ඔබට ඔබවම හඳුනා ගන්නට ක්‍රම කීපයක්!

අපි ජීවිත කාලේ පුරාවටම මිනිස්සුන්ව දැන අඳුනගන්නවනේ. හා නැද්ද? අපිත් එක්ක එකට වැඩ කරන අයව, අපිත් එක්ක එකට ජීවත් වෙන අයව, අපේම පවුලේ උදවියව, අපේ මිතුරු මිතුරියන්ව, අපි ආදරය කරන අයව වගේ අපේ ජීවිතේට යන එන, අපේ ජීවිත වලට ගෑවෙන මිනිස්සුන්ව අඳුනාගන්න අපි ජීවිත කාලෙම උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට අපි ලඟින් ඉන්න උදවියව ඇත්තටම අඳුනගන්නවා යම් තරමකට. සමහර වෙලාවට අපි ගොඩක්ම ආදරය කරන කෙනෙක්ව නම්, හැරුණත් කියන්න පුළුවන් ගාණට අඳුනගන්නවා.

හැබැයි අපි කවදාවත් අපිවම අඳුනාගන්න ඕන කියලා හිතලා තියෙනවද. ඒ කියන්නේ තමන් විසින් තමන්වම කොයි වගේ මනුස්සයෙක්ද කියලා හැබෑවටම අඳුනාගන්න කොයි තරම් උත්සාහ කරලා තියෙනවද? මෙන්න මේක තමයි වැදගත්. අපි ගොඩක් දෙනෙක් තමන් කියලා හිතාගෙන ඉන්න කෙනා ගැන නෙවෙයි මේ කියන්නේ. ඇත්තටම තමන් කියන කෙනා ගැන. තමන්ගේ රුචි අරුචි කම්, තමන්ගේ ඇත්තම ගතිලක්ෂණ, තමන්ගේ හොඳ වගේම නරක, තමන්ගේ ප්‍රබල වගේම දුබල තැන් වගේ දේවල් ගැන හොඳ අවබෝධයකින් ජීවත් වෙන්නේ ලෝකේ කීයෙන් කී දෙනා ද? හැබැයි තමන්ට තමන්වම අඳුනාගන්න එක කරන්න බැරි දේකුත් නෙවෙයි, මෙන්න ඒකට උපදෙස් කීපයක්!

 

1. දිනපොතක්/ජර්නල් සටහන්

ගොඩක් අය හිතන්නේ දිනපොතක් ලියනවා කිව්වහම මොකක් හරි ඩයරියක් අරගෙන තමන්ට එදිනෙදා ජීවිතේ සිද්ධ වෙන දේවල් ලියන එක කියලා. “මං අද වැඩට ගියා, බස් එකේ එකෙක්ගේ සපත්තුව කැඩුනා, නිර්මලයි මායි අයිස්ක්‍රීම් කන්න ගියා” වගේ එව්වා දිනපොතක ලිව්වේ පුංචි කාලේ. මේ කියන්නේ එහෙම දිනපොතක් ගැන නෙවෙයි. ගන්න මොකක් හරි ජර්නල් එකක්. දැන් දිනපතා කෙටියෙන් හරි සටහනක් තියන්න. ඒක තමන්ට මොනවා හරි හිතෙන දෙයක් ගැන වෙන්න පුළුවන්. තමන්ගේම සිතුවිලි වෙන්න පුළුවන්. ඇත්තටම තමන්ගේ සිතුවිලි ජර්නල් එකේ ලියන්න පුළුවන් නම් වටිනවා. තමන් විතරක් මේ ජර්නල් එක කියවලා, ඒක ප්‍රයිවට් තියාගත්තහම, තමන්ගේ හිතට එන, කාටවත් කියන්න බැරි දේවල් පවා ලියන්න පුළුවන්. මේ වැඩේට දවසට විනාඩි පහක් දහයක් ගත්තත් ඇති.

 

2. දිනපතා භාවනාවක්

මේක නම් ඉස්කෝලේ කාලේ ඉඳලා කියන දෙයක්නේ. දිනපතා පොඩි වෙලාවක් හරි භාවනා කරන්න කියන එක. හැබැයි අපි මේ කියන්නේ දිනපත මෛත්‍රී භාවනාව වඩන්න කියන එක නෙවෙයි. ඊට වඩා දවසකට විනාඩි දහයක් හරි අරගෙන තමන්ගේ ඇතුළාන්තයත් එක්ක සම්බන්ධ වෙලා ඒකාග්‍ර වෙන්න අවස්ථාවක් ලබාගන්න එක තමයි කරන්න ඕන. ඒකෙන් ඇත්තටම තමන් එක්කම, තමන්ගේ හදවතත් එක්ක වඩාත් හොඳින් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. තමන්ගේම ඇතුළාන්තයෙන් එන හඬට සවන් දෙන එකෙන් ඇත්තටම අපි අපිට ආදරේ කරන්න, අපි කියන කෙනාව වඩාත් හොඳින් තේරුම් ගන්න සහ අපි කියන කෙනාව පිළිගන්න පටන් ගන්නවා. ඒ වගේම, දවස පුරාම හොඳ ශාන්තියකින් ජීවත් වෙන්නත් හැකියාව ලැබෙනවා.

 

3. බකට් ලිස්ට් එකක්

බකට් ලිස්ට් එකක් කියන්නේ තමන් මැරෙන්න කලින් කරන්න ඕන කියලා හිතන වැඩ ලැයිස්තුවකට. මේ කියන්නේ “හොඳ පුරවැසියෙක් වෙනවා”, “ලස්සන පවුලක් හදනවා”, “කාර් එකක් ගන්නවා”, “රස්සාවේ අහවල් තැනට යනවා” වගේ දේවල් ගැන නෙවෙයි. ඊට වඩා “ගිටාර් ගහන්න ඉගෙන ගැනීම”, “පබ්ලික් ස්පීච් එක්ක කිරීම”, “කවදාහරි ජපානෙට ගිහින් එන එක” වගේ දේවල් තමයි බකට්ලිස්ට් එකට එන්න ඕන. හැමෝටම එහෙම හිතේ තියෙන දේවල් කීපයක් තියෙනවා. හැබැයි ගොඩක් මිනිස්සු මැරිලා යන්නේ බකට් ලිස්ට් එකේ තියෙන දේවල් වලින් එකක්වත් සමහර විට සම්පූර්ණ නොකර. හැබැයි ඇත්තටම වෙන්න ඕන ඒක නෙවෙයි. මුලින් බකට් ලිස්ට් එක ඇත්තටම ලියන්න. දැන් ඒකෙන් එකින් එක සම්පූර්ණ කරන්න පුළුවන් දේවල් සම්පූර්ණ කරන්න. ඒකෙන් අපිට අපි ගැනත් සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි.

 

4. තේරුමක් ඇති සංවාද

අපි ජීවිතේ කොයි තරම් දේවල් කතා කරනවද? මිනිස්සු කී දෙනෙක් එක්ක කී දාහක් වචන කතා කරනවද? හැබැයි ඒ කතා කරන දේවල් වලින් කොයි තරම් දේවල් අර්ථාන්විතයි කියන්න, තේරුමක් ඇති දේවල් කියලා වර්ග කරන්න පුළුවන්ද? ඇත්තටම අපි ජීවිත කාලය ඇතුළත කතා කරන ගොඩක් දේවල් කිසිම තේරුමක් නැති දේවල් කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි.

හැබැයි ඇත්තටම අපේ ජීවිතේට අවශ්‍ය වෙන්නේ මීනින්ග්ෆුල් කන්වර්සේෂන් නැතිනම් අර්ථාන්විත, තේරුමක් ඇති සංවාද. හදවතට දැනෙන විදියේ සංවාද. හැබැයි ඒක අපිට හැමෝමත් එක්ක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් අපි ආදරය කරන අයත් එක්ක, අපිට කතා කරන්න පුළුවන් ඇසූ පිරූ තැන් තියෙන කෙනෙක් එක්ක ජීවිතේ ගැන, ආදරේ ගැන, අපේ සිතුවිලි ගැන හොඳ අර්ථයක් තියෙන සංවාදයක් කරන එක වටිනවා. ඒක අපිට ජීවිතේ ගැන හොඳ ගැඹුරු අවබෝධයක් ලබාගන්න වගේම අපිට අපි ගැනම හොඳ අවබෝධයක් ලබාගන්නත් උදව්වක් වෙයි. ඒ වගේම, තේරුමක් ඇති සංවාදයක් කියන්නේ අපිට එන්ජෝයි කරන්න පුළුවන් දෙයක්.

 

5. ප්‍රශ්න විස්සේ ගේම් එක

හිතන්න අපි කවදාවත් දන්නෙ නැති, අඳුනන්නෙ නැති කෙනෙක්ව මුණගැහෙනවා කියලා. ඒ කියන්නේ අපිට ඉන්ටරෙස්ට් එකක් තියෙන කෙනෙක්ව වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඉන්ටරෙස්ටින්ග් කියලා ෆීල් වෙන කෙනෙක්ව වෙන්න පුළුවන්. දැන් ඒ කෙනාව දැන අඳුනාගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය වෙන්නේ කතාබහ කරන එකනේ. නිකමට වගේ එයත් එක්ක මේ ගේම් එක කරන්න. එයා ප්‍රශ්නයක් ඔයාගෙන් අහනවා. ඔයා ඒකට උත්තර දෙනවා. එයා ඒකට කමෙන්ට් කරනවා. දැන් ඔයා එයාගෙන් ප්‍රශ්නයක් අහනවා. එයා ඒකට උත්තර දෙනවා. ඔයා ඒ උත්තරේට කමෙන්ට් කරනවා. ඕන නම් ප්‍රශ්න විස්සකට ලිමිට් කරන්න පුළුවන්. ඒක දැනුම මිනුම තරඟයක් විදියට නෙවෙයි. එන්ජෝයි කරන්න පුළුවන් සංවාදයක් විදියට තමයි ගෙනියන්න ඕන. ඒකෙන් අපිට අලුත් මනුස්සයෙක්ව අඳුනාගැනීමේ ආශ්වාදයත් ලැබෙනවා. ඒ වගේම, අපිට අපිවම තේරුම් ගන්න අවස්ථාවකුත් ලැබෙනවා.

 

6. සමාජ සංවාද

මෙන්න මේක නම් හරිම අවංකව කරන්න ඕන දෙයක්. අපි මේ වෙනකොට ජීවත් වෙන්නේ සමාජ මාධ්‍ය යුගයකනේ. ඉස්සර වගේ කඩපිලේ නෙවෙයි දේශපාලනේ ගැන, සමාජය ගැන කතා කරන්නේ. අපිට ඒකට සෝෂල් මීඩියා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, එහෙම දේවල් ගැන කතා කරන, සමාජ සංවාද කරන ගොඩක් දෙනෙක් කතා කරන්නේ අවංකව නොවීම. එතනදී ගොඩක් දෙනෙක් තමන්ට අවංක වෙන්නෙ නෑ. අවංකව පුද්ගලික අදහස් පළ කරන්නේ නෑ. හැබැයි අපිට එහෙම නැතුව, අවංක අදහස් එක්ක සමාජ සංවාදයක් කරන්න පුළුවන් නම්, අනික් අයට ඇහුම් කන් දෙන අතරේම අපේ අදහසුත් අවංකව බෙදාගන්න පුළුවන් නම්, අන්න ඒක අපිට අපිව වඩාත් හොඳින් අවබෝධ කරගන්න හොඳ ක්‍රමයක්.  

 

7. උපදේශනයත් වරදක් නෑ

ගොඩක් දෙනෙක් උපදේශනයට කැමති නෑ. ඒකට එකක්, උපදේශන සේවාවකට යන්නේ මානසික අවුල් තියෙන අයයි කියලා තියෙන යල් පැනපු සමාජ ආකල්පය. දෙවෙනුව, සමහරු හිතනවා උපදේශන සේවාවකට යොමුවෙන්නේ දුර්වල මිනිස්සු කියලා හිතන එක. හැබැයි ඔය දෙකම වැරදියි. අපි හැම මනුස්සයෙක්ටම එක එක විදියේ මානසික ගැටළු තියෙනවා. හැබැයි උපදේශනයට යොමුවෙන්නේ දුර්වල මිනිස්සු නෙවෙයි. උපදේශනයෙන් කරන්නේ අපේ හිත් හදන එකත් නෙවෙයි. හැබැයි උපදේශන සේවාවකට යොමු වීමෙන් ඇත්තටම අපිට අපි ගැනම ඉගෙන ගන්න, අපේ ඇතුළාන්තය දිහාම බලන්න අවස්ථාවක් ලැබෙනවා.

 

ඒ වගේම, උපදේශනය කියලා කියනකොට ඒකෙන් කියන්නේ මනෝඋපදේශනය විතරක් නෙවෙයි. ලයිෆ් කෝච් කෙනෙක් එක්ක තමන්ගේ ජීවිතේ අරමුණු, තමන්ගේ වෘත්තිය ජීවිතය වගේ දේවල් ගැන සංවාදයකට යන එක, හොඳ ඇසූ පිරූ තැන් තියෙන කෙනෙක්, හොඳ අවබෝධයකින් යුතු පංසලේ හාමුදුරුවෝ හරි පල්ලියේ ෆාදර් එක්ක හරි සංවාදයකට යන එක ජීවිතේට වටිනවා. තමන් ගැනම අවබෝධ කරගන්නත් ඒක වටිනවා.

 

 

8. පෞරුෂත්වය මොකද්ද හොයන ටෙස්ට් එකක්

ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවනේ තමන්ගේ පෞරුෂත්වය හොයාගන්න විවිධාකාරයේ ටෙස්ට්. අපෙන් ඔන්න ප්‍රශ්න ටිකක් අහනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න වලට අපි දෙන උත්තර වලට අනුකූලව අපේ පෞරුෂත්වය මොන වගේද, අපි කියන කෙනා මොන වගේද කියලා උත්තරයක් ලැබෙනවා. මෙතනදී අපෙන් අහන ප්‍රශ්න ප්‍රමාණය වැඩි වෙන තරමට, අපෙන් අහන ප්‍රශ්න වල ගැඹුරක් තියෙන තරමට, ඒ වගේම අපි ඒ ප්‍රශ්න වලට අවංකව උත්තර දෙන තරමට සහ ඒ උත්තර කොයි තරම් හොඳින් ඇනලයිස් කරන්න පුළුවන් කෘත්‍රිම බුද්ධියක් එක්කද වැඩ කරන්නේ කියන කාරණය අනුව මෙතනදී ලැබෙන ප්‍රතිඵලයේ නිරවද්‍යභාවය තීරණය වෙනවා. එහෙම ටෙස්ට් එකකට හොඳ උදාහරණයක් තමයි Myers-Briggs Type Indicator (MBTI) ටෙස්ට් එක. කරලා බලන්න. ඒකෙන් තමන් ගැන, තමන්ගේ පෞරුෂත්වය ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙයි.

 

ඇත්තටම තමන් කියන්නේ කවුද කියලා අඳුනාගන්න එකෙන් තියෙන ලොකුම වාසිය තමයි, ඔය අනන්‍යතා අර්බුද වගේ ප්‍රශ්න තමන්ට නොඑන එක. ඇත්තම මනුස්සයා ගැන දැනගෙන, ඇත්තම මනුස්සයාව පිළිගත්තට පස්සේ ගොඩක් දුරට හිතේ සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් . ජීවිතේ ඇරියස්, ඉන්සෙකියුරිටීස් එහෙමත් අඩු කරගන්න පුළුවන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *