රටම සැනසූ බෞද්ධ පියතුමා – මර්සලින් ජයකොඩි

කාලෙකට ඉහත දැඩි ලෙස එකිනෙකාට විරෝධය දක්වපු බෞද්ධ හා කතෝලික ජනතාව දැන් එකිනෙකා සමග තමන්ගේ විශ්වාසය දියුණු කරගනිමින් සහෝදරත්වයෙන් වාසය කරනවා. විශේෂයෙන් පාස්කු ප්‍රහාර සමයේදී මේ ලබැඳියාව වඩාත් හොඳින් පෙනෙන්නට තිබුණා. ඒ සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා වගේම කතෝලික පියතුමන්ලාත් අතීතයේ පටන් විශාල වැඩ කොටසක් කළා. ඒ අතර අතරින් වැඩිම ගෞරවය ලබා දිය යුත්තේ මර්සලින් ජයකොඩි පියතුමාටයි. මේ අපේ සටහන එතුමාගේ සුවිශේෂී ජීවිතය පිළිබඳවයි.

 

1. අසිරිමත් උපත

උන්වහන්සේ මෙලොව ජන්ම ලාභය ලැබුවේ 1902 ජුනි මස තුන් වැනිදා. සිංහල වෙද මහතෙකු වූ උන්වහන්සේගේ පියා නමින් ජයකොඩි ආරච්චිගේ ජෝශෆ්. බෞද්ධ සම්භවයක් සහිත පවුලකින් පැවතගෙන ආ ජොසපින් සේනාරත්න උන්වහන්සේගේ මවයි. එතුමා උපන් නිවෙස සඳහා මල් පැ​ළ යන නම භාවිතා කොට තිබෙනවා. කුඩා කල පටන් තාත්තා හා අම්මා ඇසුරෙන් ගැමි දිවිය සහ පැරණි සිංහල පොත පත පිළිබඳව උන්වහන්සේ දැනුම් සම්භාරයක් ලබා ගත්තා. පසුව පාසල් අධ්‍යාපනය සඳහා ශාන්ත ජෝශප් විද්‍යාලය වෙත උන්වහන්සේ ඇතුළත් වුණා.

 

2. කිතු සසුනට පිවිසීම

කුඩා කාලයේ සිටම පූජකවරයෙකු වීමේ දැඩි ආශාවෙන් පෙළුණු උන්වහන්සේගේ ඊළඟ නවාතැන වුණේ අම්පිටිය දෙව්සත්හලයි. වයස අවුරුදු විසි පහේදී පූජකවරය ලැබීමෙන් පසුව කොළඹ ශාන්ත පීතර සහ ශාන්ත ජෝශප් විදුහල්වල ගුරුවරයකු ලෙස උන්වහන්​සේ ඉන් අනතුරුව කටයුතු කළා. ඒ අතරතුර කාලයේදී සංගීතය හැදෑරීම සඳහා ඉන්දියාවේ ශාන්ති නිකේතනය බලා යෑමට උන්වහන්සේ තීරණය කළා

 

3. සිංහල බස ඉගෙනීම 

මේ කාලයේ දී උන්වහන්සේ තම ලේඛන කටයුතු සිදු කළේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. නමුත් තම මවු භාෂාව වන සිංහල භාෂාව හැදෑරීමේ ඇති වැදගත්කම වටහා ගත් උන්වහන්සේ, කුමාරතුංග මුනිදාස මහතාගේ දකුණත් සව් වැනි ජයන්ත වීරසේකර මහතා ඇසුරෙන් සිංහල භාෂාව හැදෑරුවා. අවසානයේදී උන්වහන්සේ ලංකාවේ පැරණිතම සිංහල කතෝලික පුවත්පත වන ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ කතුවරයා බවටත් පත් වුණා.

 

4. මර්සලින් ජයකොඩි ගී මග 

ඒ තාක් කල් කතෝලික බැති ගීවලින් ඇසුනේ බටහිර ස්වභාවයක්. නමුත් මර්සලින් ජයකොඩි පියතුමා සීයට සීයක් දේශීයකරණයට ලක් වූ කතෝලික බැති ගී රාශියක් රචනා කළා. “කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ”, “සීනු හඬින් ලොව පිබිදෙනවා” ආදී කතෝලික බැති ගී ලියැවුණේ එතුමාගේ පන්හිඳෙන්. ඒ වගේම “රේඛාව” චිත්‍රපටිය සඳහා එතුමා රචනා කළ ගීත අදටත් ජනප්‍රියයි 

 

5. ලැබුන ගරු සම්මාන

උන්වහන්සේගේ කවි අග​ය කළ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය එම සම්මේලනයේ සභාපති ධුරය සඳහා මර්සලීන් ජයකොඩි පියතුමාව ඒකමතිකව ​පත් කරගනු ලැබුවා. ඒ වගේම 1983 වර්ෂයේදී ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස හැඳින්වෙන රාමොන් මැග්සයිසේ සම්මානය උන්වහන්සේ වෙත පිරිනමනු ලැබුවේ ලංකාවේ සාහිත්‍යයට සහ පුවත්පත් කලාවට සිදු කළ මෙහෙය නිසයි. 1983දී විද්‍යාලංකාර පිරිවෙන මඟින් කාව්‍යශාස්ත්‍ර ශිරෝමනී නම් ගෞරව නාමය ද උන්වහන්සේට පිරිනමනු ලැබුවා.

 

6. ස්වර්ගස්ථ වීම 

1998 ජනවාරි 15 වැනිදා වයස අවුරුදු අනූ පහේදී එතුමා ස්වර්ගාරෝහණය සිදුකළා. එතුමාට ගෞරවය දැක්වීම සඳහා දසදෙසින් කතෝලික ජනතාව මෙන්ම බෞද්ධ ජනතාවද එක්රැස් වුණා. එසේම එම අවමංගල්‍ය අවස්ථාව සඳහා වැඩි වශයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් සහභාගි වුණා.

 

7. චරිතාපදානය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ධුරය වර්තමානයේ හොබවන්නේ ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝයි. උන්වහන්සේ මෑත කාලයේ වැඩවාසය කරපු සංඝ පීතෘවරුන් වහන්සේලාගේ චරිත කතා ලේඛනගත කිරීමට වැඩි වශයෙන් ප්‍රිය කළ භික්ෂූන්වහන්සේ නමක්. බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි, රේරුකානේ චන්දවිමල මහ නාහිමි, මාපලගම විපුලසාර හිමියන් පිළිබඳව රචනා කළ චරිතාපදානය සහ බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හිමි පිළිබඳව රචනා කළ චරිතාපදානය ඒ අතරින් විශේෂයි. නමුත් උන් වහන්සේ රචනා කළ මර්සලින් ජයකොඩි පියතුමා​ගේ චරිතාපදානය ඒ අතරිනුත් අතිශයින් සුවිශේෂීයි. ඒ එ​ය ලොව පළමු වතාවට බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් කතෝලික පියතුමෙකුගේ  චරිතාපදානය රචනා කළ අවස්ථාව වීමයි. උන්වහන්සේගේ එම චරිතාපදානය නම් කළේ “මල් පැලේ උපන් පන්සලේ පියතුමා” ලෙසටයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් ප​ළ කරන්නත් අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *