ඈත යුගයක ඔරු පාරු වලින් පැසිෆික් තරණය කළ පොලිනීසියානුවන්

අපේ රට දූපතක් වුවත් අපේ රටට වෙනත් රටවලින් යාත්‍රිකයින් ආවා විනා අපි රටින් එළියට බොහෝ දුර යාත්‍රා කළ බවට ලොකු සඳහනක් නැහැ. ඒත් මීට වසර දාහකටත් පෙර අතීතයේදී එවකට පැවති කටවහර දැනුම පාවිච්චි කර පැසිපික් සාගරයේ පොලිනීසියානුවන් දූපත් අතර කිලෝමීටර දහස් ගණන් දුර යාත්‍රා කරලා තියෙනවා. ඉතින් මේ පොලිනීසියානුවන් කවුද? ඔවුන් කොහොමද ඒ යාත්‍රා කිරීම් කළේ කියලා අපි විස්තර ටිකක් බලමු.

 

1. යාත්‍රා පාර හොයාගන්න හැටි

අද නූතනයේදී GPS තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය වගේ දේවල් හරහා තමයි යාත්‍රිකයින් නියමිත දිශාව හඳුනාගන්නේ. දැන් නැවක් සත්‍ය වශයෙන්ම හසුරුවන්නේ පරිගණක මගින්. අදාළ කාලගුණික තත්ත්වය, එන්ජින් ධාරිතාවය, ඉදිරියෙන් එන බාධක ආදිය සමග මනාව ගළපලා නැව යායුතු හොඳම මාවතේ නැව ගෙනියන්න නැව් වල පරිගණක පද්ධතිය සමත් වෙනවා. ඒත් අපේ රටට සුද්දෝ ආව ගිය යුගේ මේ නැව් පාර හොයාගත්තේ මාලිමාවන්, සිතියම් ආදිය අධ්‍යනය කරමින්. ඉතින් මේ නවීන තාක්ෂණයත් පෙර තාක්ෂණයත් නැතුව මහ පැසිපික් සයුරේ කිලෝමීටර දස දහස් ගණන් යාත්‍රා කළ යාත්‍රිකයින් පිරිසක් තමයි පොලිනීසියන්වරු කියන්නේ.

 

 

2. කොහොමද පොලිනීසියන්වරු පැවත එන්නේ? 

පොලිනීසියන්වරු කියලා පොදුවේ හඳුන්වන්නේ ඔස්ට්‍රේලියා සහ ආසියා මහද්වීපයේ සිට ඇමරිකා මහද්වීපය දක්වා වන විශාල පැසිපික් සාගරයේ තැන තැන දූපත් වල වෙසෙන ජනතාව. මොවුන් මේ දිවයින් වලට ඇවිත් වසර 1000ක් 2000ක් අතර කාලයක් තමයි ගතවෙන්නේ. නවසීලන්තයට සුද්දන්ට පෙර ස්වදේශිකයින් මේ පොලිනීසියන්වරු ආශ්‍රයෙන් ඇවිත් තිබෙනවා. දැනට ඇමරිකාවේ හවායි දිවයිනද මේ පොලිනීසියන්වරුන්ගේ ආදි රජදහනක්. ඉතින් එකිනෙකට ඇතැම්විට කිලෝමීටර දස දහස් ගණන් ඈතින් තිබෙන මේ දූපත් වලට පොලිනීසියන්වරු ඉන්දුනීසියාවෙන් සහ පැපුවා නිව්ගිනියාවෙන් පැමිණි බවට සැලකෙනවා.

 

 

3. පොලිනීසියන් යාත්‍රා කිරීමේ සිද්ධාන්ත

අතීතයේ කාන්තාර හරහා ඔටුවන් පිට යද්දි පාර හොයාගන්න තාරකා පාවිච්චි කළා. ඒ වගේම පොලිනීසියන්වරු නියමිත දිශාවන් පැහැදිළි කරගන්න තරු රටා පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ඉර නැගීම සහ බැසීම එක්ක එන සෙවණැලි ආදියත් පොලිනීසියානු යාත්‍රිකයින් පාවිච්චි කරලා තියෙනවා. මේ දැනුම වර්ධනය කර ගැනීමේදී ඉර සහ හඳේ හැසිරීම ගැනත් මනා දැනුමක් පොලිනීසියන් යාත්‍රිකයින් සතු වෙලා තියෙනවා. එක් එක් කාලයේදී ඉර හඳ හැසිරීම වෙනස් වුවත් ඒ කාලයට අදාළ දත්ත අනුසාරයෙන් පොලිනීසියන්වරු යාත්‍රා ගෙනයෑම සිදුකර තියෙනවා.

 

 

4. දියවැල් සහ බාධක

පැසිපික් සාගරයේ එක් එක් කාලයට පවතින දියවැල් වල ස්වභාවය යාත්‍රිකයින් විදිහට පොලිනීසියන්වරු දැඩිව පාවිච්චි කරලා තියෙනවා. මේ දියවැල් නිසි ලෙස හඳුනාගත්තොත් කිසි කරදරයක් නැතිව ඔවුන්ට අදාළ දෙසට යාත්‍රා කරන්නට දියවැල් මගින්ම ශක්තිය ලැබෙනවා. ඒ කාලයේ මේ කිලෝමීටර දහස් ගණන් මුහුදු තරණයේදී ආහාර බාධකයක් වුණා. ඔවුන් මේ දූපත් වල වැවුන පොල් සහ කල්තබාගත හැකි ආහාර ද්‍රව්‍ය විශාල ඔරු තුළ රැගෙන ගොස් තියෙනවා. ඒ අනුව අල්ලාගත් මාළු සහ පොල් ඇසුරින් ඔවුන් යාත්‍රාවලදී ආහාර සකසා ගන්නට ඇති. දැනටත් පොලිනීසියන් ආහාර වේල් වල පොල් මූලික තැනක් ගන්නවා.

 

 

5. යාබද දිවයින් ගැන වූ දැනුම

පරිණාමවාදය අදහසක් විදිහට වර්ධනය කරගත් ඩාවින් ගැලපගොස් දූපත් වල එකම වර්ගයේ පක්ෂීන් වුණත් විවිධ වර්ණයෙන්, විවිධ හැඩයෙන් ඉන්න බව නිරීක්ෂණය කළා. සිතියම් වල බලන විට පැසිපික් සාගරයේ ගොඩබිම් තිත් හැඩයෙන් තිබුණත් මේ දූපත් සහ ගොඩබිම් ආශ්‍රිත එකල ගෝත්‍රික පොලිනීසියන්වරුන්ට වෙනමම දැනුමක් තිබුණා. ඒ අනුව යාබද දූපත කුමක්ද යන බව ඈතදීම යාබද කොරල් පර වලින්, කුරුල්ලන් මගින් සහ රැළි මගින් ඔවුන්ට හඳුනාගන්නට හැකියාව තිබුණා. ඒ අනුව ඔවුන් අවශ්‍ය ස්ථානයට යාත්‍රා කරද්දි ඊළඟට හමුවන කොරල් පරය, වැලි වැටිය හෝ දූපත කුමක්ද යන වගත් ඔවුන් මනා ලෙස දැනගෙන සිටියා.

 

 

6. බාධා මැද තැනුණු නැවිගේශන් දැනුම

නිසල මුහුද කිසිදා දක්ෂ යාත්‍රිකයෙකු බිහි නොකරයි කියලා කියමනක් තිබෙනවා. ඒ කතාව පොලිනීසියන් යාත්‍රිකයින්ටත් සත්‍ය වෙනවා. පැසිපික් සාගරයේ තිබෙන මයික්‍රොනීසියාව, මෙලනීසියාවට වඩා පොලිනීසියානු ජනයාට ලැබුණු සාගර කොටස චණ්ඩයි. ඒ මුහුද සැඩ වීම නිසාම පොලිනීසියානුවන් යාත්‍රා කිරීම ගැන හොඳ හැදෑරීමක් ඇතිව හිටියා. ඔවුන් පුරාණ කතාන්දර මගින් පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ගේ යාත්‍රා කිරීම් ගැන දැනුම බෙදාගත්තා. මුහුද සහ එහි රළ, දූපත්, වලාකුළු, අහස ආදිය ගැන පොලිනීසියානු දැනුම ඔවුන් වැඩිවිය පත්වන විට හොඳ යාත්‍රිකයන් වෙන්න ඔවුන්ට උදව් කළා.

 

 

7. ඔවුන්ගේ යාත්‍රා

පුරාණ කාලයේ තිබූ ඔරු කොල්ලෑව සහ සාමාන්‍ය කොටයක් සාරා ගන්නා ලද ඔරුවකින් යුක්ත වුණා. ඒත් මහ මුහුදේ චණ්ඩ රළ එක්ක ඔට්ටු වන්නට මේ කොල්ලෑ ඔරුව මදි. ඒ නිසා පොලිනීසියානුවන් ඔරු දෙකක් යාකොට වඩාත් ශක්තිමත්ව අඩි 50-60 විශාල යාත්‍රා හැදුවා. එවිට ඒවායේ මිනිස්සු ගොඩකට ගමන් කරන්නට හැකියි. මේ යාත්‍රා සහ නැවිගේශන් ගැන තිබූ විශ්වාසයන් මෑත කාලයේ 20 වන සියවසේ මිනිසුන් එතරම් විශ්වාස කළේ නැහැ. එම නිසා පසුව එවැනි යාත්‍රා තනා පොලිනීසියානු යාත්‍රිකයින් මගින් ඒවා නවසීලන්තය, ඊස්ටර් දිවයින්, ටුවාලු ආදී ඈත දූපත් අතර යාත්‍රා කරවූවා. එයින් පසු නූතන ලෝකය පොලිනීසියානු ජනයාගේ විශ්වකර්ම යාත්‍රාකිරීමේ තාක්ෂණය සැබෑ දෙයක් බව පිළිගත්තා.

 

මේ පොලිනීසියානු වැසියන්ගේ සාමාන්‍ය දැනුම අතීතයට අයිති දෙයක් නෙමෙයි. ඔවුන්ගේ ඒ යාත්‍රික දැනුම අදටත් ඉතිරි වෙලා තියෙනවා. මේ පොලිනීසියානු ජනයා දකුණු ඇමරිකාවට යාත්‍රා කරලා දකුණු ඇමරිකාව නිජබිම වෙලා තිබුණ භෝගයක් වන අර්තාපල් පැසිපික් දූපත් වල වගා කරලා තියෙනවා. ඒ අනුව බතල, අර්තාපල් වැනි අල වර්ග ලොව වටා ජනප්‍රිය කරවන්නට යුරෝපීයයන්ට බොහෝ කලකට පෙර පොලිනීසියානුවන් දායක වෙලා තියෙනවා. සාම්ප්‍රදායික කටින් කට එන දැනුම ගැන අපි බොහෝ විශ්වකර්ම වැඩ ගැන අසා තිබුණත් ප්‍රායෝගිකවම භාවිතා කරන මේ පොලිනීසියානු නාවුක තාක්ෂණය සැබැවින්ම අතීතයේ තිබූ වටිනා දැනුම් පද්ධතියක් වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *