වෙළඳපොලේ ඇති හොඳම ඇන්ඩ්‍රොයිඩ් කැමරා ෆෝන් ගැන විස්තර

Smartphone Cam

පොකට් කැමරාවක් රැගෙන ෆොටෝ ගහනවාට වඩා ඒ වැඩෙත් ෆෝන් එකෙන්ම කරගන්නට දැන් අපිට පුළුවනි. විශාලතර වෘත්තීයමය කැමරා තරම්ම තියුණු නොවූවත්, සැලකිය යුතු මට්ටමේ සාර්ථක ඡායාරූපයක් ලබාගන්නට අද දවසේ තිබෙන ස්මාට්ෆෝන් අපිට උපකාර කරනවා. ස්මාට් ෆෝන් කියන්නේ පසුගිය දශකයක කාලසීමාව තුළ වේගයෙන්ම දියුණු වූ තාක්ෂණික අංගයක්. මුල් කාලයේදී යාන්තම් සේයාවක් පමණක් ලබා දුන්නත්, අද වනවිට ෆෝන් කැමරාව තරමක වෘත්තීයමය වැඩකට වුවත් යොදාගන්නට පුලුවන් කැමරාවක් බවට පත් වෙලා…

 

ටෙක්නිකල් ස්පෙක් සහ ෆොටෝ

අපි ෆොටෝවක් හොඳද නරකද කියා බලන්නේ මූලිකව ඇස් දෙකෙන් එය නැරඹීමෙන්. ඇතැම් විට ඉතා ඉහළ තාක්ෂණයන් යටතේ නමගිය සමාගම් වල ආධාර උපකාර ඇතිව ෆෝන් කැමරාව නිම වුවත්, ඒ සෑම අවස්ථාවකදීම කැමරාවෙන් එන ෆොටෝ වල අගය වැඩිවන්නේ නැහැ. මාකස් බ්‍රවුන්ලී ගේ අලුත්ම වීඩියෝව හරහා ඉතා උසස් කැමරාවක් ඇතැයි කියා උදම් අනන හුවාවේ P20 වලට වඩා ඇපල් සහ ගූගල් පික්සල් හි කැමරා ඉදිරියෙන් ඇති බව පෙන්නුම් කරනවා.

 

1. හුවාවේ P20 (Huawei P20)

චීනයේ නිපදවෙන හුවාවේ චීනයේදී දෙවනි වන්නේ සුප්‍රකට සයෝමි (Xiaomi) සමාගමේ ස්මාට්ෆෝන් වෙළඳපොළට පමණයි. හුවාවේ මගින් සුපිරි පහසුකම් තිබෙන ස්මාට්ෆෝන් අපේ අතේ ඇති මුදලට ලබාගත හැකියි. හුවාවේ සමාගමේ අලුත්ම P20, කැමරා පහසුකම ගැන අලුත්ම මානයකින් සිතූ කැමරා ෆෝන් එකක්. මේ P20 කැමරාවේ ප්‍රධාන කැමරාව සිදුරු තුනකින් පැමිණෙනවා. ඒ කියන්නේ මූලික කැමරාව වස්තුවෙන් එන ආලෝකය සිදුරු තුනක් හරහා ෆෝන් එක තුළට ලබාගෙන ෆොටෝ එකක් ජෙනරේට් කරනවා. මේ හරහා විශාලන අගය මෙගාපික්සල් 40ක් තරම් ඉහළ අගයක ෆොටෝ ලබාගන්නට හුවාවේ P20 හරහා හැකියාව ලැබී තිබෙනවා.

 

2. නෝවා 2 අයි (Nova 2i)

නෝවා 2 අයි කියන්නේ ලංකාවේ මැද මට්ටමේ අය අතරත් ජනප්‍රියම හුවාවේ ෆෝන් එකක්. අඟල් 6ක ස්ක්‍රීන් එකකින් එන හුවාවේ නෝවා 2 අයි හි ඉදිරිපස සෙල්ෆි කැමරාවටද කැමරා දෙකක් එනවා. ඒ අනුව සෙල්ෆියකිනුත් මූලික කැමරාවේ වගේම සරු ෆොටෝවක් ලබාදෙනවා හුවාවේ නෝවා 2 අයි වලදී. ලංකාවේ දී රු 30,000ත් 40,000ත් අතර මිලකට මිලදී ගත හැකි හුවාවේ නෝවා 2 අයි ජනප්‍රිය වන්නට එහි සුපිරි කැමරාව ද හේතුවක් වුනා.

 

3. සැම්සුන් ගැලක්සි S9 සහ S9+ (Samsung Galaxy S9 and S9+)

සැම්සුන් ගැලක්සි කියන්නේ සෑම කාලයකදීම ඇපල් ස්මාට්ෆෝනයට පසුව ජනප්‍රියතම ස්මාට්ෆෝනයක් බවට පත් වූ ෆෝන් එකක්. ගැලක්සි S9, S9+ හි ඇති ස්ලෝමෝෂන් විශේෂාංගය බොහෝ ගැලක්සි හිතවතුන් සතුටට පත් කල විශේෂාංගයක් වුනා. සැම්සුන් ගැලක්සි S9+ කියන්නේ සැම්සුන් පරම්පරාවේ තිබෙන ඉහළම ස්මාට්ෆෝනය. ඉතිං සාමාන්‍යයෙන් නූතන ෆෝන් කැමරාවක තිබෙන සියලුම විශේෂාංග පාහේ සැම්සුන් ගැලක්සි S9 සහ S9+ වලට ඇතුළත් වෙනවා.

 

4. සැම්සුන් ගැලක්සි J7 හා A8 (Samsung Galaxy J7 and A8)

 

ලංකාවේ මැද මට්ටමේ ස්මාට්ෆෝන් අතර ජනප්‍රියම ගැලක්සි J ෆෝන් එකේ අලුත්ම 2018 ෆෝන් එක සුපර් ඇමොලෙඩ් ඩිස්ප්ලේ එකකින්ද සමන්විත වෙනවා. මේ ගැලක්සි J7 හි තිබෙන්නේ සිංගල් කැමරා එකක් වුවත් එය ප්‍රබල එකක්. ගැලක්සි S සීරීස් එක තරම් මිල අධික නොවූ ගැලක්සි A සීරීස් එකත් සැම්සුන් හිතවතුන් අතර ජනප්‍රියයි. ඇපල් ෆෝන් එකේ ප්‍රමාණයට හැඩයට මදක් නෑකම් කියන ඒ ෆෝන් එක ජලරෝධී නිසා වතුර යට සිටද ෆොටෝ ගන්නට හැකියි.

 

5. නොකියා 6 (Nokia 6)

නොකියා ගූගල් සමග යාවීමත් සමග පැමිණි නොකියා 6, මැද මට්ටමේ ස්මාට්ෆෝන් ලෝලීන් අතර ජනප්‍රියතම වූ ෆෝන් එකකි. නොකියා 6 කෙතරම් ජනප්‍රියද කිවහොත් නොකියා අලුත් මාදිලියක් හඳුන්වා නොදී නොකියා 6.1 ලෙස නව නොකියා 6 මාදිලිය හඳුන්වා දී තිබෙනවා. නොකියා කියන්නේ ඒ කාලේ අත්දැකීම් අනුව නම් ගලේ ගැහුවත් වැඩ කරන ෆෝන් එකක්. සුපිරි ඩුවල් කැමරාවකුත් එක්ක එන නොකියා 6 කැමරාවත් ඒ පරාසයේ මොබයිල් ෆෝන් අතර තිබෙන හොඳම ෆෝන් කැමරාවක්.

 

6. සයෝමි මී ඒ 1 (Xiaomi Mi A1)

ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙනස් කොට, චීනයට සරිලන ලෙස වෙනමම ස්කින් එකක්ද ඇතුළත් කර ෆෝන් නිපදවන්නට සයෝමි සමාගම එදා පටන්ම ක්‍රියා කලා. ඒ නිසා එවකට ගිය ඇතැම් මත ගැටුම් හේතුවෙන් සයෝමි සමාගමට ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කරන්න හැකි වෙයි කියා කවුරුත් සිතුවේ නැහැ. එත් සයෝමි ඒ අභියෝගය තරණය කලා. සයෝමි සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක වන Mi A1 ලංකාවේද, මැද මට්ටමේ ස්මාට්ෆෝන් භාවිතා කරන අය අතරද ජනප්‍රිය වුනා.

Mi A 1 ඩුවල් කැමරා තාක්ෂණයෙන් සවිමත්. Mi A 1 හිදී වර්ණ මදක් පැහැයෙන් වැඩි ආකාරයක් දිස්වුනත්, සමස්ථයක් ලෙස කැමරාව හොඳ මට්ටමක තිබෙනවා. සයෝමි භාවිතා කරන හිතවතුන් දැන් දැන් ලංකාවේද තරමක් වැඩිවෙමින් පවතිනවා. අලුත්ම රෙඩ්මි නෝට් 5 ෆෝන් එකත් Mi A 1 වගේම කැමරාවෙන් ටිකක් බලගතු එකක්. අතේ තිබෙන ගාණට සුපිරි කැමරාවක් සහ ඉහළ මට්ටමේ ෆෝන් ලබාදෙන සයෝමි ඉන්දියානුවන් අතරද දැන් දැන් ජනප්‍රිය වී තිබෙනවා.

 

කැමරාව අවබෝධ කරගැනීම

එක් එක් ෆෝන් කැමරා ගත් කල ඒවාටම ආවේණික වූ යම් යම් ප්‍රබලතා මෙන්ම සුලු සුලු දුබලතාවයන්ද තිබෙනවා. ඇතැම් කැමරාවන් අඩු ආලෝකයට එතරම් කදිම ෆොටෝ ලබාදෙන්නේ නැහැ. එවන් විටකදී ආලෝකය යහමින් ලැබෙන කෝණයකින් ඡායාරූපය ගන්නට උත්සාහ කිරීම වැදගත්. එසේම වර්තමානයේ ගොඩක් ෆෝන් කැමරා වල සෙටින්ස් වෙනස් කොට, අපිට අවශ්‍ය පරිදි කැමරාව සකස් කරගෙන ෆොටෝ ගන්නටද හැකියි. ඒ අනුව ෆෝන් එක පට්ට ෆොටෝ ලබාදෙන කැමරා ෆෝන් එකක් වීම වගේම ටිකක් අවබෝධයකින් ෆොටෝ ගැසීමත් හොඳ ෆොටෝ මතකයන් ලබාදෙන්නට අපිට ගොඩක් උදව් කරාවි.

 

මිල අධිකතර ෆෝන් කැමරාවන් හි ඇති ඉතා සියුම් වෙනස්කම් වලට වඩා, වෙළඳපොළට බැස්සාම අපිට ගන්න හැකි මට්ටමේ කැමරා ෆෝන් ගැන විස්තර ඔබට මේ හරහා ලැබෙන්නට ඇති.

 
Cover Image Source – pinterest.com.au
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *