ලක් ඉතිහාසයේ නොමැකෙන නම් තැබූ ප්‍රකට පෙම්වතුන්

srilankan unforgettable love stories

මිනිසා නැවත නැවත බැලීමට, දැකීමට, විඳගැනීමට ආශා දේ අතර ප්‍රේමයට මහත් වූ තැනක් ලැබේ. එබැවින් වර්ෂ දහස් ගණනාවක් ගියද ඇතැම් ප්‍රේම කතාවෝ අපේ මතකයෙන් ගිළිහෙන්නේ නැත. පරම්පරාවෙන් පරම්පරාවට ජනප්‍රවාදවලින්, වංශකතාවලින් ඒ ඒ ප්‍රේම ජවනිකාවෝ අපේ මනසට සමීප වෙති. වර්තමානයේදී නම් එවැනි ඓතිහාසික ප්‍රේම වෘත්තාන්ත අළලා චිත්‍රපට නිපදවේ, ටෙලි නාටක ඇති වේ. එදාද එසේමය. ප්‍රේමය උදෙසා ඇතැමුන් සිහිවටන තැනූහ, කවි ලිවූහ, කතාන්දර රචනා කළෝය. එවැනි වූ අමරණීය ඉතිහාසයක් ඇති ප්‍රේමණීය ජවනිකා රැසක් අපේ ඉතිහාසයේද සඳහන් වේ.

 

1. විජය කුවේණි කතාව

srilankan unforgettable love stories

Source – hungama.com

විජය රජු මෙරටට ගොඩ බසින විට කුවේණිය නම් යක්ෂ ගෝත්‍රික කාන්තාව හමු වන්නේය. ඇය එවිට කපු කටිමින් සිට ඇත. ඉතිහාස කතා වලට අනුව කුවේණියට පියයුරු 3කි. සත් සියයක් තරුණයින් සමග නැව් නැග මෙරටට වැදුණු විජයට කුවේණිය ගැන සිතක් පහළ විය. ස්වකීය යක්ෂ ගෝත්‍රිකයින්ටම එරෙහි වූ කුවේණිය, සිය යක්ෂ ගෝත්‍රික පාලනය බිඳ හෙලා රජ වීමට විජයට අවකාශ සලසා දෙන්නීය. විජයගේ ප්‍රේමයෙන් කුවේණියට දරුවන් දෙදෙනකු ලැබුන මුත් පසුව රාජ ඌෂ්ණයට අනුව වෙනස් වුණු විජය රජු නැති ශෝකයෙන් කුවන්ණාව කුරුණෑගල යද්දෙස්සාගලින් පැන සියදිවි හානිකරගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

වෙනමම ආකාරයකට කුවේණිය දකින චරිත සහ රිද්ම

 

2. දීඝගාමිණී සහ උන්මාද චිත්‍රා

srilankan unforgettable love stories

Source – senarath.deviantart.com

උන්මාද චිත්‍රාට එක්ටැම් ගෙයක සිය යොවුන් විය ගෙවන්නට සිදු විය. එසේ වූයේ දෛවඥයින් විසින් ඇගේ දරුවා මාමාවරුන් මරා රජවන බව කී නිසාය. දීඝගාමිණී නම් කුමරුට එක්ටැම් ගෙය තරණය කර, චිත්‍රාවන් රාජකීය නෙත් වලින් සැඟවී හමුවන්නට හැකි විය. එහෙත් වැඩි දවස් යන්නට මත්තෙන් හටගත් දරුගැබ සඟවන්නට නොහැකි විය. අවාසනාවකි, උපදින්නේ පිරිමි දරුවෙකි. කුමරිය උපායෙන් ගැහැණු දරුවෙකු හා මාරු කොටගෙන පිරිමි දරුවා දොරමඬලාව නැමැති ගමට පිටත් කර හැරියේ දාසියකගේ පැස තුළ කිරිකැටි දරුවා හොවාලමිනි. අවසන දෛවඥයින් කියූ පරිදිම ඒ දීඝගාමිණී සහ උන්මාද චිත්‍රාගේ ප්‍රේමයේ අග්‍රඵලය වූ අභය කුමරු, පණ්ඩුකාභය නමින් අනුරාධපුරයේ මුල්ම රජ බවට පත් විය.

බෙග් ගයන මෙම ගීයෙන් ගාමිණී හා චිත්‍රා ගේ දුක තදින්ම කියාපායි

 

3. සාලිය අසෝකමාලා

srilankan unforgettable love stories

Source – geenibot.blogspot.com

වසර 44ක් පුරා අනුරපුර රාජධානියේ රාෂ්ට්‍ර පාලනයක් ගෙනගිය එළාර නසා තුන් සිංහලය එක්සත් කරන්නට ගැමුණු කුමරුට හැකිවිය. ඔහුගේ පුතා සාලිය කුමාරයාය. එහෙත් සාලියගේ මව ගැන වැඩිමනක් විස්තර වංශකතාවල නොදැක්වේ. අඩුකුලයේ තරුණියක වූ අසෝකමාලා මල් නෙලන අතර සාලියට හමු වේ. ඔවුන්ගේ ප්‍රේමය බුරා බුරා නැග එද්දී එයට කුලය හෝ රජ කිරුළ බාධාවක් කරගන්නට කුමාරයා අකමැති විය. සාලිය අසෝකමාලා විවාහ වූහ. ඔවුන් දුටුගැමුණු රජුගේද ආශිර්වාද ඇතිව මියෙන තෙක් සතුටින් දන් පින් හි නිරත වෙමින් සිටි බැව් වංශකතාවේ සඳහන් වේ. එහෙත් දුටුගැමුණුගෙන් අනතුරුව සද්ධාතිස්ස සහ ඒ පරපුර රජවූවා යැයි සඳහන් වන මුත් සාලිය කුමරුට රජකම හිමි වූයේ නම් නැත.

අසෝකමාලා ගැන කියවෙන ගීතයක්

 

4. සූරිය දේවී සහ වීදිය බණ්ඩාර

srilankan unforgettable love stories

Source – commons.wikimedia.org

වීදිය බණ්ඩාර සොළොස් හැවිරිදි ටිකිරි කුමරුගේ උපායකින් මායාදුන්නේ රජුට හසුවිය. වීදිය බණ්ඩාර මායාදුන්නේ රජුගේ සිරභාරයේ සිටිද්දී ටිකිරි කුමරිය හෙවත් සූරිය දේවිය වීදිය බණ්ඩාර හා පෙමින් වෙළුණි. මලනුවන් වූ ටිකිරි කුමරා තරම්ම දක්ෂයෙකු නොවූවද, මායාදුන්නේ ගේ දියණිය වූ සූරිය දේවිය යම් පමණක රණ කෙළියේ දක්ෂ දියණියක විය. වීදිය බණ්ඩාර මායාදුන්නේ රජුගේ විලංගුවලින් නිදහස් වූයේ ටිකිරි කුමරියද රැගෙනය. පසු කලෙක පෘතුගීසින්ගේ කොළඹ කොටුවේ දඟ ගෙයක සිරබත් කන්නට වීදිය බණ්ඩාරට සිදු විය. එවිට සිය පියා වූ මායාදුන්නේ ගෙන් උදව් ඉල්ලූවද ඔහුගේ ප්‍රධාන සෙන්පති වන ටිකිරි කුමාරයා එයට කැමති වූයේ නැත. එහෙත් මායාදුන්නේ විසින් සපයාදුන් උමං කනින පිරිසක් හා එකතුව උමඟක් ඉදිකර, උමඟකින් වීදිය බණ්ඩාර සිරගෙයින් නිදහස් කරගන්නට සූරිය දේවිය සමත් විය. වීදිය බණ්ඩාර සැහැසි දරුණු මිනිසෙකි. එහෙත් සූරිය දේවිය හැකි සෑම විටකම සිය සැමියා ආරක්ෂා කරගන්නට සමත් විය.

 

5. දස්කොන් ප්‍රමිලා

srilankan unforgettable love stories

Source – youtube.com

සිංහලයේ අවසාන රජු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වේ. ඔහුගේ සේනාවේ දස්කොන් නමින් පෘතුගීසි- ප්‍රංශ සම්භවයක් සහිත හැඩි දැඩි සෙනෙවියෙක් විය. දස්කොන් හා ප්‍රමිලා බිසව අතර ආදරයක් හටගන්නට විය. නිතර මාලිගය අවට ගැවසීමට දස්කොන් වැනි සෙන්පතිවරුන්ට අවස්ථාව සැලසුණි. ශෘංගාරාත්මක කවියෙන් බිසවුන් ඇද බැඳ තබාගන්නට සමත් වූ දස්කොන් කෙරේ සැබැවින්ම ප්‍රමිලා බිසවගේ සිත ඇලෙන්නට ඇත. ප්‍රමිලා බිසවට රෝගයක් ඇති විය. ඉන් පසු එයට පිලියම් ලෙස බිසවගේ රූපයට සමාන බලියක් ඇඹීමේදී දස්කොන් විසින් බිසවගේ රහස් තැනක වූ ලපයක් පෙන්වීම දස්කොන්ගේ දිවි හමාර වීමට හේතු විය. සැබැවින්ම ඒ පුරාණ විශ්වාසය අනුව බිසවගේ රුවට සමාන රූපයක්ම ඇඹීමට නම් බිසවගේ සියලු අඟපසග ඒ අයුරින්ම තිබිය යුතුයැයි දස්කොන් තෙමේ ප්‍රේමයෙන් මත්ව සිතන්නට ඇත. ශෝකයකි. ඔහුගේ උතුරා ගිය ප්‍රේමය නිමාවූයේ ඔහුගේ මරණයෙනි.

නීලා සහ අමරදේවයන් දස්කොන් පෙම් පුවත අළලා ගායනා කරන ගීයක්

 

6. ගජමන් ඇලපාත

srilankan unforgettable love stories

Source – plus.google.com

රති රුති ළඟ ලියනි අප අසන පැනැකිය

නැති විය බාල කාලේ සිට රති කෙළිය

ඇතිවිය දැන් මෙම ට සිල් රැකපු අවදිය

රතිසැප විඳින හැටි මට කියව ළඳ ලිය

(තේරුම :- ලිංගික සැප ගත් කාන්තාවනි. අපි ඔබගෙන් අසන ප්‍රශ්නයකි. අපිට (ශ්‍රමණ හෙයින්) බාල කාලයේ සිට ලිංගික සුව නැතිය. මට දැන් සිල් රැකපු කාලය ඇතිය. ඒ නිසා ලිංගික සුව කෙසේ වේදැයි කියනු මැන)

ඇලපාත යනු එකල සිටි භික්ෂුවකි. ඉහත කවිය එසේ භික්ෂුවක්ව සිටි ඇලපාත විසින් ගජමන් නෝනාට කියන ලද්දකි. උන්වහන්සේ සිවුරේ සිටියදීම ගජමන් නෝනා දැක ලොල් වී, ඇයට කවි පබඳින්නට විය. ඊට ස්වල්ප කාලයකින් අනතුරව ඇලපාත සිවුර පසෙකලා ගිහි දිවියට පැමිණ, ඇලපාත මුදලිඳු ලෙස ලන්දේසි ආණ්ඩුවේ තානාන්තරයක් ද ලබා ගත්තේය.

වහා තිබූ සළුව උනමින් කර අහකා

රහා පෙම අමුතු බොජුනකි බුදින ලකා

පැහා නොව හඬන කොවුලිඳු හැඩ වලකා

කහා කොටන වැනි ඉඳගෙන මිරිස් කකා

යනුවෙන් පෙර කවියට පිළිතුරු කවියක්ද ගජමන් විසින් ඇලපාතට යවන ලදී. එසේ කාලයක් පුරා ගජමන් ඇලපාත කවි පෙම් සටන අලු යට ගිනි පුපුරු මෙන් ඇවිලෙන්නට විය. දරුවන් සිව් දෙනෙකුගේ මවක වූ ගජමන් නෝනා නේක වර්ණනාවෙන් විස්තර කරන්නට ඇලපාතගේ ප්‍රේමය සමත් විය. ඇයගේ පිළිතුරු කවි වලින් පෙනී යන්නේ ඇය සම්බන්ධ වර්ණනා වලට ආඩම්බර වුවද, ඇලපාතගේ පෙම් යෝජනා වලට ගජමන් නෝනා අවනත නොවූ බවකි. කෙසේ වෙතත් ඒ ප්‍රේම වෘත්තාන්තය සම්පූර්ණ වූවාද නැද්ද යනවග ගැන හරියටම අදහසක් නැතත්, එකල එය සමාජයේ කතාබහට ලක්වූ ප්‍රකට පෙම් කවි හරඹයක් විය.

ගජමන් නෝනාගේ කවි

 

7. සිහසුනට වඩා ආදරයට මුල්තැන පිදූ එඩ්වඩ්

srilankan unforgettable love stories

Source – biography.com

මෙය ලක් ඉතිහාසයට අයත් යැයි සෘජුවම කිව නොහැකි වුවත් 1815 සිට 1948 දක්වා ලංකාවේ අපේ රජතුමා වශයෙන් පෙනී සිටියේ එක්සත් රාජධානිය හෙවත් එංගලන්තයේ මහ රජතුමාය. එසමයේ ලංකාව භාර ආණ්ඩුකාරවරයෙකු සිටියද, අපගේ මහා රාජෝත්තමයා වශයෙන් සැලකුණේ එංගලන්තයේ මාලිගයේ සිටි බ්‍රිතාන්‍ය මහ රජතුමා හෝ රැජිණයි. 1936 දී බ්‍රිතාන්‍ය කිරීටයේ ඔටුන්න හිමි එඩ්වඩ් කුමරු ප්‍රේම සම්බන්ධතාවය පැවැත්වූයේ විවාහක බිරියක වූ සිම්ප්සන් සමගයි. ඔටුන්න හිමි කුමාරයා විවාහක කාන්තාවක හා බැඳීම කිසිසේත්ම රජ පවුලට රුස්සන්නක් නොවීය. දික්කසාද යුවතියක විවාහ කරගැනීම කිරුළ දැරීමට නුසුදුසු කමක්ද විය. එහෙත් බාධක කෙතෙක් තිබුණද බැඳීම දුරස් වූයේ නැත.

අවසන 1936 දී 5 වන ජෝජ් රජතුමාගේ මරණයෙන් අනතුරුව එඩ්වඩ් සිහසුනට පත් වුවද, පසුව ප්‍රේමය වෙනුවෙන් ඔහු රජකම අතහැරියේය. අවසානයේ එඩ්වඩ් ගේ සොයුරා 6වන ජෝජ් ලෙස අභිෂේක ලැබීය. දැනට ඔටුන්න දරන එලිසබත් මහරැජින යනු ඒ 6වන ජෝජ් රජතුමාගේ වැඩිමහල් දියණිය වේ. යම් ලෙසකින් එදා එඩ්වඩ් රජු රජකම පිලිගත්තේ වී නම් අපට නිදහස ලබාදීම, ජනරජයක් බවට පත්වීම සිට පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු දක්වා පෙනී සිටින්නේ එඩ්වඩ් ගේ පරම්පරාවේ රාජකීය අයවළුන් වේ. එහෙත් අද වනවිට එංගලන්තය සිය රාජ නීති වෙනස් කොට ඇති අතර, හැරී කුමරාට දික්කසාද වූ මේගන් මර්කල් කසාද බැඳීමට රාජ නීතිය අවහිරතාවක් නොවීය. එවකට ලෝකයේ හිරු නොබසින අධිරාජ්‍ය ලෙස කිරුළු පලන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ, විවාහක කතක සමග වූ ප්‍රේමය නිසා පසෙක ලූ එඩ්වඩ් කුමාරයා සැබෑම ප්‍රේමවන්තයෙකි.

 
Cover Image Source – markmarengo.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *