ජීවත් වුනා ඇති! එහෙම හිතන එකම මරණයට හේතුවක් වෙයිද?

ඔය ආදරේ, ජීවිතේ වගේ වචන එක්කම මරණය කියන එකත් අපිට සෑහෙන්න ඇහෙනවා. ගොඩක් හාදයෝ හාදියෝ මැරෙන්න බය නැහැයි කිව්වට ඇත්තටම මැරෙන්න යන මොහොතක මොන විදියේ හැඟීම් ඇතිවෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ. කොහොම වුනත් එක දෙයක් ස්ථිරයි. අපි හැමෝම මැරෙනවා. මිනිස්සු මැරෙන්න හේතු තියෙනවා. හදිසි අනතුරකින්, සියදිවි නසාගැනීමකින් නැතිනම් ලෙඩදුක් වලින් සිද්ධ වෙන ස්වභාවික මරණයකින් මනුස්සයෙක්ගේ ජීවත් වීම අවසන් වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ජීවත් වෙන්න තියෙන වුවමනාව නැතිවීම නිසා කෙනෙක් නිකම්ම මිය යන්න පුළුවන්ද? විද්‍යාඥයෝ කියනවා එහෙම වෙන්න පුළුවන් කියලා. මේ ඒ ගැන කෙටි විස්තරයක්.

 

1. ඔවුන්ට තවදුරටත් ජීවිතය වුවමනා වුනේ නැහැ!

Image Source – inverse.com

මේ කතාව කියන්නේ එක්සත් ජනපදයේ හමුදා මේජර්වරයෙකු වෙන හෙන්රි ඒ. සීගල් විසින්. ඔහු කියන විදියට කොරියානු යුද්ධය අතරතුරේදී යුධ සිරකඳවුරු වල බොහොම අමුතු රෝග ලක්ෂණයක් දකින්න ලැබෙනවා. මේ සිරකරුවන් ආහාර ගැනීම නවතා දමනවා. මේ අය සීතල වතුර ටිකක් විතරයි බොන්නේ. ඒ වගේම මේ අය කතාබහ කිරීම, අනාගතය ගැන හිතීමත් නවතා දමනවා. කාලය ගතවීමත් එක්ක මේ අය සම්පූර්ණයෙන්ම අවට ලෝකය එක්ක සම්බන්ධතා නවතා දමනවා. මේ අයගේ චලනය පවා නවතිනවා. අවසානයේදී පළමු රෝග ලක්ෂණය පහළ වී සති දෙකක් තුනක් අතරතුරදී මේ අය මිය යනවා.

මේ කියපු කතාවේ යම් යම් ගැටළුකාරී තැන් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ආහාරපාන ගැනීම නවත්වා දමන මනුස්සයෙක් කොහොමටත් මේ විදියේ ලක්ෂණ පෙන්නුම් කරලා මියයනවා. හැබැයි මෙතන විශේෂත්වය වෙන්නේ මේ සිරකරුවන් පැහැදිලිවම තමන්ට ජීවිතය අවශ්‍ය නොවන බව පෙන්වීමයි.

 

2. ජීවිතය අත් හැරීමේ සංසිද්ධිය

Image Source – johnsaguardo.wordpress.com

 

මේ මනුස්සයෙක් ජීවිතය අත් හැරීමෙන් මිය යෑම ගැන වැඩිදුර පර්යේෂණය කරලා වැඩි විස්තර හොයාගන්නට පර්යේෂකයෝ පිරිසක් සමර්ථ වෙනවා. මේ කණ්ඩායම මෙහෙයවන්නේ එක්සත් ජනපදයේ පෝස්ට්මවුත් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ජෝන් ලීච් විසින්. ඇත්තටම මේ වගේ දෙයක් ගැන මුලින්ම සිද්ධ වෙච්ච පර්යේෂණය තමයි මේ. මේ සංසිද්ධිය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්න පාවිච්චි කරපු ආකාරය තමයි psychogenic death නැතිනම් මනෝජ මරණය කියන එක. හැබැයි මේක සරලව give-up-it is කියලා තමයි හැඳින්වෙන්නේ.

මේ පර්යේෂණයේ විදියට කෙනෙක් මේ තත්ත්වයට පත් වෙලා දින කිහිපයක්- හරියටම කිවුවොත් දින තුනක් වගේ සුළු කාලයක් ඇතුළත මරණය වැළඳගන්න පුලුවන් කියලා තමයි කියන්නේ. එතකොට අපිට තවදුරටත් කියන්න බැහැ නොකා නොබී හිඳීම තමයි මරණයට හේතුව කියලා. මේ පර්යේෂකයෝ කියන විදියට ජීවත් වීමට තවදුරටත් වුවමනාවක් නැතිය කියන මානසික සංසිද්ධිය නිසා මනුෂ්‍ය ශරීරය මිය යනවා!

 

3. කම්පනයකට පසු…

Image Source – earth.com

මේ පර්යේෂක කණ්ඩායම කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් හිටිවනම මේ තත්ත්වයට පත් වෙනවා කියලා නෙවෙයි. මේ අය කියන විදියට මේ කියන psychogenic death තත්ත්වයට උත්ප්‍රේරකයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ ජීවිතයේ ඇතිවෙන ප්‍රබල ක්ෂිතිමය කම්පනයක්. අපි හිතමු අපිට තවදුරටත් ජීවත් වෙලා තේරුමක් නැහැයි කියලා දැනෙන විදියේ මානසික කම්පනයක් ගැන. අපිට තවදුරටත් ගැලවෙන්නට බැහැයි කියලා හිතෙන විදියේ කම්පනයක් ගැන. මේ වගේ තත්ත්වයකදී අපිට ජීවිතය සම්බන්ධයෙන් තියෙන සියලුම බලාපොරොත්තු නැති වෙලා යනවා. එතකොට අපිට ඉතිරි වෙන්නේ ජීවත් වෙන එක නවත්තන එක විතරයි!

 

4. වෛද්‍ය විද්‍යාත්මකව…

Image Source – metro.co.uk

මේ psychogenic death පර්යේෂණය දියත් කරපු වෛද්‍ය ලීච් සහ කණ්ඩායම හිතනවා මේ කියන තත්ත්වයට හේතු වෙන්නේ අපේ මොළයේ තියෙන frontal-subcortical circuit කියලා හැඳින්වෙන මණ්ඩලයක් වන anterior cingulate circuit කියා හැඳින්වෙන මණ්ඩලයේ වෙනස් වීමක් නිසා කියලා. අපිට මේ ගැන වෛද්‍ය විද්‍යාත්මකව තේරුමක් නැති වුනාට වෛද්‍ය විද්‍යාව ගැන ගැඹුරු දැනීමක් තියෙන කෙනෙක්ට මේ කියන කතාව පහසුවෙන් තේරුම් යයි. කොහොම හරි මේ මණ්ඩලය මගින් මනුස්සයෙක්ගේ මෝටිවේෂන් එක නැතිනම් දෙයක් කරන්න තියෙන පෙළඹවීම වගේම මනුස්සයෙක් ඉලක්ක හඹා යන ගති ලක්ෂණය පාලනය කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් ජීවිතයේ අරමුණු ඉෂ්ට කරගැනීම හෝ ඒකට තියෙන පෙළඹවීම නැති වෙනවා කියන්නේ, මනුස්සයෙක්ට බොහොම පහසුවෙන් ජීවත් වීමේ ආශාව නැතිවෙනවාය කියන එකයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.

 

5. අවධි පහක්

දොස්තර ලීච් කියන විදියට මේ මරණයෙන් කෙළවර වෙන මානසික පිරිහීමට ක්‍රම ක්‍රමයෙන් හේතු වෙන අවධි පහක් තියෙනවා.

  • සමාජයෙන් ඉවත් වීම – සාමාන්‍යයෙන් ප්‍රබල මානසික කම්පනයකට පස්සේ ඒ කම්පනය එක්ක හැඩගැසීමේ විදියක් තමයි සමාජයෙන් ඉවත් වෙලා හුදෙකලා වීම. මේක බොහොම නිශ්ක්‍රීය අවධියක් වෙන අතර, මේ තත්ත්වයට පත් වෙන කෙනා සමාජ සම්බන්ධතා වලින් ඉවත් වෙලා, හැඟීම් වලින් තොර වෙලා, උදාසීන, උපේක්ෂා සහගත තත්ත්වයකට පත් වෙලා තමන්ටම විතරක් සීමා වෙන්න තමයි ඉඩ තියෙන්නේ.

 

  • මන්දෝත්සාහීත්වය – මේ දෙවෙනි අවධියට පත් වෙන කෙනෙක් බොහොම දරුණු විදියට උකටලී බවක්, කිසිම ශක්තියක් නැති බවක් පෙන්නුම් කරනවා. ඒක හරියට තවදුරටත් තමන්ගේ පැවැත්ම ‍රැක ගන්න වුවමනා නැහැ වගේ දෙයක්. මේ අවධියේදී එදිනෙදා වැඩකටයුත්තක් ගැන වුනත්, ජීවිතයේ ඉදිරිය ගැන වුනත් කිසිම දෙයක් කරන්න කිසිම උත්සාහයක් ගන්නේ නැති බව තමයි පේන්නේ. අඩු ගාණේ නාන, ඇඟක් පතක් සෝදන එක පවා මේ අවධියේදී අත හැරෙනවා.

 

  • අබල්‍යතාවය – මේ තත්ත්වයට පත් වෙන පුද්ගලයෙක්ගේ ජීවිතයේ කිසිම දෙයක් කරන්න තියෙන පෙළඹවීම දරුණු විදියට නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි, කිසිම හැඟීමක් හෝ හැඟීම් සඳහා ප්‍රතිචාරයක් නොදක්වන, කිසිම භාවවේගයක් නැති තත්ත්වයකට පත් වෙනවා. මේ අවධියේදී මේ අයට තමන් හෝ වෙනත් කෙනෙක් වෙනුවෙන් කිසිම දෙයක් කරන්න වුවමනාවක් ඇති වෙන්නේ නෑ. මේ අය සම්පූර්ණයෙන්ම තමන්ටම සීමා වෙන අතර, කතාබහත් සම්පූර්ණයෙන්ම නවතිනවා.

 

  • මානසික අචල්‍යතාව – මේ අවධියට පත් වෙන පුද්ගලයාට තවමත් සිහිය තිබුණත්, අතිශයින්ම දරුණු ලෙසින් තමන්ටම සීමා වෙලා, මන්දෝත්සාහී වෙලා ඉන්නේ. ඒ කියන්නේ කෙනෙක් ඇවිත් මේ අයට මොන තරම් දරුණු ශාරීරික වේදනාවක් ඇති කළත් මේ කෙනා හෙල්ලෙන එකක්වත් නෑ. පරීක්ෂකයෝ කියන විදියට මේ අවධියේ ඉන්න පුද්ගලයෙක් තවදුරටත් තමන් සම්බන්ධයෙන් ඉතාම සුළු හෝ සැලකීමක් දක්වන්නේ නෑ. බොහෝ විට තමන්ගේම මළමූත්‍ර ගොඩේ වැතිරගෙන මරණය එනකල් ඉන්න එක තමයි සිද්ධ වෙන්නේ.

 

  • මනෝජ මරණය – මේ තමයි අවසන් අවධිය. මේ අවස්ථාවට පත් වුණු කෙනෙක් සම්පූර්ණයෙන්ම ජීවිතය අත් හැර දාලා අවසන්. මේ කෙනා එහෙමම මිය යන එක තමයි වෙන්නේ. මේ අවධියේ ඉන්න කෙනෙක්ව මරණයෙන් බේරාගන්න කිසිම දේකින් හැකියාව ලැබෙන්නේ නෑ.

 

6. අපි මේ ගැන මොනවද හිතන්නේ?

Image Source – westmauicounseling.com

ඇත්තටම මේක තමයි වැදගත්ම ප්‍රශ්නය. ජීවිතය මේ විදියට අත් හැර දැමිය යුතුද? ඒ කියන්නේ ජීවත් වීම අවශ්‍ය නොවෙන තැනට එන්න සිද්ධ වෙන විදියේ මොන වගේ කම්පනයක් යටතේ වුනත් ජීවිතය අත් හැර දමන්න වුවමනායිද? මේක ඇත්තටම යුග ගණනාවක් තිස්සේ දාර්ශනික වාදවිවාදයන්ට තුඩු දුන් අදහසක්.

හැබැයි අපිට එක දෙයක් කියලා මේ ලිපිය අවසන් කරන්න පුළුවන්. ජීවිතේ අපි හිතනවට වැඩියෙන් වටිනවා. ජීවත් වීමේ ඵලේ මොකක්ද කියලා අපිට දැනෙන මොහොතකට ආවත්, තවදුරටත් ජීවත් වෙන්න කිසිම හේතුවක් නෑ කියලා හිතෙන මොහොතකට ආවත් අපිට ඇත්තටම ජීවත් වෙන්න හේතුවක් හොයාගන්න පුළුවන්. ඒ මොහොතේදී අපිට ජීවත් වෙන්න හේතුවක් නොපෙනුනත්, ඇත්තටම අපි ජීවත් විය යුතුයි. අපේ ජීවිතේ වටිනවා. අන්න ඒ මොහොතේදී අපි වෘත්තිය උපදේශන සහාය ලබාගැනීම වැදගත්.

 

ඔබට උපකාර අවශ්‍ය මොහොතක කථා කළ යුතු හදිසි උපකාර අංකයන් මේවායි.

CCCline – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0112696666

Cover Image Source – johnsaguardo.wordpress.com

 

 

Leave a Reply

Your email address will not be published.