Lifie අපි ඉදිරිපත් කරපු සිනමාව සම්බන්ධ ලිපි වලට ඔබගෙන් ඉතාම ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. මේ නිසා අපි හිතුවා ලංකාවේ සිනමා ඉතිහාසය පිළිබඳව කෙටි ලිපි පෙළක් ඔබ වෙත ගෙන එන්න. මේ ලිපිවල එන සමහර කරුණු පළවෙනි වතාවට තමයි අන්තර්ජාලය හරහා ඔබට කියවන්න ලැබෙන්නේ.
1. ශාන්තා නොහොත් රාජකීය වික්‍රමය
ලංකාවේ පිරිසක් විසින් නිෂ්පාදනය කරපු පළවෙනි චිත්‍රපටය විදිහට ‘රාජකීය වික්‍රමය’ හඳුන්වන්න පුළුවන්. නමුත් මේ චිත්‍රපටය නිහඬ චිත්‍රපටියක්. 1925 දී නිර්මාණය වුණු මෙම චිත්‍රපටය සඳහා මුදල් වියපැහැදම් කරලා තියෙන්නේ ටී. ඒ. ජේ නූර්බායි කියන නිෂ්පාදකවරයා. කාර්මික කටයුතු සඳහා ඉන්දියාවෙන් ශිල්පීන් හොයාගෙන තියෙන නූර්බායි මෙම චිත්‍රපටයේ රඟපෑම සඳහා තෝරාගෙන තියෙන්නේ ලංකාවේ ශිල්පීන්. ප්‍රධාන චරිතය සඳහා ඔහු එන්. එම් පෙරේරා නම් කඩවසම් තරුණයෙක්ව තෝරගෙන තියෙනවා. පස්සෙ කාලෙක මේ කඩවසම් තරුණයා ලංකාවේ මුදල් අමාත්‍යවරයෙක් බවටත් පත් වෙනවා. කාන්තා ප්‍රධාන චරිතය සඳහා සිබිල් ෆිම් නම් තරුණියව යොදාගෙන තියෙනවා. නමුත් අවාසනාවකට වගේ මෙම චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබිලා නැහැ. යම්කිසි කුමන්ත්‍රණයක් නිසා හෝ නොසැලකිල්ල නිසා මෙම චිත්‍රපටිය විනාශ වෙලා තියනවා
2. පළිගැනීම
ලංකාවෙ නිෂ්පාදනය වෙලා තිරගත වුණු පළවෙනි නිහඬ චිත්‍රපටිය වෙන්නේ ‘පළිගැනීම’. මේ නිසා ලංකාවේ සිනමා ඉතිහාසය පළිගැනීමත් එක්ක ආරම්භ වුණා කියලා ඇතැම් සිනමා විචාරකයන් විශ්වාස කරනවා. මරදාන මව්ලානා වත්ත ප්‍රදේශයේ රූපගත කිරීම් කරපු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත එන්. ආර් ඩයස් සහ ටවර් හෝල් යුගයේ ජනප්‍රිය තාරකාවක් වුණු ශ්‍රියා කාන්තා හෙවත් මිලි ආරියවතී විසින් රඟපාලා තියෙනවා.
3. කඩවුණු පොරොන්දුව
ලංකාවේ පළවෙනි කතානාද චිත්‍රපටය විදිහට ඉතිහාසගත වෙන්නෙ ‘කඩවුණු පොරොන්දුව’. මේ චිත්‍රපටය සඳහා පාදක වෙන්නේ මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායම මගින් රට පුරා ප්‍රදර්ශනය කරපු කඩවුණු පොරොන්දුව නාට්‍යයයි. මුල් අවස්ථාවේදී පළවෙනි චිත්‍රපටය වීම සඳහා කඩවුණු පොරොන්දුව, අශෝකමාලා සහ දිව්‍යමය ප්‍රේමය යන චිත්‍රපටි අතර දැඩි තරඟයක් පැවතී තිබෙනවා. නමුත් ඉන් ජයග්‍රහණය කළේ කඩවුණු පොරොන්දුවයි.
4. මන ප්‍රයත්නය
මුල් යුගයේදී වෙනත් භාෂාවල චිත්‍රපට සිංහලට හඬකවා මෙරට ප්‍රදර්ශනය කිරීම බහුල වශයෙන් සිදු වුණා. ‘ගිර්භව ප්‍රවේශම්’ නම් තෙළිඟු චිත්‍රපටය එසේ මෙරට ප්‍රදර්ශනය කරන ලද පළමු චිත්‍රපටිය විදිහට සිනමා ඉතිහාසයට එකතු වෙනවා. මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන තිබෙන්නේ ඩබ්. එම්. එස් තම්පෝ සහ කේ. ගුණරත්නමුයි.
5. එම්පයර් පික්චර් පැලස්
මුල් කාලයේදී ලංකාවේ චිත්‍රපටි තැනීම සඳහා විශේෂ ශාලා සකස් කරලා තිබ්බේ නැහැ. බොහෝ වෙලාවට කූඩාරම් වල, මඩු වල තමයි චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම වෙලා තියෙන්නේ, (අපි මේ කතා කරන්නේ ලංකාවේ දේශීය චිත්‍රපට කර්මාන්තයක් ආරම්භ වෙන්න කලින්). පළවෙනි වතාවට චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම සඳහාම වෙනම ශාලාවක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ වොරික් මේජර් නම් පුද්ගලයාට. කොළඹ මල්වත්ත පාරේ ඔහු ආරම්භ කරපු සිනමා ශාලාව නම් කරලා තිබ්බේ ‘එම්පයර් පික්චර් පැලස්’ යන නමින්.
6. විරෝධයට ලක් වූ පළමු චිත්‍රපටය
එඩ්වින් ආර්නෝල්ඩ් විසින් රචනා කළ ‘ලයිට් ඔෆ් ඒෂියා’ කෘතිය ආශ්‍රයෙන් බුද්ධ චරිතය පදනම් කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා අර්නස්ට් ඩේල් ඇතුළු පිරිසක් ලංකාවට පැමිණියත් එය සාර්ථක කර ගැනීමට ලංකාවේ බෞද්ධයන් ඉඩ ලබා දුන්නේ නැහැ. බුද්ධ චරිතය සාමාන්‍ය පුද්ගලයෙකු විසින් නිරූපණය කිරීම මගින් අපහාසයක් සිදුවන බව තර්ක කරමින් ඔවුන් විසින් මෙයට විරෝධය පළ කරන කරනු ලැබුවා. එසේම ඉන් පසු කලෙක බුද්ධ චරිතය පදනම් කරමින් මෙරට තිරගත වුණු “ප්‍රේම් සත්‍යාස්” චිත්‍රපටියත් බෞද්ධ විරෝධය මත මහජන ප්‍රදර්ශනයෙන් ඉවත් කරනු ලැබුවා. ලංකාවේ තහනම් කරන ලද පළමු විදේශීය චිත්‍රපටය විදිහට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.
7. පටාචාරා
බුද්ධකාලීන පුවතක් පළමු වතාවට චිත්‍රපට මාධ්‍ය හරහා මෙරට සිනමාව තුළ නිර්මාණය කරපු අවස්ථාව විදිහට ‘පටාචාරා’ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. 1964දී තිරගත වුණු මෙම චිත්‍රපටයේ පටාචාරාගේ චරිතය රඟපෑ සන්ධ්‍යා කුමාරිගේ චරිත නිරූපණය විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. මින් පෙර අවස්ථා වලදී බෞද්ධ කථා වස්තු චිත්‍රපටයට නැගීමේදී ඇතිවුණු ගැටළු නිසිපරිදි අධ්‍යයනය කරමින්, මේ චිත්‍රපටි කණ්ඩායම ඊට ගැළපෙන පරිදි චිත්‍රපටය නිර්මාණය කිරීමට වගබලාගෙන තිබුණා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත අපි අද ලියපු ආටිකල් එක ආටිකල් සීරීස් එකක් බවට පත් වේවි.
Leave a Reply