විලාසිතා කියල කියන්නෙ කාලෙන් කාලෙට අලුත් වෙවී කරලියට එන දෙයක්නේ. අද අපි දකින විලාසිතාව නෙමෙයි හෙට වෙද්දී තියෙන්නෙ. එක්කො අලුතෙන්ම විලාසිතාවක් ඇවිල්ලා. එහෙමත් නැත්තම් පරණ විලාසිතාවක් අලුත්ම මුහුණුවරකින් ඉස්සරහට ඇවිල්ලා. ඔය කොයිදේ වුණත් විලාසිතා කියන්නෙ ඇත්තටම ලෝකය ලස්සන කරන්න ලොකු දායකත්වයක් සපයන කාරණාවක්. ගැහැණු පිරිමි භේදයක් නැතුව අපි කවුරුත් ආසයි කාලෙන් කාලෙට අළුත්වෙන මේ විලාසිතා අත්හදා බලන්න. ඒක අපේ හිතට සතුටක් වගේම අපිට සමාජයේ කැපී පේන්නත් පුළුවන් හොඳ ක්‍රමයක්. හැබැයි ඉතින් විලාසිතා කිව්වම අපිට දැනෙන සතුටු හැඟීම මේ කියන්න යන විලාසිතා ගැන කියෙව්වම නම් දැනෙන එකක් නැහැ. මේ ඉතිහාසයේ විවිධ කාලවල භාවිතා කරපු අපිට හිතාගන්නත් බැරි විදිහේ බිය ඇතිකරන විවිධ විලාසිතා වර්ග.
01. කකුල් නැමීම (Footbinding)
මේ කකුල් නැමීම කියන විලාසිතාව ක්‍රි:පූ: 960 වගේ ඈත ඉතිහාසයේ ඉඳලා ක්‍රි:ව: 1279 දී තහනම් වෙනතුරුම භාවිතා කෙරුණු විලාසිතාවක්. මේ ක්‍රමය චීනයේ සෝන් කියන රාජවංශයේ ඉඳලාම පැවතගෙන ආපු ක්‍රමයක්. මේකෙදි කෙරෙන්නේ එක්තරා පාවහන් වර්ගයකට ගැලපෙන පරිදි කාන්තාවන්ගේ කකුල් වල අස්ථි නැවීම සිදුකිරීමයි. මේ සඳහා වයස අවුරුදු 4 සිට වයස අවුරුදු 9 පමණ දක්වා කාලය තුල කුඩා ගැහැණු දරුවන් දිනපතා ඔවුන්ගේ කකුල් අවශ්‍ය හැඩයට වෙළුම් පටිවලින් ඔතාගෙන සිටීම සිදුකෙරෙනවා. මේ විදිහට එකදිගට වසර දෙකක පමණ කාලයක් වෙළුම් පටි මඟින් ඔතාගෙන සිටීමෙන් කකුලේ අස්ථි නැමීමකට ලක්වෙලා අවශ්‍ය හැඩයට සකස්වීම සිදුවෙනවා.
02. ඇහිපිය දිගු කිරීම
Eyelash extension කියල කියන්නෙ අදකාලෙත් බොහොම ජනප්‍රිය විලාසිතාවක්නේ. ඇත්තටම පිරුණු ඇහිපිල්ලම් වලින් කාන්තාවකගේ මුහුණක සුන්දරත්වයට ලොකු දායකත්වයක් ලැබෙන බවනම් සහතිකයි. මේක අද වගේම අතීතයේ පවා හැමෝම විශ්වාස කරපු කාරණාවක්. ඒකට හොඳම උදාහරණය තමයි වර්ෂ 1899 ට ආසන්න කාලයේදී මේ ඇහිපිය දිගු කිරීමට කාන්තාවන් උත්සාහ කිරීම. හැබැයි අද කාලේ වගේ ක්‍රමයකටනම් නෙමෙයි. හිසෙන් ලබාගත් තරමක් දිග කෙස් සැත්කම් ඉඳිකටුවක් මඟින් ඇස් පිහාටු වල මුලට මසා බද්ධ කිරීම තමයි එකල ඔවුන් මේ සඳහා භාවිතා කල ක්‍රමය.
03. ඉල ඇටය ඉවත් කිරීම
සිහින් ඉඟක් කියල කියන්නෙ කවදත් කාන්තාවන්ගේ සිහිනයක්නේ. කවියෝ පවා කොයිතරම්නම් ඉඟ සුඟ සිහින් ගැහැණුන්ව වර්ණනා කරනවද. මේ නිසාම හැම කාන්තාවක්ම කැමතියි තමන්ට සිහින් ඉඟක් තියෙනවට. වික්ටෝරියානු යුගයේ කාන්තාවක් මේ සිහින් ඉඟක සිහිනය සැබෑ කරගන්න ඔවුන්ගේ ඉලඇට සැත්කම් මඟින් ඉවත්කරගන්න කටයුතු කරපු බවට තොරතුරු ඉතිහාස පොත්වලින් හමුවෙනවා. ඉතාම භයානක සැත්කමක් වෙන මේ සැත්කම මඟින් මරණ පවා වාර්තා වෙලත් තියෙනවා.
04. බෙල්ලට දමන මුදු
අපි සාමාන්‍යයෙන් මුදු දාන්නෙ අතේ හෝ කකුලේ ඇඟිලි වලටනේ. මේ ටිකක් වෙනස් මුදු වර්ගයක්. මේක මියන්මාරයේ භාවිතා කෙරුණු විලාසිතාවක්. අද කාලයේත් අතරින් පතර ඒ රටේ භාවිතා වෙන ක්‍රමයක්. ඔවුන්ට අනුව ඉතා දිගු බෙල්ලක් පිහිටීම කාන්තාවකගේ සුන්දර බවේ ලක්ෂණයක්. ඒ නිසාම මේ දිගු බෙල්ලක් ලබාගැනීමේ අරමුණින් මේ කාන්තාවන් වයස අවුරුදු 5ක් වැනි කුඩා කාලයේ ඉඳලාම බෙල්ලට පිත්තල මුදු පැළඳීම සිදුකරනවා. වයසින් වැඩෙත්ම මේ මුදු ප්‍රමාණය වැඩිවෙනවා. තරුණ කාන්තාවක් සාමාන්‍යයෙන් කිලෝ දහයකට අධික බරකින් යුතු මුදු මේ විදිහට බෙල්ලට පළඳින බවයි කියන්නෙ. කොහොම වුණත් මේ මඟින් බෙල්ල දිගු වෙනව වගේම බෙල්ලේ මාංශපේෂී දුර්වල වෙලා වයසට ගියාම ලොකු ගැටළු ඇතිවෙන්නත් පුළුවන්.
05. හිස්කබල හැඩ කිරීම
හිස්කබලේ හැඩය වෙනස් කිරීමත් ඒ කාලේ පැවතුන අමුතු විලාසිතාවක්. යම් සමාජ කොට්ඨාශයකින් වෙනස් වෙලා පේන්න සමහරෙක් මේ විදිහට හිස්කබල දිගැටි හැඩයකට සකස් කරගත්ත බව කියවෙනවා. වැඩිහිටි පුද්ගලයෙකුගේ හිස්කබල ඉතා ශක්තිමත් වුණත් ඉපදුන අළුත කුඩා දරුවෙකුගේ හිස්කබල හරිම මෘදු ස්වභාවයක් දරනවනේ. ඉතින් මෙන්න මේක වාසියකට අරගෙන ඉතා කුඩා කාලයේදීම පැතලි ලී සහ රෙදිපටි යොදාගෙන දරුවන්ගේ හිස්කබල වෙලා තැබීම යම් යම් ගෝත්‍රයන්ට අයත් මිනිසුන් සිදුකල බවත්, කාලාතුරකින් තවමත් සිදුකරන බවත් සඳහන් වෙනවා. මෙසේ කාලයක් වෙලා තැබීම මඟින් හිස් කබල දිගු හැඩයකට සකස් වෙනවා.
06. Ohaguro හෙවත් දත් කළුකිරීම
මෙය ජපානයේ කාලාන්තරයක් තිස්සේ භාවිතා කෙරුණු ක්‍රමයක්. ඔවුන්ට අනුව කළු කියල කියන්නෙ සුන්දරත්වයේ සංකේතයක්. ඒ නිසාම ජපන් ජාතික කාන්තාවන් ඔවුන්ගේ දත් කළු පැහැයට සකස් කරගන්න හුරුවෙලා හිටියා. මේ සඳහා යකඩ පිරවුම් යොදා කළු පැහැයට සකස් කල තේ බොන්න ඔවුන් නිතරම හුරුවෙලා හිටියා. දත් කළු කිරීම මඟින් මුහුණට ලස්සනක් එකතු වෙනවා වගේම මේ පුරුද්ද නිසා දන්ත සෞඛ්‍ය ඉහල යන බවත් ඔවුන් තරයේ විශ්වාස කළා. 19වන සියවස අග භාගය වෙනකන්ම මේ පුරුද්ද ජපන් ජාතික කාන්තාවන් අතර දකින්න ලැබුණු බව කියවෙනවා.
07. පටිපණු ඩයට් ක්‍රමය
ඩයට් කියල කියන්නෙ අදත් අපි හුඟක් දෙනෙක් අතර ප්‍රසිද්ධ ක්‍රමයක්නේ. සිහින්, නිරෝගිමත් සිරුරක් පවත්වාගන්න ආහාර පාලනය අදත් හුඟක් දෙනෙක් කරනවා. හැබැයි මේ කියන ඩයට් ක්‍රමය අප්‍රසන්න වගේම ඉතාම භයානක ක්‍රමයක්. 1900 මුල් භාගයේ කාන්තාවන් තම සිරුර සිහින්ව තබාගන්න tapeworm pills හෙවත් පටිපණු පෙති පානය කරන්න හුරුවෙලා හිටියා. මේ පෙතිවල අඩංගු වෙන්නේ පටිපණු බිත්තර. මේ මඟින් ශරීරයට ඇතුලුවෙන පටි පණුවන් අදාළ කාන්තාව ආහාරයට ගන්නා දේ වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කිරීම නිසා පහසුවෙන්ම ආහාර පාලනයකට ලක්වෙන්න හැකිවුණු බව ඔවුන් විශ්වාස කළා. නමුත් මේ මඟින් බඩවැල් අවහිරවීම වගේම අක්මාව, ඇස්, මොලය ආශ්‍රිත දරුණු රෝගී තත්වයන් ඇතිවෙන්න පුළුවන් බව පසුව සොයාගැනුණා.
Leave a Reply