“ලංකාව අප්සට් රටක්, මේක හදන්නත් බැහැ මේකේ මිනිස්සු හදන්නත් බැහැ“ ආදී අසුබවාදී කතා අපිට නිතරම ඇහෙනවා. ඒත් ලංකාවේ මිනිස්සුත්, ක්‍රමයත් වෙනස් කරන්න පුළුවන් විදි තියෙනවා. එහෙම වෙනස් වුන තැන් තියෙනවා. සැම විටම අසුබවාදී අන්තයකින්, කිසි දෙයක් වෙනස් කරන්න බැහැ කියල පාඩුවෙ උන්නොත් මොකුත්ම වෙනස් වෙන්නේ නැහැ. සිරිපාදේ කුණු ගැනත් කවුරුත් ඇහුන් නෑ, දැක්කේ නෑ, දැනෙන් නෑ වගේ උන්න නම් සිරිපාද කුණු ප්‍රශ්නය අද තියෙන මට්ටමටවත් විසඳෙන්නේ නැහැ. සිරිපාදේ කුණු ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳිලා නැහැ. ඒත් සෑහෙන දුරට ගොඩ ගිහින්. අපි ඒ ගැන කරුණු ටිකක් බලමු.
1. එදා සහ අද තත්ත්වය
මීට වසර තුන හතරකට පෙර හැටන් පාරෙන් සිරිපා යද්දි මග දෙපස හැම තැනම කුණු. ඒ කුණු කාලයක් තිස්සෙ ඒ තැන්වල තිබුණා. ඒ වගේම පඳුරු අස්සේ පේන පේන හැමතැනකම පොලිතින් ප්ලාස්ටික් ගොඩ ගැහිලා තිබුනා. අද ඊයේ සිරිපාදේ ගියා නම් තත්ත්වය ඊට වඩා හැම අතින්ම වෙනස්. ගොඩක් තැන්වල කුණු ප්‍රශ්නය ගැන දැන්වීම් තියෙනවා. කුණු ප්‍රශ්නයෙ බරපතලකම අකුරු දන්න ඕනි කෙනෙක්ට පැහැදිලි වෙන විදියට ලියලා තියෙනවා. ඒ වගේම කුණුත් ඉස්සරට වඩා සෑහෙන අඩුයි. සමහර තැන්වල පඩි සියගාණක් යනකල් පොඩි ටොෆි කොළයක දෙයක්වත් දකින්නට අමාරුයි. ඒ තරම්ම සිරිපාදේ පිරිසිදු වෙලා.
2. කවුද මේකට මැදිහත් වුණේ?
හැටන් පාරේ සිරිපාදේ කුණු ගැටළුවට අදාළ වෙන ප්‍රධාන පාර්ශව තමයි මස්කෙළිය ප්‍රාදේශීය සභාව, වනජීවි සංරක්ෂණ අධිකාරිය සහ සිරිපාද පංසල. මෙහිදී මස්කෙළිය සහ කලින් තිබුන ප්‍රාදේශීය සභාව මේ කුණු සහ සිරිපාද මග ගැන විශේෂයෙන් සැලකිලිමත් වුනා. ප්‍රාදේශීය සභාව කුණු ඉවත්කරන්න පිරිසක් පත් කරලා තිබුනා. ඒ වගේම පහළ එකතුවෙන කුණු ගෙනියන්නත් ප්‍රාදේශීය සභාව විශාල දායකත්වයක් සැපයූවා. ඒ ප්‍රාදේශීය සභාවෙන් පත්කළ ඇතැම් සේවකයින් නම් ඇතැම් විට ඔවුන්ගේ පහසුවට කුණු බාල්දි නොපෙනෙන්න කැලේට ගෙනිහින් දාපු අවස්ථාත් තිබුනා. ඒත් සභාවක් විදියට සිරිපාදේ කුණු ප්‍රශ්නය දිහා බැරෑරුම්ව බලන්න ප්‍රාදේශීය සභාව මැදිහත් වුනා.
3. වනජීවී සංරක්ෂණ අධිකාරියේ මැදිහත්වීම
ඉස්සර සිරිපාදේ යද්දි පාර දෙපැත්තේ කඩ වල ගිනි ඇවිලීම් සිදු වුණේ දර වලින්. අද වෙද්දි මේ දර පාවිච්චි කළ අය ගෑස් වලට යොමුවෙලා. මේක ඉබේ වුණේ නැහැ. වනජීවි සංරක්ෂණ කලාපයට අයිති සිරිපා මඟේ ගිනි දැල්වීම් කිරීම වනජීවි අධිකාරිය තහනම් කළා. කඩ පවත්වාගෙන යන්න පුළුවන් සීමාවනුත් සීමා කළා. ඒ හරහා අද වනවිට කැලෙන් දර අරගෙන පරිසරයට අහිතකර විදියට දර ගිනි දැල්වීම් සිරිපාද මග දෙපස අඩුවෙලා තියෙනවා. ඒ වගේම කඩ වල වුනත් ඉවත් වන නොදිරන කසල මග දෙපසටම මුදා හැරීම් අඩු වෙලා තියෙනවා. සිරිපාද මහ මළුවේ හෙවත් පද්මයේ තිබෙන වැසිකිළි අපද්‍රව්‍ය නම් රත්නපුර පාරේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වෙනවා. ඒත් හැටන් පාරේ වැසිකිළි තවමත් තියෙන්නෙ ප්‍රාථමික මට්ටමේ. වනජීවි අධිකාරිය මැදිහත් වී ඒවත් වෙනස්කරගන්න හැකි වුනොත් සැබැවින්ම සිරිපාදේ පරිසරය මීටත් වඩා ලස්සන කරගන්නට හැකි වේවි.
4. මඟ ඉදිකළ අයගේ මැදිහත් වීම
සිරිපාද ඉමේ පඩිපෙල් නොතිබුනා නම් යන සෙනගේ හැටියට මහා කානු හෑරිලා වතුර ගලා ගිහින් ලොකු ව්‍යසනයක් වෙනවා. ඒ පඩිපෙල් ඉදිකරලා ඒවා නඩත්තු කරන හමුදා අංශ වලිනුත් සිරිපා මගේ ආරක්ෂාවට ලොකු දායකත්වයක් ලැබිලා තියෙනවා. මේ පඩිපෙල් ඉදිකරද්දි ගල් කැටේ, වැලි කැටේ ඉඳන් පහළ සිට ඉහළට කර මතින් ගෙනියන්න ඕනා. ඒ කැපවීම් කළ කම්කරු ජනතාවත් සිරිපා මග ලස්සනට තියාගන්න දායක වෙලා තියෙනවා. සිරිපා මාර්ගය දැන් බොහෝ තැන් කොන්ක්‍රීට් කරලා තියෙනවා. සිමෙන්ති දාල තියෙනවා. ඒ හරහාත් පරිසරයට වෙන්න පුළුවන් බලපෑම් සෑහෙන්න අඩු වෙලා තියෙනවා. ඒ වගේම අතුපතු ගාන, පිරිසිදු කරන වැඩකට වුනත් සිමෙන්ති දාලා පඩිපෙල් දාල තියෙද්දි ලොකු පහසුවක් තියෙනවා.
5. ප්‍රජා සංවිධානවල දායකත්වය
වරක් මාස් හෝල්ඩින්ස් ආයතනය සිය එක් අංශයක සේවකයින් දහස් ගණනින් සිරිපා ඉම පිරිසිදු කරන්න යෙදෙව්වා. ඒ තැනදි ඒ සේවකයින් සිරිපා ඉමේ පඳුරු අස්සේ, කැලෑ අස්සේ රිංගලා සිය දායකත්වය සිරිපා ඉම වෙනුවෙන් දුන්නා. ඒ වගේම හමුදාවත් සිරිපා පිරිසිදු කිරීම් මෙහෙයුම් වලට දායක වුනා. සරසවි වලින්, පරිසර සංවිධාන වලින් වගේම ඔන්ලයින් මිතුරු මිතුරියනුත් එකතු වෙලා සිරිපාදය පිරිසිදු කරන සිරිපාද පිරිසිදු කිරීම් ගැන දැනුවත් කරන වැඩසටහන් දියත් කළා. ඇත්තටම මේ පිරිසිදු කරන පිරිස් වැඩිවීම එක් අතකින් හොඳ ප්‍රවණතාවයක් වුනා. පිරිසිදු කරන්නෙක් ලෙස සිරිපාද ඉමට ගිය කිසිවෙකු ආයෙත් සිරිපා ගමනකදි සිරිපා ඉමට කුණු දමන්නේ නැහැ. සිරිපාද පිරිසිදු කිරීම් ට්‍රෙන්ඩ් එකක් වීම නිසා එක් අතකින් සිරිපාද මග පිරිසිදු වීම වගෙම අනික් අතින් ආකල්පමය වෙනසකුත් මිනිස්සු අතර ඇතිවුනා.
6. බැතිමතුන්ගේ කැපවීම
සිරිපා ඉමට කුණු අහසින් වැටෙන්නේ නැහැ. තියෙන්නේ මිනිස්සුන්ම දාන කුණු. ඉතින් සිරිපා යන බැතිමතුන් ඒ ගෙනියන කුණ ටික ආයේම අරන් එනවා නම්? එතනදි සිරිපාද කුණු ගැටළුව සම්පූර්ණයෙන්ම හමාර වෙනවා. අපි අරන් යන කෑම අසුරණ, වතුර බෝතල, බිස්කට් පෙට්ටි ආදිය ආයේම අරන් එන්න හැකිනම් සිරිපාදේ වගේම අනික් කඳු තරණ වලදිත් පරිසරය අවලස්සන වීම සෑහෙන්න අඩු වෙනවා. මෙතනදි දැන් බැතිමතුන් ගොඩක් දියුණු වෙලා එයාල ගෙනියන සියල්ල ආයේ අරන් එන එක සම්පූර්ණයෙන්ම නොකළත් අඩු ගාණේ තියෙන කුණු බාල්දි වලට කුණු දැමීම හරි කරනවා. ඒ වගේම කුණු බාල්දිත් දැන් හැම හංදියක් හංදියක් ගාණේම සිරිපා මගේදි හමු වෙනවා.
7. වෙනස් විය යුත්තේ බලධාරින්ද අපිද?
ලංකාවේ ඕනෑම ප්‍රශ්නයකදි ප්‍රශ්නයේ අපේ වගකීම අපිට ඉබේම අමතක වෙනවා. ඔන්න ඉන් පස්සේ බලධාරින් නිලධාරින් අපිට මතක් වෙනවා. සිරිපා ගැටළුවේදිත් මුල් කාලයේ මිනිස්සු සිරිපා මග දෙපස පිරිසිදු කිරීම් ගැන බලධාරින්ට දොස් පැවරුවා. ඒත් උඩට ගිහින් දාන කුණු ආයේ පහළ අරන් එන එක ලේසි වැඩක් නෙමෙයි. මුදල් දීලා කළත් එය අපහසු, වෙහෙසකර මිල අධික වැඩක්. ඉතින් මේ කුණු ගැටළුවෙදි සැබැවින්ම ඒකට මැදිහත් වුන අය අනෙක් අයට ඇඟිල්ල දික් කරන්නේ නැතිව තමුන්ගේ වගකීම ඉටු කළා. කුණු අයින් කරන අය කොපමණ කැපවුනත් එන්න එන්නම කුණු වැඩි වුනානම් ඔවුන් අපහසුතාවයට පත් වෙනවා. කුණු ගැන බැතිමතුන්ගේ ආකල්ප එක්තරා හෝ පමණකින් වෙනස් වීම සතුටට කාරණාවක්.
සිරිපාදේ වගේ තැනක කුණු කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතියක් කිරීමට සමාගම් කැමතියි. ඒත් එවැන්නක් ඇතිකර පවත්වාගෙන යෑම තමයි ලොකුම අභියෝගය. ඒ අභියෝගය මේ වනවිට සමාගම් කිහිපයක් විසින් බාර අරගෙන තියෙනවා. මිනිස්සු වෙනස් කරන්න බැහැ යැයි නිතර මැසිවිලි කිය කිය ලතැවෙන්නේ නැතිව සිරිපාදය වෙනුවෙන් මිනිස්සු කැපවුනා. ඒ වෙනුවෙන් බැතිමතුන් කැප වුනා. ඉතින් අපිට අද සම්පූර්ණයෙන්ම නැතත් සෑහෙන තරමකින් පිරිසිදු සිරිපා මගක් දකින්නට ලැබෙනවා.
Leave a Reply