ඔබ නැරඹිය යුතුම, වැඩිය කතාබහට ලක්නොවූ බොලිවුඩ් චිත්‍රපට 7ක්

හින්දි සිනමාව එහෙම නැත්නම් බොලිවුඩය කියන්නේ අපි හැමෝම ආස කරන සිනමා කර්මාන්තයක්. ඉතින් අද අපි හිතුවා බොලිවුඩය තුළ එතරම් ජනප්‍රිය නොවූ නමුත් ඔබ විසින් නැරඹිය යුතුම හොඳ චිත්‍රපට 7ක් ගැන කතාකරන්න… 

 

1. Firaaq (2008)

ෆිරාක් කියන්නේ වෙන්වීමට. මේ සිනමාපටය ඉන්දියානු ඉතිහාසයේ එක් අඳුරු සිදුවීමක් ගැන කතාකරපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට ප්‍රධානවම පාදක වෙන්නේ 2002 වසරේ ගුජරාටියේ ඇති වුණු මහා භීෂණයයි. එයට මුහුණදුන් ජීවිතවල කතාව ඔබට කම්පනයක් දනවමින් සිතන්නට බොහෝ දේ ඉතිරි කරවාවි. දක්ෂ රංගන ශිල්පිනියක් වන නන්දිතා දාස් ගේ කුළුඳුල් අධ්‍යක්ෂණයත් මේ චිත්‍රපටය වීම තව විශේෂත්වයක්. 

 

2. Titli (2014)

ටිට්ලි කියන්නේ හින්දි භාෂාවෙන් නම් සමනළයාට. මේ කතාවට පාදක වෙන්නේත් සමනළයෙක් වගේ තමන්ගේ සිහින සෑබෑ කරගන්න යන තරුණයෙක්. ඉතින් එම ගමන තුළ ඔහු කරන කැපකිරීම්, සිදුවන කඩාවැටීම් හරි අපූරුවට මේ නිර්මාණය තුළ අන්තර්ගත වෙනවා. හැමෝටම සරලව රසවිඳින්න පුළුවන් හොඳ සිනමාපටයක්. 

 

3. Raincoat (2004)

මේ චිත්‍රපටයට පාදක වෙන්නේ විශිෂ්ට අමෙරිකානු කෙටිකතාකරුවෙක් වුණු ඕ හෙන්රිගේ “The Gift of the Magi” කෙටිකතාවයි. ඒ කෙටිකතාව ඉන්දියානු පරිසරයට ගැළපෙන අයුරින් සකසන්න අධ්‍යක්ෂක රිතුපර්නෝ ඝෝෂ් සමත් වෙලා තියෙනවා. වෙන් වුණු ප්‍රේමවන්තයින් දෙන්නෙක්ගේ නැවත හමුවීමක් තමයි මේ සිනමාපටයට පාදක වෙන කතා පුවත වෙන්නේ. එහි ප්‍රධාන චරිතවලට අජේ දේව්ගන් සහ අයිශ්වර්යා රායි දායක වෙනවා. 

 

4. Parched (2015)

පාර්ච්ඩ් කියන්නෙත් බොලිවුඩ් වල නිමැවුණු සෑහෙන්න Underrated චිත්‍රපටයක්. මෙහි රාධිකා ආප්තේ සිදුකරන ආන්දෝලනාත්මක රංගනය නිසාත් තරමක් මතභේදාත්මක චිත්‍රපටයක් බවට මෙය වුණා. ගුජරාටියේ ජීවත්වන කාන්තාවන් හතර දෙනෙක් තමන්ගේ නිදහස සොයාගෙන යන අතිශය සංවේදී කතාපුවතක් මේ චිත්‍රපට හරහා ඔබට නරඹන්න පුළුවන්. 

 

5. That Girl in Yellow Boots (2010)

අනුරාග් කශ්‍යප්ගේ නිර්මාණයක් වුණු මේ සිනමාපටයත් බොලිවුඩයේ නිමැවුණු සෑහෙන්න වෙනස් විදිහේ චිත්‍රපටයක්. නිසි ඇගයුම් නොලබපු නිර්මාණයක්. මේ නිර්මාණයට පාදක වෙන්නේ තමන්ගේ පියා සොයා යන බ්‍රිතාන්‍ය ඉන්දියානු සම්මිශ්‍ර යුවතියක්ගේ ජීවිතයයි. අනපේක්ෂිත අවසානයක් කරා දිවයන මේ චිත්‍රපටය ගැන කතා කරද්දී එහි ප්‍රධාන නිළි කල්කි කොච්ලින්ගේ විශිෂ්ට රංගනය ගැනත් විශේෂ සඳහනක් කළ යුතුමයි. 

 

6. Sir (2018)

නම පොඩ්ඩක් අවුල් වගේද? ඒක ගණන් නොගෙන බලන්න ඉතින්. ඇත්තටම කවියක් වගේ හරිම හිමින් ගලාගෙන යන, අපේ ඇඟට පතට නොදැනී අපිවත් සංවේදී කරන හරිම වෙනස් නිර්මාණයක් මේක. වෙනස්ම ආදර කතාවක්. නිවසක සේවයට එන තරුණ වැන්දඹු මෙහෙකාරියක් සහ ඇගේ හාම්පුතා අතර ඇතිවන ප්‍රේමණීය සබඳතාවයක් වටා තමයි මේ නිර්මාණය දිවෙන්නේ. නිතර දකින්නට ලැබෙන සාමාන්‍ය බොලිවුඩ් පෙම් කතාවකට වඩා වෙනස්ව දිවෙන මෙම චිත්‍රපට කතාව නවමු අත්දැකීමක් ඔබට සමීප කරවාවි 

 

7. Photograph (2019)

ඔබ ‘ලන්ච්බොක්ස්’ සිනමාපටයේ රසිකයෙක් හෝ රසිකාවියක් නම් අනිවාර්යයෙන් මේ නිර්මාණයත් නරඹන්න. මොකද මේ චිත්‍රපටයත් ලන්ච්බොක්ස් හි අධ්‍යක්ෂක රිටේෂ් බත්‍රාගේ ම නිර්මාණයක් නිසා. අහම්බෙන් හමුවන, අහම්බෙන් ආදරයෙන් වෙළෙන අපූරු පෙම්වතුන් දෙන්නෙක් ගැනයි මේ චිත්‍රපටය. හරිම හිමින් ගලාගෙන යන කතාවක් වුණාට ඔබේ හදවතට දැනෙන කතාවක් වේවි. හරියට අපි කලින් කතාකරපු සර් චිත්‍රපටය වගේ. ඉතින් ඒ වගේ නිර්මාණ බලන්න ආස අයට අනිවාර්යයෙන් නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක් මේක. 

 

ඉතින් මීට අමතරව තව සෑහෙන්න නිර්මාණ ඇති බොලිවුඩ් වල අපි අඩුවෙන් කතාකරන. ඉතින් මීට අමතරව ඔයා බලලා තියෙන Underrated බොලිවුඩ් නිර්මාණ ගැනත් ඔන්න අමතක නොකර අපිට කියන්න.

 

 

ශශින් ප්‍ර​බෝද්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *