ඇත්තම කථාව තමයි ඉස්සර කාලේ වගේ පොතක් පතක් කියවන්න අපිට දැන් වෙලාවක් නැහැයි කියන එක. මොකද, ඉස්සරට වඩා අපේ ජීවිත ඇතුළේ තරගකාරීත්වය වැඩියි. ජීවනෝපාය කරනවා, නැතිනම් සල්ලි හම්බුකරනවා කියන එක වුනත් දැන් කාලේ ලේසි පාසු දෙයක් නෙවෙයි. ඒ වගේම අද කාලේ අපේ අවධානය ඩැහැ ගන්න දේවලුත් ඉතාමත්ම වැඩියි. ටෙලිවිෂන්, ස්මාට්ෆෝන් වලින් පටන් ගත්තහම නානාප්‍රකාර දේවල් අපේ වටේ පිරිලා! හැබැයි ඉතින් මේ හැමදෙයක්ම අතරිනුත් පොතක් පතක් කියවන්න ඇත්තටම වුවමනාව තියෙනවා නම්, ඒකට වෙලාව හොයාගන්න බැහැමයි කියන්නත් බෑ. ආන්න ඒ ගැන තමයි අද අපි කියන්න යන්නේ. අපේ කාර්යබහුල ජීවිතේ අතරින් පොතක් පතක් කියවන්න පුළුවන් එක මොහොතක් හොයාගන්න එක ගැන.
1. බස් එකේ යනකොට
මේක හැමෝම දන්න සරලම කාරණාවනේ. පොත් කියවන්න වෙලාව හොයාගන්න අසීරු කෙනෙක්ට පුළුවන් රාජකාරියට යන අතරමග, ඉගෙනගන්න යන අතරමග බස් එකේදී, කෝච්චියේදී, ස්කූල් වෑන් එකේදී නැතිනම් ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේදී පොතක් කියවන්න. හැබැයි ටික දෙනෙක්ට මේ වැඩේ කරන්න අමාරුයි. මොකද සමහරුන්ට වාහනේක යනකොට කියවන්න ගත්තහම පොඩ්ඩක් වමනේ යන්න වගේ එනවා. ඒත් එතනිනුත් සමහරුන්ට ඒක පුරුදු වෙනකොට ඇරිලා යනවා. ගොඩක් වෙලාවට ලංකාවේ අපිට පොදු ප්‍රවාහනයේදී නම් සෑහෙන්න කාලයක් නාස්ති වෙනවා. ඉතින් ඒ නාස්ති වෙන කාලය පොතක් කියවන්න යොදාගන්න එක ඇත්තටම ප්‍රායෝගිකයි.
2. වැඩට යන අතරේ ඕඩියෝ බුක්ස්
දැන් අපි උඩින් කියපු කාරණාව වලංගු වෙන්නේ පොදු ප්‍රවාහනයේ හරි, පුද්ගලික ප්රවාහනයක හරි තමන් යනකොට, තමන්ට රියැදුරු වැඩේ කරන්න නැතිනම්නේ. හැබැයි වාහනේ එලවන්න තියෙන්නේ තමන්ට නම් මොකද කරන්නේ? ආන්න ඒකට හොඳ විසඳුමක් තමයි ඕඩියෝ බුක්ස්. ඔය ඕඩියෝ බුක්ස් කියන්නේ අපි දන්න පොත් පත් තව කෙනෙක් ශබ්ද නගලා කියවන හඬ පට. මේවා සල්ලි දීලා ගන්නත් තියෙනවා, නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඕඩියෝ බුක්ස් වුනත් සෑහෙන්න අන්තර්ජාලේ තියෙනවා. වැඩියෙන් තියෙන්නේ ඉංග්‍රීසි පොත් වුනාට, ඔය කෝමල් වගේ ඇප් එකක් දාගත්තොත් සුජීව ප්‍රසන්නආරච්චිගේ පොත් වලට වුනත් සවන් දෙන්න පුළුවන්!
ඒ වගේම පොතක් පෙරලගෙන කියවන්න කම්මැලි කෙනෙක්ට වුනත්, අර උඩින් කියපු වාහනේක යනකොට කියවන්න ගියහම වමනේ යන්න එන අයට වුනත් ඕඩියෝ බුක්ස් කියන්නේ හොඳ විකල්පයක්.
3. ඔෆිස් වැඩ අතරේ බ්රේක් එකකදී
ඔෆිස් එකේ වැඩ කරනවා කියලා අපිට උදේ අටට පටන් ගත්තහම එක සීරුවට වැඩම කරන්න බැහැ. අපේ සිස්ටම් එකටත් පොඩි බ්රේක් එකක් ඕන. අර පොමොදෝරෝ ටෙක්නික් එකට වැඩ කරනවා නම් හැම පැය බාගෙකටම වරක් මිනිත්තු පහක බ්රේක් එකක් ගන්න පුළුවන්. ඒ විදියට පැය බාගේ එව්වා හතරක් වැඩ කළාට පස්සේ පැය බාගයක බ්රේක් එකක්. දැන් ඔය බ්රේක් එක තියෙන්නේ පොඩ්ඩක් ඇවිදලා කරලා, අතේ පයේ හිරි ඇරලා, තේ කෝප්පයක් එහෙම බීලා එන්න. හැබැයි ඔය ටික කරන්න ලොකු වෙලාවක් යන්නෙ නෑ. ඉතින් පැය බාගේ බ්රේක් එකේ ඉතුරු වෙලාවේ පොතක පිටු කීපයක් කියෙව්වොත් නරකද? ඒකට බරසාර පොත් නැතුව පහසුවෙන් කියවන්න පුළුවන් සරල පොතක් තෝරගන්න පුළුවන්. තේ එක බොන ගමනුත් කියවන්න පුළුවන්!
4. නිදාගන්න කලින් පිටු කීපයක්
මේකත් අමුතුවෙන් ආටිකල් එකකින් කියලා දෙන්න ඕන නැති දෙයක්. දැන් සමහරු ඉන්නවා නින්ද යන්න නම් පොතකින් පිටු කීපයක් හරි කියවන්නම ඕන. එහෙම වෙන්නේ ඒක පුරුද්දක් විදියට කරගෙන යනකොට. හැබැයි ඒක නරක දේකුත් නෙවෙයි. හැමදාම නිදාගන්න යන්න කලින් අපිට පැය බාගයක් වෙන් කරගන්න පුළුවන්නේ. දැන් ඒ පැය බාගේ ඇඳේ ඉඳලම පොතක් කියවන්න පුළුවන්. හැබැයි එකක්, එහෙම කියවන්න රසවත් පොතක් අහුවුනහම දිගටම පාන්දර වෙනකල් පොත කියවන්න ඔට්ටු නෑ. පැය බාගේ නම් පැය බාගේ. පොතේ ඉතුරු ටික කියවන්න කොයි තරම් පෙළඹවීමක් දැනුනත් එතනින් පස්සේ නිදාගන්න තරම් මානසික පුහුණුවක් තියෙන්න ඕන.
5. පෝලිමක ඉන්නකොට
අපේ එදිනෙදා ජීවිතේදී අපි කොයි තරම් නම් පෝලිම් වල ඉන්නවද කියලා නිකමට හිතලා බලන්න. සුපර් මාකට් එකේ බිල ගෙවන්න තියෙන පෝලිම් අමතක කරමුකෝ. අපි බස් එකට පැය ගණන් පෝලිමේ ඉන්නවා. රජයේ තැනකින් වැඩක් කරගන්න ගියහම පෝලිමේ ඉන්නවා. ඉස්පිරිතාලෙට ගියොත් පෝලිමේ ඉන්නවා. බැංකුවට ගියත් සමහර වෙලාවට සෑහෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා. අන්න එහෙම පෝලිමේ ඉන්න සිද්ධ වෙන වෙලාවක, අතේ පොතක් තියෙනවා නම්? එහෙමනම් පෝලිමට සාප කර කර, කැරකි කැරකි ඉන්න ඕන වෙන්නෙ නෑ. පෝලිම හෙමිහිට ඉස්සරහට යනකල් තමන්ගේ පාඩුවේ පොත කියවන්නයි තියෙන්නේ.
6. ටීවී බලන අතරේ
දැන් කාලේ සෑහෙන පිරිසක් ටීවී එකට සම්පූර්ණයෙන්ම ඇබ්බැහි වෙලානේ ඉන්නේ. ඒ ඇබ්බැහියෙන් කෙනෙක්ව මුදවගෙන පොත් කියවන්න යොමු කරන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි මෙහෙම දෙයක් පුළුවන්. ටීවී එකේ ටෙලිනාට්‍යයක් බලන්න වාඩි වෙනකොට පොතකුත් අතට අරගෙන ගිහින් වාඩිවෙන්න. දැන් ඔය ටෙලිනාට්‍ය අතරේ වෙළඳ දැන්වීම් යනවනේ. තමන් ඔය වෙළඳ දැන්වීම් අරහං මනුස්සයෙක් නම් වැඩේ ලේසියි. ඒ වෙලාවට කියවන්න පොත. සාමාන්‍යයෙන් ඔය ටෙලිනාට්‍ය අතරේ වෙළඳ දැන්වීම් යන්න ගියහම විනාඩි හතරක් පහක් එක දිගට යනවා. ආන්න ඒ වෙලාවේ පොතක පිටුවක් දෙකක් කියවගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක කරන්න පුළුවන් වෙන්නේ දේකට ක්ෂණිකව අවධානය යොමු කරන්න, අවධානය ක්ෂණිකව එක් දේකින් තව දේකට මාරු කරන්න පුළුවන් කෙනෙක්ට විතරයි.
7. ටොයිලට් එකේ
මේක නම් ලංකාවේ ගොඩක් දෙනෙක්ට හුරු නැති, හැබැයි ඔය බටහිර රටවල බොහොම සුලභව තියෙන දෙයක්. ඒ තමයි සිරුරු කිස කරන්න වැසිකිලියට ගිහිල්ලා, ඒ වැඩේ කරන අතරතුරේදී පොත කියවන එක. දැන් ඔය බටහිර රටක ඇමරිකන් ක්‍රමේ කොමෝඩ් තියෙන අංගසම්පූර්ණ ටොයිලට් එකක තියෙනවා විවිධ පොත් පත්, සඟරා එහෙම තියලා තියන්න පුළුවන් ස්ටෑන්ඩ් එකකුත්. ඉතින් අපිටත් බැරිද අපේ බාත් රූම් එකේ ඔය වගේ දෙයක් හදාගන්න? හැබැයි ඉතින් මෙහෙමයි. අපේ බාත් රූම් වල බටහිර රටවල වගේ නෙවෙයි, සෑහෙන්න වතුර පාවිච්චි වෙනවා. ආන්න ඒ නිසා පොත් පත් බාත් රූම් එකේ තියෙනකොට ඒවා තෙමෙන්න එහෙම තියෙන ඉඩ වැඩියි. හැබැයි එහෙම වුනත් මේක බැරි වැඩකුත් නෙවෙයි. අපිට පුළුවන් වතුර ගෑවෙන්නේ නැති විදියට බිත්තියේ පොත් තියන්න පුළුවන් බකට් රැක් එකක් වගේ දෙයක් සවි කරන්න. දැන් ශරීර කෘත්‍යය කරන්න වාඩි වුනාට පස්සේ අතේ වතුර තියෙනවා නම්, ඒක ටොයිලට් පේපර් කෑල්ලකින් පිහිදගෙන, පොතක් අරගෙන වැඩේ කරගෙන යනකල් කියවන්න පුළුවන්. සරලයි, කාලේ අපතේ යන්නෙත් නෑ!
ඇත්තටම කිවුවොත් පොතක් පතක් කියවන්න වෙලාව උඩින් කියලා තියෙන විදියට හොයාගන්න පුළුවන් වුනත්, ඊට කලින් අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන දෙයක් තියෙනවා. ඒ තමයි පොතක් පතක් කියවන්න තියෙන හිත. ඒ වගේම මතක තියාගන්න, පොතක් පතක් කියවනවා කියන එකත් ටිකක් ප්‍රැක්ටිස් එක ඕන දෙයක්. ඒ කියන්නේ කාලයක් පොත් පත් නොකියවා ස්මාට්ෆෝන් එකට, ටීවී එකට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ට එක පාරටම පොත් කියවන්න ගන්න කම්මැලියි. එයාට ආයෙමත් හෙමිහෙමිහිට පොත් කියවලා ප්‍රැක්ටිස් එක ගන්න වෙනවා. හැබැයි ඒක වටිනවා!
Leave a Reply