කොච්චරවත් දෙයක් කරගන්න වෙලාව නැද්ද? එහෙමනම් කාලය ඉතුරු කරගන්න ඉගෙන ගමු!

දවසකට පැය විසි හතරත් මදි කියලා කියන කට්ටිය අපිට කොයි තරම් මුණගැහිලා තියෙනවද? හැබැයි දාර කම්මැලියෝ නෙවෙයි නං, අපිට ඒ කියන දේ තේරුම් ගන්න පුළුවන්, හා නැද්ද? උදාහරණයක් විදියට ගත්තොත්, ඔය විභාගයක්, එසයිමන්ට් එකක් එහෙම ලං වෙනකොට එහෙම තමයි කාලේ අගය දැනෙන්න පටන් ගන්නේ. කොහොම වුණත් මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට නම් කොහොම කළත් කාලයේ අගය හොඳටම දැනෙනවා. ඒක තමයි ඇත්ත.

 

දැන් කාලයේ අගය දැනගෙන ඉඳීම එක දෙයක්. හැබැයි කොච්චරවාත් තමන් වෙනුවෙන් වෙලාවක් ඉතුරු කරගන්නවත් බැරි තරමට, කරන්න තියෙන වැඩ ඉවර කරගන්නවත් බැරි තරමට කාලය නැති නම්, ආන්න ඒක ප්‍රශ්නයක්. ඒකට හේතුව එක්කෝ, මනුස්සයෙක්ට කරලා ඉවර කරන්න බැරි තරම් වැඩ ගොඩගසා ගැනීම. එක්කෝ දුර්වල කාල කළමනාකරණය. ඉතින් ඔය දෙකෙන් කෝක වුණත් විසඳාගන්න අවශ්‍ය ප්‍රශ්න තමයි. ආන්න ඒ නිසා අපි හිතුවා, කාලය ඉතුරු කරගන්න ටිප්ස් කීපයක් ලබාදෙන්න. මේවා හරියට ඔළුවට ගත්තොත්, දවසකට කරන්න තියෙන වැඩ ඔක්කොමත් කරලා, තමන්ට ෆුල් ආතල් එකේ ඉන්න කාලයත් වෙන් කරගන්න පුළුවන්!

 

1. ටු ඩූ ලිස්ට්

වැඩ කරනකොට වෙලාව ඉතුරු කර ගන්න ඕන නම්, මේක බොහොම හොඳ පුරුද්දක්. ඒ තමයි කලින් දවසේ රෑම අද දවසේ කරන්න ඕන, කරන්න බලාපොරොත්තු වෙන වැඩ ටික ලැයිස්තුවක් හදලා තියන එක. ඒකට තමයි ටු ඩූ ලිස්ට් කියන්නේ. දැන් ඔය ටු ඩූ ලිස්ට් හදන්න නොයෙකුත් ක්‍රම තියෙනවා. එතකොට ටු ඩූ ලිස්ට් වෙනුවෙන්ම නොයෙකුත් ඇප්ස් එහෙමත් තියෙනවා. එත් ඕන නම් පරණ විදියට සටහන් පොතක ටු ඩූ ලිස්ට් එක ලියන්නත් පුළුවන්. හැබැයි මෙතනදී කල්පනාකාරී වෙන්න ඕන, දවසකට ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය විතරක් ලිස්ට් එකට ඇතුළත් කරන්න. එහෙම නැතුව සතියෙම වැඩ එක දවසේ ටු ඩූ ලිස්ට් එකට දානවා කියන්නේ ආයෙත් ටයිම් මැනේජ්මන්ට් එක ෆුල් අවුල් වෙන එක තමයි.

 

2. පාන්දරින්

“පාන්දරින් අවදි වන්නාගේ දවස දිගය” කියලා කවුරුහරි කියලා තියෙනවද දන්නෙ නෑ. හැබැයි අපි බය නැතුව ඒක කියනවා. ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ ඉඳන් ලෝකේ හිටපු සෑහෙන්න වැඩ කරපු මිනිස්සුන්ගේ ජීවන චර්යාවන් අධ්‍යයනය කළොත් පේන දෙයක් තමයි, ඒ හැම කෙනෙක්ට උදැහැනැක්කෙන්ම නැගිටලා වැඩ කරපු උදවිය කියන එක. ඇත්තටම පාන්දර පහට විතර නැගිටලා, හොඳ වෝක් එකක් එහෙම දාලා, එක්සයිස් පාරක් එහෙම දාලා, වොෂ් එකක් අරගෙන නවය වෙනකොට වැඩ කරන්න වාඩි වෙලා බලන්න. ඇත්තටම දවස ගතවෙන්නෙ නෑ වගේ. වැඩ කරගන්න පුදුම විදියට වෙලාව තියෙනවා. හොඳ කාර්යක්ෂමතාවයකුත් තියෙනවා. ඇඟටත් ෆිට්. වැඩ සෑහෙන්න දුරට ඉවර කරලා කලින් නිදාගන්නත් පුළුවන් වෙනවා.

 

3. වැඩ ටයිම් කරමු

මෙන්න මේකත් අපිට වෙලාව ඉතුරු කරගන්න හොඳ ක්‍රමයක්. දැන් අපි මොකක් හරි වැඩක් කරන්න ගියහම, ඒක අපිට ගිණි කසේට එහෙන් මෙහෙන් දමලා ගහන්නත් පුළුවන්. හෙමීට හෙමීට නාකි බල්ලෝ කොළඹ යනව වගේ කරන්නත් පුළුවන්. ඒ වගේම කඩිසරව කොලිටියත් රැකගෙන ඉවර කරන්නත් පුළුවන්. දැන් අපිට අවශ්‍ය වෙන්නේ තුන්වෙනි එක. අන්න ඒක කරන්න අපි බලමු අවධානය වෙන පැත්තකට යොමු නොකර මේ වැඩේ හොඳ කොලිටියෙන් ඉවර කරන්න. හැබැයි වැඩේ පටන් ගත්තු මොහොතේ ඉඳන් වෙලාව හරියට ටයිම් කරන්න. ඒවා ලියලා තියාගන්න. ඊලඟ දවසේ ඊට වඩා අඩු වෙලාවකින්, හැබැයි ඒ කොලිටියෙන්ම ඒ වැඩේ කරන්න පුළුවන්ද බලන්න. විශේෂයෙන්ම ඔය ටයිම් ෂීට් ක්‍රමේට වැඩ කිරීමෙන්, අපිට ඉතාම හොඳට අපේ කාල කළමනාකරණය ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ වගේම, අනවශ්‍ය විදියට වැඩ ගොඩ ගැහෙන එක නවත්ත ගන්නත් පුළුවන්. 

 

4. ෆෝකස් ටයිම්

මේක නම් අපි සෑහෙන්න වතාවල් වල කියලා ඇති. සාමාන්‍යයෙන් වැඩක් කරන්න ගත්තහම අපිට ඇත්තටම ඒ වැඩේ කරන්න පුළුවන් වෙලාව වගේ දෙතුන් ගුණයක වෙලාවක් යන්න සුලභ හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ අවධානය වැඩේ කරන අතරෙදීත් එහා මෙහා වීම. ආන්න ඒක වළකවා ගන්න පුළුවන් අපි මීට කලිනුත් කියලා තියෙන පොමොදෝරෝ ක්‍රමය ඔස්සේ. දවසේ වෙලාව ඉතුරු කරගන්න මේක කියාපු සාස්තරයක්. වැඩේ සරලයි. විනාඩි විසිපහක් වෙන කිසිම බාධාවකින්, අවධානය ඉවත යෑමකින් තොරව වැඩේ කරනවා. විනාඩි පහක් විවේක ගන්නවා. ආයෙ විනාඩි විසිපහක් අර විදියටම වැඩේ කරනවා. ඔය විදියට කරගෙන යනකොට අපිට තේරෙයි කොයි තරම් වෙලාවක් අපිට ඉතුරු කරගන්නත් පුළුවන්ද කියලා!

 

5. මල්ටිටාස්කින් හරියට

දැන් කාලේ ඔෆිස් එකකදී වුණත්, ගෙදර දොරේදී වුණත් අපිට සෑහෙන්න මල්ටිටාස්කින් කරන්න වෙනවා. ඒ කියන්නේ වැඩ කීපයක් එක පාර කරන්න වෙනවා. හැබැයි මෙතනදී ගොඩක් අය පටලවා ගන්න කාරණයක් තියෙනවා. මල්ටිටාස්කින් කියන්නේ අර අත් දෙකකින් කළු කෑලි දෙකක ගණන් දෙකක් එක පාර හදනවා වගේ වැඩක් නෙවෙයි. අපි එහෙම එක පාර වැඩ දෙක තුන කරන්න ගියොත් වෙන්නේ එක වැඩක් වත් හරියට වෙන්නෙ නැති එක. අන්න එතකොට වැඩ දෙක වෙන වෙනම කරන්න යන වෙලාව වගේ ඩබල් වෙලාවකුත් යනවා, වැඩේ කොලිටිය ගැන ෂුවර් එකකුත් නැතුව යනවා. ආන්න ඒ නිසා හරියට මල්ටිටාස්කින් කරන්න ඉගෙන ගමු. පටන් ගැන්මට මෙහෙමයි. ඔන්න අපි රිපෝට් එකක් ලියනවා. හැබැයි ඒ අතරෙම අපිට තව වැඩක් තව කාටහරි කියලා කරවගන්නත් තියෙනවා. එතකොට රිපෝට් එක ලියන අතරේ අර වැඩේ ගැන ෆලෝ අප් කරන්න පුළුවන්. එහෙම නැතුව එක පාර රිපෝට් දෙකක් ලියන එක නෙවෙයි මල්ටිටාස්කින් කියන්නේ!

 

6. කෝල්ස් ටයිම් කරමු

මේකත් අපි නොහිතන, හැබැයි බොහොම සරල ට්‍රික් එකක්. විශේෂයෙන්ම මේ වර්කින් ෆ්‍රොම් හෝම් කාලේ නම් මේක අත්‍යාවශ්‍යයි. දැන් අපිට කෝල්ස් එනවනේ දවසකට සෑහෙන්න. මේ කෝල්ස් එක්කෝ ඔෆිස් කෝල්ස්, එක්කෝ යාළු මිත්‍ර කෝල්ස්, එක්කෝ වෙනත් පර්සනල් දේවලට ගන්න කෝල්ස්. ඒ අතරේ මල් කෝල්සුත් තියෙනවා. ආන්න ඒවා පොඩ්ඩක් අපේ දින චරියාව අතරේ බෙදලා වෙන් කරගන්න. උදාහරණයක් විදියට මල් කෝල්ස් රෑට. යාළු මිත්‍ර කෝල්ස් වුණත් දිග පච හැලීම් කෝල්ස් නම් රාත්‍රියට හෝ සති අන්තෙට හෝ වෙනත් වැඩ නැති වෙලාවකට. වැඩ වෙලාවට කොයි තරම් හොඳම යාලුවෙක්ගේ කෝල් එකකට වුණත් විනාඩි පහකට දහයකට වඩා ගන්න එපා, ලොකු හදිසියක් නෙවෙයි නම්. ඔෆිස් කෝල් එකක් වුණත් අරගෙන අවශ්‍යතාවය දැනගත්තු ගමන් හිතින් ටයිමින් තියන්න. හරි විනාඩි පහයි. ඊට පස්සේ වෙලාව ඉවර වුණු ගමන් තමන් වැඩ කරන ගමන් ඉන්නේ කියලා තියන්න. 

 

7. ලේසි ටික ඉවර කරමු

මේක ගොඩක් දෙනෙක් පටලවා ගන්න, හැබැයි බොහොම පහසුවෙන් වැඩ ඉවර කරන්න පුළුවන් ක්‍රමයක්. ඒ තමයි, ලේසි වැඩ ටික කලින් ඉවර කරන එක. සාමාන්‍යයෙන් අපේ වැඩ ලැයිස්තුව බැලුවොත්, විනාඩි පහෙන් දහයෙන් ඉවර කරන්න පුළුවන් වැඩත් කීපයක් හරි තියෙනවා. හැබැයි අපි ඒවා අල්ල අල්ල තියාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට අර වෙලාව ගතවෙන ලොකු වැඩ තමයි අපි මුලින් කරන්න ට්‍රයි කරන්නේ. අන්න ඒ ක්‍රමය අයින් කරන්න. මුලින්ම අර විනාඩි පහේ දහයේ වැඩ ටික කරලා ඉවර කරන්න. ඊට පස්සේ ප්‍රමුඛතා පිළිවෙලට අනික් වැඩ කරන්න උත්සාහ කරන්න.

 

8. ගුඩ් නයිට් ස්ලීප්

අවසානයට මේක තමයි ඉතින් අත්‍යාවශ්‍යම කාරණය. අපි උඩිනුත් කිව්වනේ දවස පාන්දරින් පටන් ගන්න තරමට වැඩ කරන්න තියෙන දවස දිගයි කියලා. ඉතින් එහෙම උදෙන්ම වැඩ පටන් ගන්න නම් උදෙන්ම නැගිටින්න ඕන. එතකොට උදෙන්ම නැගිටින්න නම් කල් ඇතිව රාත්‍රියට නිදාගන්න ඕන. ආන්න ඒක කාලය ඉතුරු කරගන්න අවශ්‍ය නම් දේව වාක්‍යයක් වගේ පිළිපදින්න ඕන සත්‍යයක්. සමහර වෙලාවට අපිට නයිටක් කාරිය ගහලා වැඩ කරන්න වෙන අවස්ථාවන් තියෙනවා. හැබැයි ඒක කලාතුරකින් තමයි වෙන්නෙ ඕන. එහෙම නැතුව සතිපතා පාන්දර වෙනකල් ඇහැරගෙන ඉන්න එකෙන් ඇත්තටම වැඩ කරන්න තියෙන වෙලාව අඩු වෙනවා. ඇයි එහෙම කියන්නේ? අපිට හරි වෙලාවට හරි ප්‍රමාණෙට රාත්‍රී නින්ද නැතිවෙනවා කියන්නේ, ඊලඟ දවසේ අපේ කාර්යක්ෂමතාවය අඩුවෙනවා කියන එක තමයි. එතකොට වැඩ ඉවර කරගන්න වෙලාව මදි.

 

 

මතක තියාගන්න. හැමදාම උදේට අපිට තත්පර 86,400 ක් ලැබෙනවා. හැබැයි සල්ලි වගේ මේ තත්පර බැංකුවෙ දාලා ඉතුරු කරන්න බෑ. දවස අන්තිමට අපි ඒ තත්පර 86,400 වියදම් කළත්, නැතත් නැතිවෙලා යනවා. ඉතින් ඊලඟට කම්මැලි කමෙන් හරි, දුර්වල කාල කළමනාකරණය නිසා හරි කාලේ නාස්ති කරන වෙලාවට අන්න ඒ කාරණාව මතක තියාගන්න. තත්පර 86,400ක් දවසකට!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *