නීතිය කියන දේ කාටත් පොදුයි කියලා කියල අපි දන්නවනෙ. දැන් මොකටද ඔය එක එක රටවල නීති රීති තියෙන්නෙ? ඇත්තම කිව්වොත් නීති රීති තියෙන්නෙ අපි ඔයාම ආරක්ෂා කරන්න තමයි. ඒ කියන්නේ නීතිරීති වලින්, අපි පුරවැසියෝ විදියට හැසිරෙන්න ඕන විදිය, අනික් අයත් එක්ක ඉන්න ඕන විදිය, කරන්නට ඕන නොකරන්නට ඕන දේවල් සම්බන්ධයෙන් අපිට මග පෙන්වීමක් කරනවා. ඒ කියන්නේ සමාජය සම්පූර්ණ ව්‍යාකූලත්වයකින් තොරව, විනයකින් සහ පාලනයකින් යුතුව පැවැත්වෙන්නට නීති අත්‍යවශ්‍යයි.
හැබැයි එහෙම වුණාට, සමහර රටවල සමහර නීති තියෙනවා, මොකා හැදුවද කියලා හිතාගන්න බැරි. ඒ තරම් විකාර සහගතයි. ඒ විදියේ විකාර නීති නීති පොත් වල තියෙන්න හේතුවක් තමයි, ඒවා අතීත කාලවලදී, ඒ ඒ කාලවලට ගැලපෙන්න හැදුනු, ඒ අතීත සමාජ වල ආකල්පයන්ට ගැලපෙන්න හැදුනු නීති වීම. ඒකට හොඳම උදාහරණයක් තමයි, ශ්‍රී ලංකාවේ නීති පොතේ තියෙනවා නීතියක්, කාන්තාවන්ට මත්පැන් මිල දී ගන්නට බැහැයි කියල. මේක ආදී කාලයේ නීති පොතට ඇතුළත් වුණු නීතියක් මිසක්, දැන් කාලෙට ගැලපෙන එකක් නෙවෙයිනේ. අන්න ඒ වගේ.
ඉතින් අපි හිතුවා, වෙන රටවලත් ඒ වගේ විකාර නීති තියෙනවද කියලා හොයලා බලලා එහෙම විකාර නීති රීති වල ලිස්ට් එකක් හදන්න.
01. කැනඩාවේ රේඩියෝ නං කැනඩා ආටිස්ට්ලා විතරයි
දැන් රේඩියෝ එකක විකාශය කරන්න ඕන ගීත මොනවද කියන එක ගැන රජයට මැදිහත් වෙන්න පුළුවන්ද? කැනඩාවේ රජයට පුළුවන්. කැනඩාවේ කොහොමත් ඔය ස්වදේශීය හැඟීම තියෙනවනේ. කැනඩාවේ රේඩියෝ ස්ටේෂන් වල, සඳුදා ඉඳන් සිකුරාදා වෙනකල්, උදේ 6 ඉදන් හවස 6 වෙනකල්, ජනප්‍රිය ගීත විකාශය කරන කාලය ගත්තහම, ඒකෙන් 35% ක් වත් හෝ ඊට වැඩිය වැඩි ප්‍රමාණයක කාලය ඇතුළේ වාදනය කරන්නට ඕන, කැනේඩියානු ශිල්පීන් ශිල්පිනියන්ගේ ගීත විතරයි.
හැබැයි හිතලා බලනකොට මේක විකාර නීතියක් කියන්න බැහැ. මේකෙන් කැනේඩියානු ශිල්පීන් ශිල්පිනියන් සහ කැනේඩියානු සංගීත කර්මාන්තය ආරක්ෂා කිරීමක් තමයි සිද්ධවෙන්නේ.
02. ජර්මන් හයිවේ එකක තෙල් නැතිවෙලා නැවතුනොත් දඩ
German autobahn කියන්නේ ජර්මනියේ හයිවේ සිස්ටම් එක. ආයේ ඉතින් ඇරලා හැටට හැටේ යන්න පුලුවන්. හැබැයි පැයට හැතැප්ම සීය වේගයෙන් යන්න චාන්ස් එක තිබ්බා වගේ නෙවෙයි, ගෙදරින් එළියට බහින්න කලින් බලන්න ඕනේ පෙට්රල් තියෙනවද වාහනේ කියලා. හේතුව මේකයි. මේ හයිවේ එකක කොහේ හරි ගෑස් ඉවර වෙලා වාහනේ නැවතුනොත්, ඔබට අති විශාල දඩයක් ගෙවන්න වෙනවා. එහෙම වාහන නැවතිලා, තෙල් අරන් එන්න කියල හිතාගෙන තෙල් ගහන තැනකට ඇවිදගෙන ගියොත් එහෙම, ඒකටත් තව දඩයක් වදිනවා. ඇයි ජර්මනියේ හයිවේ වල එහෙම නීතියක් තියෙන්නෙ? ජර්මනියේ විශ්වාසය තමයි, ගෙදරින් පිටත් වෙන්න කලින්, වාහනේ ලයිට් වැඩ කරනවද, හුලං තියනවද කියලා බලනවා වගේ, තෙල් තියෙනවද කියලා පරීක්ෂා කරලා, තෙල් ගහගෙන තියාගන්න එකත්, වාහනය මේන්ටේන් කරන වගකීමේ කොටසක් කියලා. බලනකොට ඒ නීතියෙත් එච්චරම වැරැද්දක් නැහැ නේද.
03. වෙනීසියේ පරවියන්ට කෑම දුන්නොත් දඩ
වැනීසියේ ශාන්ත මාර්ක් චතුරස්‍රයේ සහ ඒ අවට එළිමහන් පෙදෙස් වල, පරවියො දාස් ගණනින් ඉන්නවා. එක කාලයක්, වැනීසියට එන සංචාරකයෝ පුරුදු වෙලා හිටියා, මේ පරවියන්ට කෑම දාන්න. මේ පුරුද්ද නිසාම තව තවත් පරවි ගහණය මේ එළිමහන් බිම් වලට ආකර්ෂණය වෙන්න පටන් ගත්තා. එතකොට දැන් මේ ජනාකීර්ණ වීදි වලට සහ චතුරශ්‍ර වලට මේ තරම් පරවියෝ ආකර්ෂණය වෙනකොට වෙන්න පුළුවන් දෙයක් මොකක්ද? ඔව්, බෙටි ගහන කරදරය. දැකලා ඇතිනේ කොළඹ එහෙමත් කොහොමද කියලා. ඉතින් මේ පරවියන් නිසා නගරය අපවිත්‍ර වෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මේ පරවියන්ගේ බෙටි ගැසීම් නිසා අපවිත්‍ර වුණු නගරය පිරිසිදු කරන්නට, නගරයේ එක වැසියෙක් ගෙන් එක වසරකට යුරෝ 275 ක් වගේ වැය වෙනවා කියලා ගණන් බලලා තියෙනවා. ඒ නිසා 2008 අවුරුද්දේදී වැනීසියේ පාලනාධිකාරිය ගෙනාවා නීතියක්. පරවියන්ට කෑම කැවීම හෝ කෑම දැමීම තහනම්. මේ නීතිය කඩන කෙනෙක්ට යුරෝ 700ක දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා. මේ නීතියත් සාධාරණයි බලනකොට.
04. ග්‍රීසියේ ඇක්‍රොපොලිස් වල අඩි උස සපත්තු තහනම්
දැන් අඩි උස සපත්තු කියන්නේ කාන්තාවන් පළඳින සපත්තු ජාතියක්නේ. සමහර වෙලාවට බලාගෙන ඉන්න පිරිමින්ට හිතුනට “කොහොමද දෙයියනේ මේ විදිහේ අඩි උස සපත්තු දාගෙන ගැහැණු ළමයි ඇවිදින්නේ” කියලා, ගොඩක් ගැහැනු ළමයි ආසයි අඩි උස සපත්තු සෙරෙප්පු දාන්න.
හැබැයි එහෙම වුණත්, ග්‍රීසියේ ඇක්‍රොපොලිස් වල එහෙම අඩි උස සපත්තු දාගෙන ගියොත්, දඩ කන්න තමයි වෙන්නෙ. මොකක්ද ග්‍රීසියේ අඩි උස සපත්තු වලට විරුද්ධ හේතුව? මෙහෙමයි. ග්‍රීසියේ ඇතන්ස් වල ඇක්‍රොපොලිස් කියන්නේ පෞරාණික බලකොටු පද්ධතියක්. එතකොට මේ සීමාවේ, ගොඩනැගිලි වල විතරක් නෙවෙයි පෞරාණික වටිනාකමක් තියෙන්නේ. ගල් අල්ලපු බිම වුණත් පෞරාණික වටිනාකමක් තියෙනවා. එතකොට තියුණු අඩි තියන අඩි උස සපත්තු සෙරෙප්පු දාගෙන ඇක්‍රොපොලිස් වල ඇවිදිනවා කියන්නෙම, ඒවල තියුණු අඩි වලින් මේ පෞරාණික වටිනාකමක් තියෙන තැන් වලට හානි පැමිණ වෙන්න පුළුවන් කියන එක. මේ ප්‍රදේශය අවුරුදු 2500 කට වඩා පැරණියි. එහෙම බලනකොට මේ නීතියෙත් වැරැද්දක් නැහැ.
05. ඩෙන්මාර්ක් වල පොදු ස්ථානවල වෙස්මුහුණු බැහැ
දැන් හිතන්න අපේ වෙසක් එකට එහෙම පාරට බැස්සහම කීදෙනෙක් ඉන්නවද වෙස්මුහුණු, ඔලුබක්කො එහෙම දාගෙන. හැබැයි ඩෙන්මාර්ක් වල නීතියේ හැටියට පොදු තැන්වල, ඒ විදියේ වෙස් මූණු එහෙම දාන්න බෑ. ඒක නීතියෙන් තහනම්. හරියටම කියනවනම් මේ නීතියෙන් කියන්නේ, පොදු තැන්වල සමන්ගේ මුහුණ ආවරණය කරගෙන ඉන්න බැහැ කියලා. ඒ කියන්නේ වෙස්මුහුණු, හෙල්මට්, ස්කාෆ් වගේ දේවල් වලින් විතරක් නෙවෙයි, බොරු රැවුල්, බුර්කා වුණත් පොදු තැන්වල දාන්න බැහැ. මේක කෙනෙක්ට හිතෙන්න පුළුවන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියලා. හැබැයි ඩේනිෂ් රජය 2018දී මේ නීතිය ගෙනාවේ, පොදු ස්ථානවල, ජනාකීර්ණ ස්ථානවල, මොනවා හරි ගැටලුවක්, වැරැද්දක්, අපරාධයක් සිද්ධ උනහම, ඕනම කෙනෙක් කෙනෙක්ව පහසුවෙන් අඳුනාගන්න පුළුවන් වෙන්න ඕන කියන පදනම මත.
හැබැයි ඊට පස්සේ තමයි කොවිඩ්-19 ආවේ. අපි දන්නේ නැහැ, ෆේස් මාස්ක් වලටත් මේ නීති අදාල වෙනවද කියලා.
06. දකුණු කැරොලිනා වල බැඳලා නම් බැඳලා කියන්න ඕන
අපි හිතමු ඔයා ඔයාගේ පෙම්වතියත් එක්ක දකුණු කැරොලිනා වල හෝටලයකට යනවා රාත්‍රියක් ගත කරන්න. ඔව් ඔව්, කොටුවක් පනින්න තමයි. එහෙම ගිහිල්ලා, හෝටලයේ අමුත්තන් රෙජිස්ටර් කරන කවුන්ටරයේදී ඇහුවම කියනවා මිස්ටර් ඇන්ඩ් මිසිස් සිරිපාල කියලා. හැබැයි දෙන්න බැඳලා නැහැ. අන්න ඒක දකුණු කැරොලිනා වල නීතියට අනුව වැරැද්දක්. හෝටලයකට යනවනම්, බැඳලා නම් බැඳලා කියන්න ඕන. බැඳලා නැත්නම් බැඳලා නෑ කියන්න ඕන. මෙතැනදී නීතිය වෙන්නේ, දෙන්නෙක් බිරිඳ සහ ස්වාමියා නම්, ඒක පොදු තැනකදී, කිව යුතුයි කියන එක තමයි.
07. කාම්බෝජයේ වතුර පිස්තෝල බෑ
මතකයිද පුංචි කාලේ අපිට අරන් දීපු සෙල්ලම් වතුර පිස්තෝල? ඒකට වතුර පුරවලා, වෙඩි තියනකොට වතුර තමයි විදෙන්නේ. මේ වෙනකොට ඔය වතුර පිස්තෝල වතුර තුවක්කු, නවීන සෙල්ලම් බඩු විදියටත් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ කොහොම වුණත් කාම්බෝජයේ අග නගරයේ, අලුත් අවුරුදු උත්සව කාලයේ දී, මේ විදිහෙ සෙල්ලම් වතුර පිස්තෝල වතුර තුවක්කු, භාවිතා කරන්නටත් තහනම්, විකුණන්නටත් තහනම්.
මේ නීතිය තියෙන්නෙ අලුත් අවුරුදු සැමරුම් උත්සව කාලයේදී විතරයි කියන එකත් මතක තියාගන්න ඕන. මේ නීතිය පනවන්නට හේතු වුණේ, මාර්ග අනතුරු සහ මහජන සාමයට හානි පැමිණවීම වගේ කාරණා නිසා කියලා තමයි කියන්නේ.
08. රෝමයේ තමන්ගෙ බල්ලො දිනපතා ඇවිද්දුවේ නැත්නම් දඩ
මේ නීතියත් විකාරයි කියලා කියන්න බැහැ අපිට. ඒ ඇයි කියන තැනින්ම පටන් ගන්නම්. දැන් ගොඩක් අය කැමතියි නේ බල්ලෝ පූසෝ වගේ සත්තුන්ව හුරතලේට ඇති කරන්න. හැබැයි මේ සුරතල් සතුන් ඇති කරන්න හිතන ගොඩක් අය අමතක කරන කාරණාවක් තමයි, මේ සත්තු මැටියෙන් හදලා නැහැ, අපි වගේම අවශතා තියෙන ජීවීන් කියන එක. උදාහරණයක් විදිහට, බල්ලෙක් හදනවා නම්, ඒ බල්ලාට ව්‍යායාම ලබා දෙන්න ඕන. සමහර බලු වර්ග ඉන්නවා, ඒ අයට, ගේ ඇතුලෙ එහෙ මෙහෙ දුවන ව්‍යායාම ප්‍රමාණවත් වෙන්නේ නෑ, ඇවිද්දවන්න ඕන. ප්‍රමාණවත් විදියට ව්‍යායාම ලැබුණෙ නැත්නම් මේ සත්තුන්ට නොයෙක් ලෙඩ රෝග හැදෙන්න ගන්නවා. අන්න ඒකත් නිසා වෙන්න පුළුවන් රෝමයේ නීතියක් තියෙන්නේ, බල්ලෙක්ව සුරතලෙක් විදිහට හදනවා නම්, දවසට සැරයක් අඩුම ගානේ බල්ලා ඇවිද්දවන්න ඕන කියලා. එහෙම නැතිනම් හිමිකරුවාට ඩොලර් 625 ක දඩයක් වදිනවා.
රෝමයේ, හුරතලේට හදන ගෝල්ඩ්ෆිෂ් මාළු සම්බන්ධයෙනුත් මෙහෙම නීතියක් තියෙනවා. ගෝල්ඩ්ෆිෂ්ලා ඇති කරනවා නම් ඔය පුංචි වීදුරු බෝල් වල එහෙම ඇති කරන්න බෑ. එහෙම වුනොත් දඩ ගහනවා. උන්ට පීනන්න හොඳට ඉඩ තියෙන, අර ජලජ පැල අනං මනං දාල මින් මැදුරක් විදිහට හදපු, ලොකු ටැංකියක තමයි ඇති කරන්න ඕන.
09. සිංගප්පූරුවේ චුවිංගම් තහනම
මේකනම් විකාර නීතියක් කියලා සලකන්න බැහැ. නිකමට හිතලා බලන්න, බස් එකක සීට් එකක, නැත්නම් පොදු ස්ථානයක මේසයක එහෙම අලවලා තියෙන කාපු චුයිංගම් එකක් තමන්ගෙ අතේ ඇල උනහම ඇති වෙන හැඟීම ගැන. ඉතින් සිංගප්පූරුවේ චුවිංගම් තහනම ආවෙත් ඒ නිසා තමයි, මොකද ලියුම් පෙට්ටි වල, යතුරු හිල් වල, ලිෆ්ට් වල, පාරේ, පේමන්ට් එකේ මේ හැම තැනම කාලා විසිකරපු චුයිංගම් හින්දා. ඒක පරිසර දූෂණයට හේතුවක් වගේම, මිනිස්සුන්ටත් කරදරයක්. ඒ නිසා සිංගප්පූරුවේ අවසර තියෙන්නේ, දොස්තරලා නිර්දේශ කරපු ඩෙන්ටල් චුවින්ගම් හරි නිකොටින් චුවින්ගම් හරි හපන්න විතරයි. චුවින්ගම් විකිණීම හෝ සෑදීම, සිංගප්පූරුවේ දඩ කන්න වෙන එහෙම නැත්නම් හිරේ යන්න වෙන වරදක්.
දැන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ නීති දිහා බැලුවහම. රට රටවල විකාර නීති කියලා පටන් ගත්තට, මේ නීති එකක්වත් විකාර නීති නෙවෙයි. අතීත කාලෙට ගැලපෙන්න හැදුනු නීතිත් නෙවෙයි. මේ කාලයේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න වලට ගැලපෙන්න ඒ ඒ රටවල පනවපු නීති.
හැබැයි ඇත්තටම විකාර නීතිත් සමහර රටවල, සමහර නගරවල තියෙනවා. අන්න ඒ වගේ විකාර නීති ගැන අපි ඊලඟට කතා කරනවා දවසක.
Leave a Reply