අපි ජීවත් වෙන්න ඕන කන්න නෙවෙයි, අපි කන්න ඕන ජීවත් වෙන්නයි කියන එක ඉතින් නිතරම ඇහෙන ආදර්ශ පාඨයක්නේ. ඒක ඇත්ත. තුන්තිස්පැයම කෑම ගැන හිත හිතා හිටියොත් ජීවිතේ දියුණුවට බාධයි. හැබැයි ඒ කියන්නේ ඉඳලා හිටලා හරි කටට රසට දෙයක් කන්න එපා කියන එක නෙවෙයි.
දැන් කෑම ගැන කියනකොටත් එක එක විදියට කන අය ඉන්නවා. සමහරු වෙජිටේරියන්. සමහරු වීගන්. සමහරු පොල්ලෝ වෙජිටේරියන්. සමහරු ලැක්ටෝ ඔවෝ වෙජිටේරියන්. සමහරු පෙස්කෝ වෙජිටේරියන්. එහෙම කියනකොට කොයිල් වගේද? එහෙමනම් ලේසියට අපිට කියන්න පුළුවන් වෙජිටේරියන්, බිත්තර-ටේරියන්, චිකන්-ටේරියන්, සීෆුඩ්-ටේරියන් කියලා. දැන් මෙතනින් වෙජිටේරියන් හෝ වීගන් අය ගැන අපිට කරන්න දෙයක් නෑ. හැබැයි චිකන්, බිත්තර, සීෆුඩ් කන ඈයෝ සහ ලෝකේ තියෙන හැම මසක්ම කන ෆුල් මාංශ භක්ෂකයෝ වෙනුවෙන් තමයි මේ ආටිකල් එක.
අපි කියන්න යන්නේ කොළඹ අවට තියෙන, මස් මාංස වලට ප්රමුඛත්වයක් හිමිවෙන ස්පොට් කීපයක් ගැන. මේ සමහර තැන් ස්ට්‍රීට් ෆුඩ්. සමහර තැන් ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට්. ඒ කොහොම වුනත්, මේ හැමතැනක්ම මාංශ භක්ෂකයන්ට දිව්‍යලෝක වගේ!
1. ගෝල්ෆේස් එකේ නානගේ කඩේ
ගෝල්ෆේස් එකේ නානගේ කඩේ දන්නෙ නැති හාදයෙක් මේ ලංකාවෙ ඉන්න බැහැනේ. හැබැයි දැන් එක නානා කෙනෙක් නෙවෙයි ගෝල්ෆේස් එකේ ඉන්නේ. කොහොම වුනත් මුළු ගෝල්ෆේස් කඩ පේළියම කෑම ලෝලියෙක්ට පාරාදීසයක්. වඩේ කරත්තෙකින් ගන්න තියෙන්නේ නිකම්ම ඉස්සෝ වඩේ විතරක් නෙවෙයි. කකුළු වඩේ, උම්බලකඩ වඩේ සහ තවත් නොයෙක් වඩේ ජාති පට්ට සිරා ලූණු මික්ස් සෝස් එකක දවටලා දෙන්නෙ පැලෙන්න කන්න තමයි.
ඉන් පස්සේ නානාගෙ කඩේකට ගොඩවෙලා බැලුවහම වීදුරු පෙට්ටි වල ග්‍රිල් චිකන් වල ඉඳලා, විවිධාකාර විදියට හදපු චිකන්, බීෆ්, දැල්ලෝ, ඉස්සෝ, මාළු ජාති තියෙනවා. මේ ජාතියක් දාලා ෂවර්මා එකක් වුනත්, කොත්තුවක් වුනත්, නාන් රොටී කන්න කරියක් වුනත් අපිට ඕන විදියට හදවලා ගන්න පුළුවන්. ඉතින් මස් කන සතෙක්ට තව වෙන මොනවද?
තැන:
2. අලුත්කඩේ ස්ට්‍රීට් ෆුඩ්
එළිවෙනකල් ඕනම වෙලාවක ගිහින් බඩ පැලෙන්න මස් මාංස සහිත කෑම වේලක් කාලා හිතත් පුරවගෙන එන්න මෙන්න තැන. දැන් ඔය කෑම ලෝලියෙක් දන්නවා, බඩ පිරෙන්න කනවා වගේම කෑම බීම දිහා බලලා හිතත් පුරවාගන්න පුළුවන් කියලා. මෙතන අලුත් කඩේ ස්ට්‍රීට් ෆුඩ් කඩපේලිය ඇත්තටම ගත්තොත් ගෝල් ෆේස් කඩ පේලියට වඩා මාරම ඇඩ්වාන්ස්. පුදුම විවිධත්වයක් තියෙන්නේ. මෙතන සමහර එළියේ තියෙන කඩ තට්ටුවක මස් ජාති, සීෆුඩ් ජාති ගණනාවක් තියෙනවා විවිධ ක්‍රම වලට හදලා. උදාහරණයක් විදියට කිවුවොත් චිකන්ම වර්ග ගණනාවකින් හදලා තියෙනවා. රෝස්ට් චිකන් වල ඉඳන් මසාලා චිකන් වෙනකල්ම. ඒ වගේම තමයි මේ ස්ට්‍රීට් ෆුඩ් වල ගණන් ඉතාම අඩුයි. යහමින් චිකන් දාලා හදපු රසම රස මිනි සබ්මෙරීන් එකක් රුපියල් සීයකට එකසිය පණහකට ගන්න පුලුවන්. දෙන්නෙක්ට මේ කඩවල ඉහළ පහළ ඇවිදලා බඩ පැලෙන්න කාලා ගෙදර ගෙනියන්නත් කෑම ගන්න පුළුවන් රුපියල් දෙදහකට අඩුවෙන්.
ඒ වගේම මස් මාංස ලෝලීන්ට තමන් කැමති මස් වර්ග, මාලු වර්ග, ඉස්සෝ දැල්ලෝ අනං මනං මික්ස් ඇන්ඩ් මැච් කරලා තමන්ගේ තාලෙට ෂවර්මා එකක් වුනත්, සබ් එකක් වුනත්, කොත්තුවක් වුනත් හදවාගන්නත් පුළුවන්!
තැන:
3. ප්‍රණීත
ප්‍රණීත කියලා කියන්නේ කාලයක් තිස්සේ ඔය බෞද්ධාලෝක මාවත, කොල්ලුපිටිය අවට විතරක් නෙවෙයි, තව දුර ඈත ඉඳලා වුනත් එන කාර්යාල ජනතාව අතර බොහොම ජනප්‍රියව තිබුණු කෑම කඩයක්. මෙතන ඇයි අපිට විශේෂ වෙන්නේ? ඒ තමයි මාංශ භක්ෂක ජනතාවට ප්‍රණීත එකෙන් දෙන ෆුල් සපෝට් එක නිසා. මෙතන බත් තියෙනවා. ඒ කියන්නේ රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස් වගේ සීන්. එතකොට හවස් අතේ කොත්තු තියෙනවා. හැබැයි ඊටත් වඩා විශේෂ දේ තමයි මෙතන තියෙන මස් මාංස විවිධත්වය. ඒ කියන්නේ චිකන් ගත්තොත් රෝස්ට් කරලා, ඩෙවල් දාලා, පෙපර් චිකන් කරලා, කරි චිකන් කරලා වගේ ඔය හැම ජාතියේම විදි වලට හදලා තියෙනවා. අනෙක් මස් ජාති ගත්තත් එහෙමයි. මාලු ජාති ගත්තත් එහෙමයි. සීෆුඩ් ජාති ගත්තත් එහෙමයි. ඉතින් තමන්ගේ කෑම එක ඕන නම් මේ මස් ජාතිවලින්ම මික්ස් මැච් කරලා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මෙතන කෑම එකක මස් ජාති ලෝස් නැතුව දෙනවා. චිකන් කෑම එකක් ගත්තොත් ඒක උඩ දැවැන්ත චිකන් පලුවක්. සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තොත් ඒක වැහෙන්න ඉස්සෝ, මාලු, දැල්ලෝ ඉන්නවා. මිල ගණන් නම් කොළඹ හොඳ හෝටලේකින් ලැබෙන සාමාන්‍ය ගණන් තමයි. හැබැයි කෑම වල ප්‍රමාණය ලොකු නිසා ඒක ලාබයි.
හැබැයි මෙතන වාඩි වෙලා කන්න නම් සෙට් වෙන්නෙ නෑ. හොඳම දේ මෙතනින් කෑම අරගෙන ගිහිල්ලා කන එක.
තැන:
4. ආහාර වුඩ් ෆයර් කිචන්
ඇත්තටම දෙහිවල ටවුමෙන් මුහුද පැත්තට වෙන්න තියෙන ආහාර රෙස්ටුරන්ට් එක ප්‍රසිද්ධ වෙලා තිබුණේ සවාන් බිරියානි ගන්න පුළුවන් තැනක් විදියට. ලෝබ නැතුව සවානෙන් එකක් දෙන බිරියානි, නියම ගාණට රෝස්ට් කරපු කුකුලෙක්, ග්‍රීන් පීස් කජු මික්ස් කරිය, අච්චාරු , බිත්තර වගේ හැමදෙයක්ම ඇතුළත් මේ සවාන් බිරියානි එකේ රස කියල වැඩක් නෑ. මෙතන බිරියානි විතරක් නෙවෙයි තියෙන්නේ. කහ බත්, කිඩූ බත්, පුලාවෝ බත්, නිකම්ම සුදු බත් වගේ හැම ජාතියක්ම තියෙනවා. හැබැයි චිකන් හරි බීෆ් හරි රහ හොයන අයට ලෝබ නැතුව මස් මාලු මේ හැම කෑම එකකම අන්තර්ගත කරලාත් තියෙනවා. ඕනෑ නම් නියම ශ්‍රී ලංකා ක්‍රමේට හදපු සී ෆුඩ් රයිස් එකක් එහෙමත් මෙතනින් ගන්න පුළුවන්. මෙතන කෑම හදන්නේ දර ලිප් වල කියලා මේ අය කියනවා. දර ලිපේ හදපු කෑම රසින් වැඩියි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!
තැන:
5. ස්ටුවර්ට් හොටෙල්
ස්ටුවර්ට් කියන්නේ බොහොම පරණ තාලේ හෝටලයක්. තියෙන්නේ ඕලන්ද ඉස්පිරිතාලේ පිටිපස්සේ. ඇත්තටම මෙතනට ඇතුල් වෙනකොට වුනත් අර සුද්දගේ කාලේ ඉඳලා පැවතගෙන එන හෝටලේකට ඇතුළු වෙනකොට දැනෙන බොහොම ගරු ගාම්භීර ගතිය දැනෙනවා.
හරි. අපි මෙතනට ආවේ සුද්දගේ කාලේ රැස් ගැන කතා කරන්න නෙවෙයිනේ. ස්ටුවර්ට් එකට අපි ආවේ මෙතන තියෙන අති ජනප්‍රිය පෝක් රැක් එකක රහ බලන්න. කියන්න සන්තෝසයි. මේ පෝක් රිබ්ස් ඩිෂ් එකට එනවා දැවැන්ත පෝක් රිබ්ස් රැක් දෙකක්. සාමාන්‍යයෙන් මේක දෙන්නෙක්ට ඇති. සුදහගින්දරේ ඉන්න, පෝක් කිවුවොත් වෙන මොකූත් එපා කියන, හොඳට කන්න පුළුවන් ඩයල් එකක් නම් මේ සම්පූර්ණ ඩිෂ් එකටම වැඩේ දෙයි. ඇත්තටම ඩිෂ් එක කියලා කිවුවට මේ පෝක් රිබ්ස් රැක් දෙක එන්නේ විශාල ප්‍රමාණේ ලෑලි කෑල්ලක් උඩ තියලා. මේ පෝක් රිබ්ස් වලින් මස් හොඳට ගැලවෙනවා. සැර සහ පැණි රස ගාණට තියෙන විදියට හොඳට මැරිනේට් කරලා හදපු පෝක් රිබ්ස් වල රස ඉස්තරම්. ඒකත් එක්ක මෑෂ්ඩ් පොටෙටෝ එකකුයි, සලාදෙකුයිත් එනවා.
ස්ටුවර්ට් එකේ මෙනු එකේ මස් කන්නෙක්ට හිතට අල්ලන තව අයිටම්ස් තියෙනවා. හැබැයි ඉතින් පෝක් රිබ්ස් රැක් එක කෑවට පස්සේ නැගිටගන්නවත් පුළුවන් වෙන එකක් නෑ!
තැන:
6. TONG NI BBQ – Kelaniya
කැළණිය කියන්නේත් කොළඹමනේ. කොළඹට හූවයි බල්ටියයිනේ. අන්න ඒ නිසා අපි කැළණියේ තියෙන ටොන්ග් නී බාබක්‍යු එකත් අපේ ලිස්ට් එකට ගන්නවා. නමෙනුත් දැනෙනවනේ නිකම් චයිනීස් ගතියක්! ඇත්තටම මේ අය කියන්නේ මේ අය ගාව තියෙන්නේ නියම චයිනීස් කෑම කියලා. ඒ කියන්නේ අර මකරා මාක් එක යට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු දාන ටවුමේ ගුණේ අයියගේ චයිනීස් එක වගේ නෙවෙයි!
කොහොම වුනත් මේ අයගේ මෙනු එකේ ඇත්තටම මස් මාංස අයිටම්ස් බර ගාණක් තියෙනවා. ඒ සමහර ඒවා චයිනීස්මද කියලා සැක සංකාවක් ඇති වුනත්, රහ බැලුවට පස්සේ ඒ සැක සංකාවන් දුරු වෙලා යනවා. හැබැයි මේ අය අර කොල්ලුපිටියේ තිබුණු ටොන්ග් නී බාබක්‍යු එකට සම්බන්ධද කියන්න නම් අපි දන්නෙ නෑ.
මේ අයගේ ප්‍රසිද්ධිය ඇත්තටම තියෙන්නේ බාබක්‍යු පැත්තට. මැරිනේට් කරලා බාබක්‍යු කරපු කුකුලෙක්ගෙන් බාගයක්, බත් කෝප්පයක්, බේබි කෝන් එහෙම දාලා හදපු චොප්සි එකක් සහ චිලි පේස්ට්, සෝස් ජාති වගේ ඔක්කොම තියෙන කෑම වේලක් රුපියල් හය හත්සීයකින් ගොඩදාගන්න පුළුවන්!
එහෙම නැතිනම් මෙනු එකේ තියෙන මස් මාලු ජාතියක් අපිට ඕන විදියට කතාබහ කරගෙන මික්ස් ඇන්ඩ් මැච් කරලා බාබක්‍යු කරගන්නත් පුළුවන්! තව වෙන මොනවද!!
තැන:
7. The Fishery
පෙගාසස් රීෆ් හෝටලේ ගැන දන්නවනේ. ඒක ඉතින් කොළඹ නෙවෙයි තමයි තියෙන්නේ. ඒ හරිය පල්ලියවත්ත. හැබැයි කොළඹ බෝඩරේ. ඒ නිසා අපි පෙගාසස් රීෆ් එකේ තියෙන ෆිෂරි රෙස්ටුරන්ට් එකත් අපේ ලිස්ට් එකට දානවා. ෆිෂරි එක තනිකරම පෙගාසස් රීෆ් එකේ තියෙන සීෆුඩ් වලට වෙන් කරපු රෙස්ටුරන්ට් එක. හැබැයි මෙතන සීෆුඩ් ලෝලියෙක්ට දිව්‍යලෝකයක් කියලා අපි කියන්න හොඳ හේතුවක් තියෙනවා. ඒ තමයි මෙනු එකෙන් බලලා තමන්ට ඕන සීෆුඩ් ඩිෂ් එක ඕඩර් කරනවට වඩා, ඩිස්ප්ලේ එකේ තියෙන ෆ්‍රෙෂ් පිට ගෙනාපු මාලු, ඉස්සෝ, දැල්ලෝ, පොකිරිස්සෝ, කකුලුවෝ, බෙල්ලෝ වගේ නානාප්‍රකාර මුහුදු සත්තුන්ගෙන් තමන්ට වුවමනා ඒවා තෝරාගෙන, තමන්ට වුවමනා විදියට හදවා ගන්න පුළුවන් වීම. මෙතනදී නම් ඔන්න මෙනු එකේ තියෙන හදන විධි ප්‍රයෝජනවත් වෙයි. එහෙම නැතත් එතන ඉන්න චෙෆ් බොහොම සුහදශීලීව අපිට ඕන සීෆුඩ් ජාති රස අනුව හොඳම මොනවද කියලා රෙකමන්ඩ් කරයි. ඕන නම් මේ විවිධ සීෆුඩ් ජාති මික්ස් මැච් කරගන්නත් පුළුවන්. ඒකත් එක්ක කන්න ගාලික් රයිස් එකක්, ගාලික් බ්‍රෙඩ් එකක් එහෙමත් ගන්න පුළුවන්. ඒ ඔක්කොම උගුරෙන් පහළට යවන්න වයින් වීදුරුවක් එහෙමත් එහා පැත්තේ බාර් එකෙන්ම ඕඩර් කරන්න පුළුවන්.
මෙතන ගණන් නම් ඉතින් පොඩ්ඩක් සැරයි. හැබැයි ගාණේ හැටියට අත්දැකීමත් සුපිරියි!
තැන:
Leave a Reply