍රපට තියනවා ඔරිජිනල් අපේ කතාවක්ය කියලා බැලූ බැල්මට පෙනෙන, ඒත් හොයලා බලද්දි හින්දි හෝ දමිළ කොපියක් කියලා දැනගන්න ලැබෙන.

අපි මේ ලිපියෙන් කතාවෙන සිංහල චිත්‍රපට ලැයිස්තුවට ඒ දෙවර්ගයේම චිත්‍රපට ඇතුළත් වෙනවා. අපි මේ කියන්න හදන්නේ හින්දි චිත්‍රපට කොපි කරලා හදපු ජනප්‍රියම සිංහල චිත්‍රපට ගැන.

 

1. මේ දෑස කුමටද (1972)

Image Source – vodtv.vhx.tv

1972 අවුරුද්දේ තිරගත කරපු මේ දෑස කුමටද චිත්‍රපටය තිමති වීරරත්නගේ අධ්‍යක්ෂණයක්. විජය, මාලනී, රෝයි, සුමනා සුසංයෝගයක් තමයි රංගනයෙන් එකතු වුණේ. මේ චිත්‍රපටයේ ඉතා ජනප්‍රිය ගීත බොහොමයක්ම ඇතුළත් වුණා. අවාසනාවන්ත විදිහට තමන්ගේ කුඩා කාලේ යෙහෙළියගෙන් වෙන් වෙන්නටත් පසුව අන්ධ භාවයට පත්වෙන්නටත් සිද්ධ වෙන පුද්ගලයෙක් සම්බන්ධ අනුවේදනීය කතාවක් රැගත් මේ චිත්‍රපටය හින්දි චිත්‍රපටයක් ඇසුරින් හදපු එකක් බව ගොඩ දෙනෙක් නොදන්න කාරණයක්. මේ දෑස කුමටද චිත්‍රපටයේ ඔරිජිනල් හින්දි චිත්‍රපටය 1951 තරම් ඈත කාලෙකදී තිරගත වුණු එකක්. ඒකෙ නම තමයි “දීදාර් (Deedar)” දිලිප් කුමාර් තමන්ගේ සුපුරුදු දුක්බර පෙම්වතා චරිතයක් රඟදක්වපු ඒ චිත්‍රපටය ඉන්දියාවේත් ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගන්න සමත් වෙලා තියනවා.

 

2. සුජාතා (1953)

Image Source – vodtv.vhx.tv

සුජාතා කියන්නේ සිංහල සිනමාවේ පළමුවෙනි සුපර් හිට් ෆිල්ම් එක කියලත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සිංහල චිත්‍රපටයකදී මුල් වරට නිළියක් නාන ඇඳුමකින් සැරසී පෙනී හිටියෙත් මේ චිත්‍රපටයෙයි. ශාන්ති ලේඛා තමයි ඒ දර්ශනයට පෙනී හිටියේ. ඇයට අමතරව ප්‍රේම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත් සහ ඩොමී ජයවර්ධන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායක වුණා. 1994 අවුරුද්දේදි මේ චිත්‍රපටය නැවත සිංහල සිනමාව ඇතුළේ නිර්මාණය වුණා සනත්, සබීතා සහ ඩිලානි තමයි ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ. සුජාතා චිත්‍රපටය හැදෙන්නේ 1949 අවුරුද්දේ තැනුණු “බරී බෙහෙන් (Bari Behen)” නැමැති හින්දි චිත්‍රපටය අනුකරණය කරමිනුයි. එහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙ ඩී. ඩී. කාශ්‍යප්.

 

3. රජ දරුවෝ (1992)

Image Source – films.lk

ග්‍රේෂන් ජයමහ ගායනා කරන අතිශය ජනප්‍රිය සින්දුවක් වෙන බිළිඳුනේ දරුවනේ ගීතය එන්නෙත් මේ චිත්‍රපටයේ තමයි. දයා විමලවීරගේ අධ්‍යක්ෂණයක් වුණු රජ දරුවෝ චිත්‍රපටයට සනත්, ජීවන්, සබීතා, අනෝජා සහ ශෂී විජේන්ද්‍ර රංගනයෙන් එකතු වුණා. අවාසනාවන්ත සිදුවීමක් නිසා විසිර යන්නට සිද්ධ වෙන පවුලක් වටා ගෙතුණ මේ චිත්‍රපට කථාවත් හින්දි චිත්‍රපටයකට තමයි මුලින්ම නැගෙන්නේ. ඒ 1973 අවුරුද්දෙදි තිරගත කරපු “යාදොන් කී බාරාත් (Yaadon Ki Baaraat)” කියන චිත්‍රපටයට. ඉන්දියාවේ වගේම අපේ රටෙත් අතිශය ජනප්‍රිය “චුරා ලියා“ ගීතය ඇතුළත් වුණේ ඒ චිත්‍රපටයට තමයි. මෙහි ප්‍රධාන චරිත හැටියට ධර්මේන්ද්‍ර සහ සීනත් අමාන් එකතු වුණා.

 

4. පෙරළිකාරයෝ (1986)

Image Source – vodtv.vhx.tv

1986 අවුරුද්දෙදි පෙරළිකාරයෝ චිත්‍රපටය කරළියට එන්නේ දිනේෂ් ප්‍රියසාද්ගේ අධ්‍යක්ෂණයක් හැටියට. එක සමාන පෙනුමක් තියෙන පුද්ගලයන් දෙදෙනෙක් අතර සිද්ධ වෙන ගැටුමක් මූලික කරගෙන හැදුණු මේ චිත්‍රපටයෙන් ඒ කාලෙ හැටියට තාක්ෂණික වැඩ කෑලි බොහොමයක් දාන්න දිනේෂ් ප්‍රියසාද් සමත් වෙනවා. විජය කුමාරතුංග ද්විත්ව චරිත රංගනයෙන් එකතු වෙද්දි, ජීවන්, ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ, මොරින් චාරුණී ඇතුළු නළු නිළි පිරිසකුත් මෙයට දායක වෙනවා. අපේ අල්ලපු රටේ ජනප්‍රිය නිළියක් වුණු කාජල්ගේ මව වන තනූජා මුඛර්ජිත් මෙහි ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඇත්තටම මේ චිත්‍රපටයේ මුල් චිත්‍රපටය හැදුනෙත් ඇගේ රටේ තමයි. ඒකෙ තම් “සට්ටේ පෙ සට්ටා (Satte Pe Satta)”. 1982 අවුරුද්දෙ තිරගත කරපු ඒ චිත්‍රපටයේ අමිතාබ් සහ හේමා මාලනී තමයි ප්‍රධාන චරිත රඟපෑවෙ.

 

5. ඔබටයි ප්‍රියේ ආදරේ (1987)

Image Source – vodtv.vhx.tv

සුනිල් සෝම පීරිස් මහත්තයාගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපට බොහොමයක්ම හින්දි චිත්‍රපට වල අනුසාරයෙන් හැදුණු ඒවායි. ඒ අතරින් ප්‍රධාන සහ ජනප්‍රියම චිත්‍රපටයක් තමයි 1987 අවුරුද්දෙ තිරගත වුණු ඔබටයි ප්‍රියේ ආදරේ චිත්‍රපටය. මේ චිත්‍රපටයට විජය කුමාරතුංග සහ ගීතා කුමාරසිංහ රංගනයෙන් එක්වුණා. මේ චිත්‍රපටය හැදෙන්නේ 1985 අවුරුද්දේ තිරගත කරපු “සාගර් (Saagar)” කියන හින්දි චිත්‍රපටය ඇසුරිනුයි. ඇත්තටම කියනවනම් ජවනිකාවෙන් ජවනිකාවට වගේ සාගර් චිත්‍රපටය නැවත නිර්මාණය කළ තරමටම මේ චිත්‍රපට දෙක එක සමානයි. හින්දි චිත්‍රපටයට රිෂී කපූර්, කමල් හසන් සහ ඩිම්පල් කපාඩියා රංගන දායකත්වය සැපයුවා.

 

6. යළි හමුවෙන්නයි (1986)

Image Source – facebook.com

1986 දී තිරගත කරපු යළි හමුවෙන්නයි චිත්‍රපටය සේන සමරසිංහගේ අධ්‍යක්ෂණයක්. ප්‍රධාන චරිත රඟපෑවෙ ගාමිණී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන සහ සබීතා පෙරේරායි. දුෂ්ට ප්‍රයෝගයක් නිසා වෙන් වන්නට සිදුවෙන පෙම්වතුන් දෙපළකගේ යළි හමුවීමක් තමයි මේ චිත්‍රපටයේ සාරාංශය. මේ චිත්‍රපටයේ කතාව 1973 බොලිවුඩයේ තිරගත කරපු “ආ ගලේ ලග්ජා (Aa Gale Lag Jaa)” චිත්‍රපටය ඇසුරින් නිර්මාණය කෙරුණ එකක්. මේ චිත්‍රපටය කොතරම් ජනප්‍රිය වුණාද කියනවනම් ඒක සිංහල සිනමාවට අමතරව දමිළ සහ තෙළිගු සිනමාවටත් නැගිල තියනවා. හින්දි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ශෂී කපූර් සහ ශර්මිලා තාගෝර්.

 

7. හදවත මල් යායයි/ සුවඳ දැනුනා ජීවිතේ (2007)

Image Source – Hungama.com

හින්දි චිත්‍රපටයක් කොපි කරලා සිංහල චිත්‍රපටයක් හැදෙන එක සාමාන්‍ය දෙයක් කියලා හිතමු. ඒත් එකක් කොපි කරලා චිත්‍රපට දෙකක්ම හැදෙනවා කියන්නේ ටිකක් අවුල් තත්ත්වයක්. මේ අවුල තවත් වැඩි වෙන්නේ මේ කොපි චිත්‍රපට දෙකම එකම අවුරුද්දක තිරගත වීමයි. පිස්සු හැදෙනවා නේද සිංහල සිනමාව ගැන හිතුවාම? මේ චිත්‍රපට දෙකම හැදෙන්නේ 2007 අවුරුද්දෙදී බොලිවුඩයේ තිරගත වෙච්ච “ජබ් වී මෙට් (Jab We Met)” චිත්‍රපටය අනුකරණය කරලායි. හදවත මල් යායයි චිත්‍රපටයට චන්න චතුරිකා යුවළ රඟපාද්දි, සුවඳ දැනුනා ජීවිතේ චිත්‍රපටයට රඟපෑවේ රොෂාන් රණවන සමඟ පූජා උමාශංකර්. මේකෙ ඔරිජිනල් හින්දි චිත්‍රපටයට රංගනයෙන් එකතු වුණේ කරීනා කපූර් සමග ශාහිද් කපූර්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *