කොම්පියුටර් පාවිච්චි කරන්න ගත්ත මුල් කාලේ තිබ්බ මේ ආතල් මතකද?

දැන් කල්පනා කරල බලද්දි කොම්පියුටර් කියන වචනෙ යල් පැන ගිය වචනයක් හැටිය​ට දැනුනට, මීට දශක දෙකකට විතර උඩදි ඉස්කෝල යන වයසෙ හිටපු කොල්ලො කෙල්ලො වුණු අපිට තිබ්බ ලොකුම හීනයක් සහ මැජික් එකක් තමයි මේ කොම්පියුටරය. වත්තෙ පිටියේ, වෙල් යායේ කෙළි සෙල්ලම් කරපු අවසාන පරම්පරාව සහ කම්පියුටර් භාවිතා කරන්න ගත්ත මුල්ම පරම්පරාව වෙච්ච අපේ ඉපැරණි කම්පියුටර් මතක ගැන තමයි මේ කියන්න හදන්නෙ.

 

1. කොම්පියුටරයක් තියන එකා පොරක්!

දැන් වගේ නෙමෙයි ඒ කා​ලේ කම්පියුටරයක් ගන්නවා කියන්නෙ ලොකු ගේමක්. ගොඩක් වෙලාවට යාළු​වො සෙට් එකක එකෙක්ට දෙන්නෙක්ට තමයි කම්පියුටරයක් තිබ්බෙ. ඒ නිසා කම්පියුටරයක් තියන එකාට සෙට් එකේ විශේෂ තැනක් හිමි වුණා. ​පොර​ගෙ කාමරේ තමයි කොල්ලො කට්ටිය සෙට් වෙන්න තෝරගන්නෙත්. මොකද ගේම්ස් ගහන්න, ෆිල්ම් බලන්න වගේ හැම ආතල් එකක්ම ගන්න පුළුවන් පුදුමාකාර යන්තරයක්නෙ මේ කොම්පියුටරය. 

මුල් කාලේ ඉතින් පෙන්ටියම් 2 මෙගාහර්ස්ට් 800 වගේ කම්පියුටරයක් කියන්නෙත් වටිනා වස්තුවක්. ගිගාබයිට් 2 විතර හාර්ඩ් ඩිස්ක්වලින් තමයි පටන් ගත්තේ. පස්සේ කාලෙක ඉතින් පෙන්ටියම් 4 ආවම ඒ කම්පියුටර් ගත්ත උන් අඩි ගාණක් විතර උඩින් තමයි ගමන් ගත්තේ.

 

2. ගේම්ස්

ඒ කාලේ තිබ්බ ගේම්ස්වලට දැන් කාලේ එව්වා එක්ක ග්‍රැෆික් අතින් එහෙම හැරෙන්නවත් බැහැ තමයි. හැබැයි අපි ඒ සරළ ගේම්ස්වලින් ගත්ත ආතල්වල නම් අඩුවක් තිබ්බෙ නෑ. ‘ප්‍රින්ස්’, ‘ඩේන්ජරස් ඩේව්’, ‘පැක්මෑන්’ වගේ ඩොස් ගේම්ස්වලින් පටන් අරගත්ත අපි හැමෝගෙම වගේ කම්පියුටර්වල තිබ්බ ගේම්ස් දෙකක් තමයි ‘ඇලඩින්’ සහ ‘ලයන් කිංග්’. තව ‘හර්කියුලීස්’ ගේම් එකත් ඒ කාලෙ ජනප්‍රිය එකක් වුණා. ‘මෝර්ටල් කොම්බැට්’, එහෙමත් නැත්නම් MK4 කියන්නෙත් කීබෝඩ් විනාස කරපු ගේමක්. පස්සෙ පස්සේ ටික ටික ග්‍රැෆික් සහ ගේමිං කොලිටි වැඩි වෙන්න පටන්ගත්තා පෙන්ටියම් 4 විතර වෙද්දි. EA Cricket, IGI, Hitman, GTA Vice City වගේ ගේම්ස් එන්න පාර කැපුණේ ඔන්න ඔය විදිහට තමයි.

 

3. හාඩ් ගැලවිල්ල

ඒ කාලේ ඉතින් ෆ්ලොපි ඩිස්ක් සහ සීඩී රොම් එක තමයි කම්පියුටරේට පිටතින් දත්ත ඇතුළු කරන්න තිබ්බ මාර්ග දෙක. ඒත් ඉතින් ලංකාවෙ අපි හරි වෙනස් ජාතියක් නිසා අපි ඉති​ං කෙලින්ම හාර්ඩ් ඩිස්ක් ග​ලෝගෙන තමයි ඩේටා ට්‍රාන්සර් කරගන්න ගියේ. තවත් කම්පියුටරයක් තියන යාළුවෙක්ගෙ ගෙදර ගිහින් ඒ යාලුවගෙ මැෂිම මස් කරලා, අපේ හාඩ් එකේ මාස්ටර් ස්ලේව් ජම්පර් වෙනස් කරලා හාඩ් එක ඩිටෙක්ට් කරවගන්න එකම එක්තරා කලාවක්. ඒ කාලෙ ඉතින් ඔය නෝටි සීන් ටිකක් ඇරුනහම මහ ලොකුවට ෆිල්ම් හුවමාරු කරගන්න තරම් හාඩ් වල ඉඩ නැහැ. ඒ නිසා අපි අතර ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබ්බෙ ෆනී ඇඩ් වීඩියෝස්, මිනි ක්ලිප්ස්, මිනි ක්ලිප් ​ගේම්ස් සහ ලස්සන ලස්සන පින්තූර සීන් තමයි.

 

4. සින්දු සහ ප්ලේයර්ස්

දැන් වගේ යූටියුබ් එහෙම ජනප්‍රිය නැති ඒ කාලේ මොනවා නැති වුණත් හොඳ සින්දු කලෙක්ෂන් එකක් නම් ඕනෙම කම්පියුටරයක් තිබ්බා. සිංහල, හින්දි, ඉංග්‍රීසි, රොක් මියුසික් වගේ තම තමන්ගෙ ප්‍රිය මනාපකම්වලට අනුව ෆෝල්ඩර් වෙන් කරගෙන සින්දු බොහොම පිළිවෙළට අපි පවත්වාගෙන ගියා. මේවා ප්ලේ කරපු අමරණීය ප්ලේයර් එක තමයි ‘Winamp එක’. මේකේ අපිට ඕනෙ විදිහට සවුන්ඩ් සෙටිංග්ස් වෙනස් කරන්න, ලස්සන ලස්සන ස්කින්ස් වෙනස් කරලා පෙනුම ලස්සන කරගන්න වගේ ආතල් ගොඩක් තිබ්බා “Winamp, it really whips the llama’s ass!” කියලා තමයි මේ ප්ලේයර් එක වැඩ පටන් ගන්නෙත්.

මේවාට අ​මතරව Jet Audio, Power DVD වගේ ප්ලේයර්සුත් අපි චිත්‍රපටි සහ සින්දු අහන්න බලන්න පාවිච්චි කළා.

 

5. වැල

මොනවද මේ කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න ඕනෙ නෑනෙ. අපේ කොයි යාලු සෙට් එකෙත් ඉතින් අධික කාමාතුර යාළුවෙක් හිටියා. පොරගෙ වැඩේ ඉතින් දිවා රෑ නොතකා මේ විදිහේ ජවනිකා තියන සීඩී උස්සගෙන එන එක. ඒ මදිවට සමහරු කම්පියුටරේ වාඩි වෙන්නෙත් කොහෙද වැල ෆෝල්ඩරේ කියල අහගෙන. ​​​ගොඩක් වෙලාවට වින්ඩෝස් ඔපරේටිං සිස්ටම් ෆෝල්ඩර් ඇතුළේ තමයි මේ වටිනා ෆෝල්ඩරේ හංගල තිබ්බෙ. වැඩිහිටි පින්තූර ඇල්බම්ස් එහෙමත් ඒ කාලෙ අතිශයින් ජනප්‍රියයි. දැන් කාලේ ඉන්න ළමයි ෆෝල්ඩර් එකක් හයිඩ් කරන හැටි දන්නවද කියලත් අපිට සැක වුණාට, ඒ කාලේ ෆෝල්ඩර්ස් හයිඩ් කරන්න අපි ඉගෙන ගත්තෙත් මේ වැල නිසා තමයි.

 

6. අන්තර්ජාලේ

ඒ කාලෙ ඉතින් අපි අන්තර්ජාලෙට ගොඩ වැදුනේ ගෙදර ටෙලිපෝං ලයින් එකට ගහපු ඩයල් අප් කනෙක්ෂන් එකකින් තමයි. යූසර් නේම්, පාස්වර්ඩ් ගහලා කනෙක්ට් එබුවම ‘කර කර කර කරාං…’ ගාලා කන් කිස් කවන සවුන්ඩ් එකක් දීගෙන තමයි මේ හරහා අපිව ඉන්ටනෙට් කනෙක්ට් වුණේ. ඒ කාලේ තිබ්බ ඩයල් අප් ස්පීඩ් එක කොච්චරද කියනවනම් කිලෝ බයිට් එකසිය ගාණක පින්තූරයක් වුණත් සම්පූර්ණයෙන් ලෝඩ් වෙන්න විනාඩි ගණනක් ගිය අවස්ථා තිබ්බා. සින්දු mp3 එකක් ඩවුන්ලෝඩ් කරනවා කියන්නේ ඉතින් සෑහෙන ගේමක්.

 

7. අන්තර්ජාල වැඩ

ඊමේල් තිබ්බ යාළුවන්ට හරි, අන්තර්ජාලෙන්ම හොයාගත්ත යාලුවන්ට ඊමේල් යවන එක ඒ කාලේ වෙනම ආතල් එකක්. හැබැයි ඉතින් අද ඊමේල් එකක් යැවුවොත් ලබන සතියේ විතර තමයි උත්තර හම්බුවෙන්නෙ. හැබැයි එහෙම පිළිතුරු ඊමේල් එකක් එන එකෙත් ලොකු සතුටක් තිබ්බා. ඒ කාලේ ජනප්‍රියම සර්ච් එන්ජිම වෙච්ච Yahoo! වලින් තමයි වැඩි දෙනෙක් ඊමේල් හැදුවෙ. තව Hotmail එහෙමත් ඒ කා​ලෙ ජනප්‍රිය වෙලා තිබ්බා. ඊට පස්සේ යාහූ චැට් වලට එහෙමත් අපි සෙට් වුණා. ඒකත් වෙනම ආතල් එකක්. අපි කැමති චැට් රූම් එකකට ජොයින් වෙලා එක එක්කෙනාට පුද්ගලික මැසේජ් දාන එක. මුලින්ම අහන්නෙ ASL? කියලයි. ඒකෙන් අදහස් වුණේ Age, Sex & Location කියන එක. මේකට ඉතින් කෙටියෙන් පිළිතුරක් දීල, එහා පැත්තෙන් කතා කරන පුද්ගලයා ගැන අදහසක් අරගෙන තමයි චැට් එක පටන් ගන්නේ. යාහූ වලට අමතරව, එම්එස්එන් චැට් එකත්, ලංකාවෙ කපුටා සහ අනන්මනන් චැට් එහෙමත් පස්සෙ පස්සේ ජනප්‍රිය වුණා.

 

අපි මේ කියපු ආදි කාලීන කම්පියුටර් මතක ඔයාලටත් ඇති. එහෙම ඒවා තියනවනම් අපිත් එක්ක ෂෙයාර් කරගන්න කියලා අපි ඉල්ලනවා…

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *