මේ ලෝකේ තවමත් විසඳී නැති අබිරහස් දේවල් කොයි තරම් තියෙනවද? මේ එයින් ගුප්ත ලේඛනයන් 7ක්!

unsolved mysteries in the world

මේ ලෝකේ කොයි තරම් නම් අබිරහස් තියෙනවද? තවමත් අර්ථය නිවැරදිව සොයා නොගත්තු ගුප්ත ලේඛනයන් කියන්නෙත් ඒ විදියේම අබිරහස් තමයි. මේ අබිරහස් ලේඛනයන් සමහරක් අතීතයේ සිටි මිනිසුන් විසින්ම නිර්මාණය කරනු ලැබූ ඒවා. තවත් අබිරහස් ලේඛනයන් නිර්මාණය කරන්නට ඇත්තේ කවුද කියන එකත් අබිරහසක්. ඒ කොහොම වුනත් අදටත් නොවිසඳී තිබෙන මේ බොහෝ අබිරහස් ලේඛනයන් අපිට නිහඬවම කියා සිටින්නේ අපි දන්නා ලෝකයට, දන්නා විශ්වයට වඩා නොදන්නා දේවල් කොයි තරම් අපි ඉන්න ලෝකයේ, අපි ඉන්න විශ්වයේ හැංගිලා තියෙනවාද කියන එක තමයි. මේ ගුප්ත ලේඛනයන් අදටත් අපේ කුතුහලය අවුස්සන අතරේ, මේ අබිරහස් විසඳාගන්න කොතෙකුත් උත්සාහ කරන අයත් සෑහෙන්න මේ ලෝකේ ඉන්නවා. සමහර වෙලාවට හිත කළඹවන සුළු මේ අබිරහස් ලේඛනයක් විසඳන්න හැකියාව තියෙන එකම පුද්ගලයා ඔබ වෙන්නත් පුලුවන්!

 

1. Voynich Manuscript

unsolved mysteries in the world

Source – theverge.com

වොයිනික් අත් පිටපත නැතිනම් කොඩැක්ස් වොයිනික් ඇත්තටම ලියවිලා තියෙන්නේ 15 වෙනි සියවසේදී කියලා මේ වෙනකොට කාබන් පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. හැබැයි වොයිනික් අත් පිටපතේ තියෙන අබිරහස තියෙන්නේ ලියැවුණු කාලයේදී නෙවෙයි. මේ අත්පිටපතේ අන්තර්ගත වෙන පිටසක්වළ විශ්වයකින් ආවා වගේ පේන විවිධ රූප සටහන් සහ මෙය ලියැවිලා තියෙන අබිරහස් භාෂාව නිසා තමයි අදටත් මේක ගුප්ත ලේඛනයක් විදියට සලකන්නේ. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ කවුද කියන එකත් තවමත් අබිරහසක්.

පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා මේ වොයිනික් අත්පිටපත නිර්මාණය කරන්න අරන් තියෙන පාච්මන්ට් ගව පැටවුන්ගේ සමින් හදලා තියෙන්නේ කියන එක. අත්පිටපතේ වැඩි ප්‍රමාණයක තියෙන භාෂාව තවමත් විකේතනය කරලා නැති වුනත්, සමහර කොටස් ලතින් අක්ෂරයන්ගෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන රූප වලින් පැලෑටි වර්ග, නක්ෂත්‍ර සංකේතයන්, ජීව විද්‍යාත්මක රූප, විශ්වීය සංකේතයන් වගේ දේවල් නිරූපණය වෙනවා කියලා අඳුනගන්න පුලුවන්. ඒත් ඒ හැම එකක්ම වෙනත් විශ්වයකින් ඇවිත් තියෙන්නේ කියලා ඔබට හිතුණොත් ඒකේ කිසිම පුදුමයක් නැහැ.

 

2. Kryptos

unsolved mysteries in the world

Source – theblackvault.com

ක්‍රිප්ටෝස් කියන්නේ ලෝකේ තියෙන පැරණි ගුප්ත ලේඛනයක් නෙවෙයි. ඇමරිකානු ශිල්පියෙකු වෙන ජිම් සැන්බෝර්න් විසින් 1990 නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ, වර්ජිනියා වල ලැන්ග්ලි හි මූර්තියක් විදියට ස්ථාපිත කළාට පස්සේ අද වෙනකල් මේකේ තියෙන අබිරහස් පාඨයන් විකේතනය කරන්න ලෝකේ සුපිරිම මොළ වෙහෙස මහන්සි වෙලා තියෙනවා. ඔව්, මේක තියෙන්නේ සී.අයි.ඒ මූලස්ථානය ඉදිරිපිට තමයි. හැබැයි මේ වෙනකොට සී.අයි.ඒ එකේ සහ වෙනත් ආයතනවල ගුප්ත ලේඛනයන් සම්බන්ධ සුපිරිතමයින්ට වුනත් විකේතනය කරන්න හැකිවෙලා තියෙන්නේ මේකේ තියෙන පාඨයන්ගෙන් තුනක් විතරයි. හතරවෙනි පණිවුඩය ලෝකේ තවමත් නොවිසඳුණු අබිරහසක් හැටියට තියෙනවා. ඒ හතරවෙනි පාඨ කොටස විසඳන්න තවමත් බොහෝමයක් දෙනෙක් උත්සාහ කරනවා.

 

3. Rongorongo

unsolved mysteries in the world

Source – commons.wikimedia.org

ඊස්ටර් දූපත් කියන්නේ ලෝකේ තියෙන අදටත් නොවිසඳුණු අබිරහස් ‍රැසක් සඟවාගත්තු තැනක්. විශේෂයෙන්ම ඊස්ටර් දූපත් වල තියෙන අතිදැවැන්ත ඒකශෛලමය මනුෂ්‍යරූපී ප්‍රතිමාවන් අදටත් අබිරහසක්. බොහෝ දෙනෙක් විශ්වාස කරනවා ඊස්ටර් දූපත් වල තියෙන්නේ අතීතයේ වැළලී ගිය ශිෂ්ටාචාරයක නෂ්ටාවශේෂයන් කියලා. එතකොට රොන්ගොරොන්ගෝ කියන්නේ 19 වෙනි සියවසේදී ඊස්ටර් දූපත්වලින් සොයාගත් අක්ෂර මාලාවක්. බොහෝම දෙනෙක් විශ්වාස කරනවා මේ පාඨයන් තුළ ඊස්ටර් දූපතේ වැළලී ගියපු අතීත ශිෂ්ටාචාරයට හැබෑවටම සිද්ධ වුණේ මොකක්ද කියන එක සැඟවිලා තියෙනවා කියලා. ඒ නිසාම මේ පාඨයන් විකේතනය කරන්න බොහෝමයක් දෙනෙක් උත්සාහ කරලත් අසාර්ථක වෙලා තියෙනවා.

මේ රොන්ගෝරොන්ගෝ පාඨයන් ලියැවිලා තියෙන්නේ කාලගුණයෙන් දැඩිව බැටකාපු දැවමුවා වස්තූන් මත. මේවා අද වෙනකොට විවිධ කෞතුකාගාර සහ කෞතුක වස්තු එකතූන් අතර විසිරිලා තියෙනවා.

 

4. Codex Seraphinianus

unsolved mysteries in the world

Source – thedailyomnivore.net

වොයිනික් අත්පිටපත වගේම අබිරහස් විශ්වයක් ගැන ඉඟි කරන තවත් කොඩැක්ස් එකක් තමයි සෙර‍ෆිනියානුස් අත්පිටපත කියන්නේ. මේක නිර්මාණය කරන්නේ ලුයිගි සෙර‍ෆිනි කියන ඉතාලි ශිල්පියා විසින් 1976 සිට 1978 දක්වා කාලය ඇතුළතදී. මේක කියවන්න පටන් ගන්න කෙනෙක්ගේ මොළේ විකාර වෙනවා වගේම අත්පිටපත ඉවර වෙනකල් කියවන්න පුදුම ආශාවක් ඇති වෙනවා. මේ පි‍ටු 360ක අත්පිටපත ඇතුළේ අපූරු විශ්වයක් සම්බන්ධ විශ්වකෝෂයක් වගේ රූප සටහන් සහ තේරුම් ගන්න බැරි භාෂාවකින් පාඨයන් තියෙනවා. හිතලා බලන්න, බිත්තරයක් බිඳිලා කුකුල් පැටියෙක් එන්නේ නැතුව මේ විශ්වයේ බිත්තරයම කුකුල් පැටියෙක් බවට පත්වෙනවා නම්… රාත්‍රියේදී මුල් වලින් ඉදිරිලා ඇවිදගෙන යන ගස්… දේදුන්නක් පායනකොට ඒ දේදුන්නේ ඇතුළෙන් හාරාගෙන එන්න පුලුවන් දේදුණු කෘමීන්…

මේ කෘතියේ පරිච්ඡේද එකොළහක් පුරාවට මේ අද්භූත විශ්වයේ ගස් වැල්, සත්ව සංහතිය, රසායනයන්, යන්ත්‍රසූත්‍ර, මිනිසුන්, සංස්කෘතිය වගේ හැම දෙයක්ම ආවරණය වෙනවා. සමහරු කියනවා මේ වෙනත් විශ්වයක තියෙන ශිෂ්ටාචාරයක්, ලෝකයක් ගැන ලියැවුණු අත්පිටපතක් කියලා. තවත් අය කියනවා මේ තමයි මනුෂ්‍ය පරිකල්පනය කියලා. කවුද හරි? තාම කවුරුවත් දන්නෙ නෑ.

 

5. Georgia Guidestones

unsolved mysteries in the world

Source – unn13.blogspot.com

ඇමරිකාවේ, ජෝර්ජියා වල 1980 දී පිහි‍ටුවලා තියෙන මේ කළුගල් ස්ථම්භය ඇත්තටම මඟ පෙන්වීමේ ස්ථම්භයක් විදියට හඳුන්වන්න පුලුවන්. මේ මදින ලද කළුගල් ස්ථම්භයේ නවීන භාෂා අටකින්, මාර්ගෝපදේශන පණිවුඩයන් දහයක් කැටයම් කරලා තියෙනවා. මේ භාෂා වෙන්නේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ස්වාහිලි, හින්දි, හීබෘ, අරාබි, චීන සහ රුසියානු භාෂා. ඇත්තටම මේ ස්ථම්භයේ තියෙන පාඨයන් ගුප්ත ලේඛන ගණයට වැටෙන්නේ නැහැ. මොකද මේකේ බොහොම පිරිසිදුවට ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට ලියවිලා තියෙන පාඨයන් මිසක්, විකේතනය කළ යුතු ගුප්ත පාඨයන් කිසිවක් නැති නිසා. එහෙම වුනත් මේ ස්ථම්භය නිර්මාණය කළේ කවුරුන්ද යන්නත්, මේ ස්ථම්භයේ තියෙන ඇතැම් මාර්ගෝපදේශන පාඨයන්ගේ සැබෑ අර්ථය කුමක්ද යන්නත් අද පවා ගැටළුවක්.

උදාහරණයක් විදියට පෙන්වා දුන්නොත්, ලෝකය සහ මනුෂ්‍ය ප්‍රජාව සමතුලිතව පවත්වා ගැනීමට නම් ලෝකයේ ජනගහණය මිලියන 500 ක සීමාවේ පවත්වා ගත යුතුයි කියලා ලියැවිලා තිබීම ගන්න පුලුවන්. බොහෝමයක් දෙනෙක් සැක කරනවා මේක තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක් ඇතිවුනොත්, ඒ ලෝක යුද්ධයෙන් දිවිගලවා ගන්නවුන්ට ආයෙමත් ලෝකය ගොඩනැඟීමට මාර්ගෝපදේශනය සපයන ලියැවිල්ලක් කියලත්.

 

6. Wow!

unsolved mysteries in the world

Source – youtube.com

1977 දී සෙටී (Search for Extraterrestrial Intelligence) ආයතනයේ වැඩකරමින් සිටි ජෙරී එහ්මන්ට ලැබෙනවා රේඩියෝ සංඥාවක්. ඈත අභ්‍යවකාශයේ සිට පැමිණෙන මේ රේඩියෝ සංඥාව ඉතාම ප්‍රබල ප‍ටු-කලාප රේඩියෝ සංඥාවක්. මේකට Wow! කියන නම වැ‍ටුණේ, තමන්ට ලැබුණු සංඥාව ඈත විශ්වයෙන් ලැබුණා කියලා හඳුනාගත්තු ජෙරී ඒ කේතයන් ලියපු කොලේ පැත්තකින් wow කියලා ලියපු නිසායි. බොහෝ දෙනෙක් පිළිගත්තු කාරණාව තමයි මේ රේඩියෝ සංඥාවෙන් කියැවෙන්නේ අපි විශ්වයේ තනිවෙලා නැහැයි කියන එක කියලයි. කොහොම වුනත් මේ සංඥාව නිකුත් වුණු ස්ථානය සොයාගන්නට කළ උත්සාහයන් ව්‍යර්ථ වුනත්, තත්පර 72 ක් පුරා පැවතුණු මේ සංඥාව පිටසක්වළ ජීවයක් හරහා පැමිණියා කියන එක මෑතක් දක්වාම විශ්වාස කෙරුණා. මේ පණිවුඩයේ අඩංගු වෙන්නේ කුමක්ද කියන එකත්, මේ පණිවුඩය නිකුත් වුණු තැන මොකක්ද කියන එක වගේම අබිරහසක් විදියට මෙතෙක් පැවතුනේ.

හැබැයි අහන්න ලැබෙන විදියට දැන් මේ අබිරහස විසඳිලා තියෙනවා. මේ රේඩියෝ සංඥාවන් ඈත විශ්වයේ ඉඳලා නිකුත් වෙලා තියෙන්නේ ධූමකේතු ද්විත්වයකින් කියලා ශාන්ත පීටර්ස්බර්ග් විද්‍යාලයේ මහාචාර්ය අන්‍තෝනියෝ පැරිස් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ සංඥාවන් පැමිණියේ පිටසක්වළ ජීවයකින් කියලා විශ්වාස කරපු අයගේ අපේක්ෂාවන් භංග කරවන අදහසක්.

 

7. Linear A

unsolved mysteries in the world

Source – minoan.deaditerranean.com

හියරොග්ලි‍ෆික අක්ෂර අපිට ලෝකයේ සෑහෙන්න මුණගැහිලා තිබුණත්, මේ වෙනකොට ඒ පිළිබඳ විශේෂඥයින්ට හියරොග්ලි‍ෆික අක්ෂර කියවාගන්නට පුලුවන්. එහෙම වුනත් ග්‍රීසියේ ක්‍රීට් දූපතෙන් මුණගැහුණු මැටි පුවරුවල සටහන් වෙලා තියෙන මේ Linear A ලේඛනයන් තවමත් කියවාගන්න විශේෂඥයින් සමත් වෙලා නැහැ. බොහෝ දෙනෙක් සැක කරන්නේ මේ ලෝකඩ යුගයේදී පැවතිලා වැළලිලා ගියපු මිනෝවානු ශිෂ්ටාචාරයට අයත් ආගමික සටහන් විය හැකියි කියලයි. මේ සමගින් මුණගැහුණු Linear B කියලා හැඳින්වුණු ලේඛනයන් ක්‍රිස්තු පූර්ව 1450-1375 කාලයන්ට අයිතියි කියලා සැක කෙරෙනවා. හැබැයි ඒ භාෂාව සහ ලේඛනයන් මේ වෙනකොට තේරුම් ගන්නට විශේෂඥයින් සමත් වෙලා තියෙන්නේ.

ඒත් ක්‍රිස්තු පූර්ව 1750-1450 කාලයට අයත් කියලා සැක කෙරෙන Linear A පාඨයන් සහ භාෂාව තවමත් සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න කවුරුවත් සමත් වෙලා නැහැ. විශේෂඥයින් කියන්නේ Linear B භාෂාව බිඳී ඇවිත් තියෙන්නේ වඩාත් පැරණි Linear A හි භාෂාවෙන් කියලා තමයි.

Cover Image Source – leftbankbooksny.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *