කොළඹ මහජන පුස්තකාලයට බැඳෙන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න.

සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රධාන නගර හැම එකකම විතරක් නෙවෙයි, ගොඩක් වෙලාවට ගම් නියම් ගම් වලත් පුස්තකාල තියෙනවා. මේ ඇරෙන්න පාසල් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන ඒවා විතරක් නෙවෙයි, ගෘහ පුස්තකාල කියලා ජාතියකුත් තියෙනවා. ඉතින් මේ තරම් පුස්තකාල ප්‍රමාණයක් තිබුණත්, ඒ වලින් සැලකිය යුතු පිරිසක් ප්‍රයෝජන ගන්නවද කියන එකත් ගැටළුවක්. කොහොම නමුත් මේ තරම් පුස්තකාල ලංකාවේ තියෙනකොට අපි කොළඹ මහජන පුස්තකාලය ගැන විශේෂයෙන්ම කතා කරන්න හේතුවක් තියෙනවා. එකක් තමයි කොළඹ මහජන පුස්තකාලයට බැඳුනොත් ලබාගන්න පුළුවන් ප්‍රතිලාභ. අනික තමයි කොළඹ මහජන පුස්තකාලයේ තියෙන පොත් ප්‍රමාණය සෑහෙන්න ඉහළ වීම. තුන්වෙනුව ලංකාවේ කොයි මුල්ලක ඉන්න කෙනෙක්ට වුනත් කොළඹ මහජන පුස්‍තකාලයට බැඳෙන්න තියෙන හැකියාව. එහෙමනම්, මේ විස්තර ටික කියවලා, හිතලා බලමු මේ මාසෙම කොළඹ මහජන පුස්තකාලෙට බැඳෙනවද කියලා!

 

1. කොළඹ මහජන පුස්තකාලයේ ඉතිහාසය

කොළඹ මහජන පුස්තකාලය ආරම්භ වෙන්නේ 1925 වගේ ඈත කාලෙකදී. මේ කාලෙදි කොළඹ පුස්තකාල දෙකක් තිබුණලු. එකක් තමයි කොළඹ පුස්තකාලය, අනික පිටකොටුවේ පුස්තකාලය. මේ කාලේ හිටපු යටත් විජිත ලේකම් වුණු සර් සිසිල් ක්ලෙමන්ටි මීටිමක් කැඳවලා, මේ පුස්තකාල දෙකේම කට්ටිය එක්ක කතා කරලා එකඟතාවයකට ආවලු එක ලයිබ්‍රියක් පවත්වගෙන යන්න. කොහොම කොහොම හරි පිහිටවනු ලබපු කොළඹ මහජන පුස්තකාලය මුලින්ම තිබුණේ සිරිනිවස කියන බංගලාවේ. කොළඹ තියෙන පරණම බංගලාවක් වෙන සිරිනිවස අයිති වෙලා තිබුණේ ශ්‍රී චන්ද්‍රසේකර මුදලිට. දැන් මේ බංගලාව තමයි කොළඹ පුරපති නිල නිවාසය. ඒ, කොළඹ මහජන පුස්තකාලය දැන් තියෙන විහාර මහා දේවී උද්‍යානය ගාව තැනට ආවට පස්සේ.

 

2. ඇපකාරයෙක් අත්සන් කරනවද, ඇපයක් තියනවද?

ඉස්සර තිබුණු විදියට නම් කොළඹ මහජන පුස්තකාලෙට බැඳෙන්න ඕනම කෙනෙක්ට පුළුවන්, හැබැයි එක්කෝ කොළඹ නගර සීමාවේ පදිංචි කාරයෙක් වෙන්න ඕන. එහෙමත් නැතිනම් කොළඹ නගර සීමාවේ පදිංචි කෙනෙක් ඇපකාරයා විදියට අත්සන් කරන්න ඕන. දැනටත් ප්‍රධාන ක්‍රමය ඒක තමයි. ඒත් ඒ විදියට සාමාජිකත්වය ගන්න සතියක් දෙකක් යනවා. මොකද අයදුම් පත්‍ර පුරවලා දුන්නට පස්සේ, ඇපකාරයාට ලියුමක් යවලා, ඒ ලියුම පුස්තකාලෙට ගෙනැල්ලා එහෙම තමයි සාමාජිකත්වය ලැබෙන්නේ. හැබැයි අපි හිතමු කොළඹ නගර සීමාවේ අපිට ඇපකාරයෙක් කරගන්න කාවවත් නැහැයි කියලා. එහෙම නැතිනම් සතියක් දෙකක් බලාගෙන ඉන්න බැහැයි කියලා. ආන්න එතකොට ඒ මොහොතේම සාමාජිකත්වය ලබාගන්නත් පුළුවන්, රුපියල් දෙදාහක ඇපයක් තියලා. එතකොට රුපියල් දෙදාහේ ඇප මුදල සහ සාමාජිකත්ව මුදල ගෙවලා ඒ වෙලාවෙම සාමාජිකයෙක් වෙලා ඒ මොහොතේ ඉඳලම පොත් ගන්නත් පුළුවන්. මෙම්බර්ෂිප් කාඩ් එක සතියකින් විතර රෙඩි වෙලා තියෙයි!

 

3. කවද කවදද ලයිබ්‍රරි එක පාවිච්චි කරන්න පුළුවන්?

දැන් වෙනකොට කොළඹ මහජන පුස්තකාලය විවෘත කරලා තියෙන කාලවේලාවන් සංශෝධනය කරලා, තවත් දීර්ඝ කරලා තියෙන්නේ. ඒ කියන්නේ සතියේ දවස් පහේ උදේ 8.3 ඉඳලා, රාත්‍රී 8 වෙනකල්ම පුස්තකාලේ ඇරලා තියෙන්නේ. එතකොට සති අන්ත දවස් දෙකේ උදේ 8.30 ඉඳලා රාත්‍රී 7 වෙනකල් ඇරලා තියෙන්නේ. සමහර වෙලාවට ඔය පොත් ගණන් කරන, අලුතින් පොත් දාන දවසක එහෙම නම් පුස්තකාලය වහන්න පුළුවන්. ඒත් එහෙම දවස් එන්නේ කලාතුරකින්. ඉතින් වැඩ ඇරිලා එන ගමන් වුනත් පුස්තකාලයට ගොඩවැදිලා පොතක් පතක් අරගෙන යන්න ඔන්න අවස්ථාව තියෙනවා.

 

4. මොනවද තියෙන පොත්?

හරි ප්‍රශ්නේ මේක නෙවෙයි. මොනවද කොළඹ මහජන පුස්තකාලයේ නැති පොත්? සාමාන්‍යයෙන් ඕනම පුස්තකාලෙක වගේ මේකේ සිංහල සෙක්ෂන් එකේ කෙටිකතා, නවකතා, ඇත්ත කතා, ප්‍රබන්ධ වගේ ඇත්ත කතා, චරිතාපදාන වගේ මෙකී නොකී හැම එකක්ම තියෙනවා. එතකොට එක් එක් විෂයයන්ට අදාළ සිංහල පොතුත් මහ විසාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඉංග්‍රීසියෙන් ගත්තත් නවකතා, කෙටිකතා වලට අමතරව විවිධාකාරයේ විෂයයන්ට අයිති පොත් මහ තොගයක් තියෙනවා. දෙමළ පොත් පවා තියෙනවා. 

ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මෙතන තියෙන ඉහළ වටිනාකමක් තියෙන විවිධ පොත් එකතූන්. මේ අතරේ දුර්ලභ පොතුත් සෑහෙන්න තියෙනවා. මේවා ගොඩක් වෙලාවට ප්‍රදානයන් විදියට ලයිබ්‍රියට ලැබුණු පොත් තමයි. 

කොහොමත් කොළඹ මහජන පුස්තකාලේ දැනට තියෙන පොත් ප්‍රමාණය පොත් ලක්ෂ 4 කට වැඩි මිසක් අඩු නෑ!

 

5. පොත් හොයාගන්න පුළුවන් කොහොමද?

පොත් හොයාගන්න ක්‍රම කීපයක් තියෙනවා. හැමෝම කරන ජනප්‍රියතම ක්‍රමය තමයි පරණ පුරුදු විදියටම පොත් රාක්ක අස්සේ දුව පැන ඇවිදලා, පොත් වර්ගීකරණය කරලා තියෙන විදිය අනුව හොයාගන්න පුළුවන්. පොත් වර්ගීකරණය කරලා තියෙන්නේ කතුවරයාගේ හෝ කතුවරියගේ නම අනුව. එතකොට මේ ක්‍රමේට පොතක් හොයාගන්න නම් කතු නාමය දැනගන්න ඕන. එහෙම නැතිව මොකක් හරි කියවන්න පොතක් හොයනවා නම්, තමන්ට ඕන කරන පොත් විෂය අනුව අදාළ රාක්කේ පීරලා පොත් හොයාගන්නත් පුළුවන්.

දැන් ඔය විවිධ විෂයන්ට අනුව තියෙන පොත් හරි, තමන්ට ඕන කරන නම දන්න පොතක් හරි හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි ඩිජිටල් ඩේටාබේස් එක පාවිච්චි කිරීම. ඒ කියන්නේ ඔය වැඩේට වෙන් කරපු කම්පියුටරයක් දෙකක් තියෙනවා. අන්න ඒ එකක තියෙන ඩේටාබේස් එකේ තමන්ට ඕන විෂය ගැහුවත්, කතුවරයාගේ නම ගැහුවත්, පොතේ නම ගැහුවත්, නමෙන් කෑල්ලක් ගැහුවත් ඒ අනුව තියෙන පොත හෝ පොත් පෙන්නනවා. දැන් අවශ්‍ය පොත එතන තියෙනවා නම්, ඒ පොත තියෙන රාක්ක අංකය සහ පොතේ අංකය වැටෙනවා. දැන් තියෙන්නේ හරි රාක්කේ ගාවට ගිහින් පොත ගන්න එක විතරයි!

 

6. වෙනත් සේවාවන් ලබාදෙනවද?

ඔව්. පොත් කියවන්න දෙන එකට අමතරව තව රෙෆරන්ස් ලයිබ්‍රි එක පාවිච්චි කරන්න එහෙමත් අවසර ලැබෙනවා. මෙන්න මේක බොහොම වටින දෙයක්. මොකද කොළඹ පබ්ලික් ලයිබ්‍රි එකේ අති දුර්ලභ, ලේසියෙන් හොයාගන්න බැරි, ඉතා වටිනා පොත්පත් තියෙනවා. හැබැයි ඉතින් එව්වා බැහැර දෙන පුස්තකාලේ නෙවෙයි තියෙන්නේ. එව්වා තියෙන්නේ රෙෆරන්ස් ලයිබ්‍රි එකේ. ඉතින් එතන ඉඳලා තමයි මේ පොත් කියවන්න වෙන්නේ. ඕන නම් ෆොටෝ කොපි පහසුකම් ලබාදීලා තියෙනවා. එතකොට  වෙන ඕනම ලයිබ්‍රියක වගේ පත්තර කියවන්නත් පුළුවන්. රීඩින්ග් රූම්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට අමතරව පොඩි අයට විශේෂයෙන් තියෙන පොත් පත් වලටත් ප්‍රවේශය ලැබෙනවා.

 

7. ඇයි කොළඹ මහජන පුස්තකාලය පාවිච්චි කරන්න ඕන?

ඇයි කියන එක ඉතින් පුද්ගලානුබද්ධයි. කොළඹ මහජන පුස්තකාලය පාවිච්ච් කරන්න ඕන පොත් කියවන අය, ඉගෙන ගන්න අය එහෙම තමයි. හැබැයි විශේෂයෙන්ම පොත් කියවන කෙනෙක්ට අපි කොළඹ මහජන පුස්තකාලය පාවිච්චි කරන්න කියලා නිර්දේශ කරන්නේ, මේකේ තියෙන පොත් පත් ප්‍රමාණය සහ ලේසියෙන් හොයාගන්න බැරි පොත් පත් වලට ලැබෙන ප්‍රවේශය නිසා තමයි. දැනට මේකට ලෝකේ අලුතෙන්ම නිකුත් වෙන පොත් පත් එන්නෙ නෑ. හැබැයි කොළඹ මහජන පුස්තකාලය ඉතා වේගයෙන් යාවත්කාලීන වෙමින්, නව තාක්ෂණය එක්ක අත්වැල් බැඳගනිමින් අලුත් වෙනවා. ඒ නිසා අපි මේ ලියලා තියෙනවාටත් වඩා පහසුකම් ඉතාමත් ඉක්මනින්ම කොළඹ මහජන පුස්තකාලයේ දකින්න ලැබෙනවා නියතයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *