ආසියානු පෙනුම තියන බොලිවුඩ් නළු නිළියන්ට හොලිවුඩය තුළත් සෑහෙන හොඳ ඉල්ලුමක් තියනවා. බොලිවුඩ් නළු නිළියක් රැසක්ම මේ වෙද්දි හොලිවුඩ් නිර්මාණවලට දායක වෙන්නත් සමත් වෙලා තියනවා. තවත් සමහරුන්ට නොයෙකුත් හේතු නිසා සුපිරි හොලිවුඩ් නිර්මාණවලට දායක වෙන එක මගහැරිලත් තියනවා. අද අපි කියන්න යන්නේ අන්න ඒ විදිහේ හොලිවුඩ් චරිත මග හැරී ගිය බොලිවුඩ් තරු 7ක් ගැනයි, ඒ අයට මගහැරුණු චිත්‍රපට ගැනයි.
1. ඉර්ෆාන් ඛාන් – Interstellar
සුපිරි හොලිවුඩ් චිත්‍රපටයක් හරහා ලෝක අවධානයට ලක් වෙන්න ඉර්ෆාන් ඛාන්ට වතාවක් හැකි වුණා. ඒ ‘Life of Pi’ චිත්‍රපටය හරහා. හැබැයි ඉර්ෆාන් ඛාන්ට තමන්ගේ නම බොලිවුඩයේ සනිටුහන් කරන්න තිබ්බ තවත් ලොකු අවස්ථාවක් මග හැරෙනවා ඔහුගේ කාර්යබහුලකම නිසාම. ඒ අවස්ථාව ලැබෙන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි සුපිරි අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලාන්ගෙන්. 2014 වසරේ අති සාර්ථක වුණු Interstellar චිත්‍රපටයේ මැට් ඩේමන් විසින් රඟපාපු චරිතයට තමයි ඉර්ෆාන්ට ආරාධනා ලැබෙන්නේ. හැබැයි ඒ සඳහා මාස කීපයක් අමෙරිකාවේ නැවතිලා ඉන්න ඉර්ෆාන්ට සිද්ධ වෙන තත්ත්වයක් තිබ්බේ. ඒ වෙද්දි ‘D-Day’ සහ ‘Lunchbox’ කියන චිත්‍රපටිවල වැඩ කටයුතු කරමින් හිටපු නිසා ඉර්ෆාන්ට කණගාටුවෙන් වුණත් මේ ආරාධනාව ඉවතලන්න සිද්ධ වෙලා තියනවා.
2. නස්රුදීන් ෂා – Harry Potter
හැරී පොටර් චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය වුණු ‘Chamber of secrets’ චිත්‍රපටයේ රංගනයෙන් පස්සේ එහි ඩම්බල්ඩෝ චරිතය රඟපාපු රිචර්ඩ් හැරිස් අභාවප්‍රාප්ත වෙනවා. ඉන් පස්සේ එන චිත්‍රපටිවලට ඩම්බල්ඩෝර් චරිතය නිරූපණය කරන්නට ඉන්දියාවේ නස්රුදීන් ෂා හටත් ආරාධනාවක් ලැබෙනවා. හැබැයි නස්රුදීන්ව කෙලින්ම තෝරගන්නේ නැහැ. කුසලතා පරීක්ෂණයක් (Audition) හරහා තමයි නස්රුදීන්ට මේ සඳහා අයදුම් කරන්න ආරාධනාව ලැබෙන්නේ. හැබැයි නස්රුදීන් මේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ ඩම්බල්ඩෝ චරිතය රඟපෑමට තමන් කැමති නමුත් එක එක පරීක්ෂණවලට මුහුණ දීලා ඒ තැනට යන්න තමන් අකමැතියි කියලයි. මීට කලින් නස්රුදීන් ‘The League of Extraordinary Gentlemen’ චිත්‍රපටයේ කැප්ටන් නීමෝ චරිතය හරහා හොලිවුඩයට පා තබලා තිබ්බත් ඒ චිත්‍රපටය ඒතරම් සාර්ථක එකක් වුණේ නැහැ.
3. ෂාරුක් ඛාන් – Slumdog Millionaire
බොලිවුඩයේ කොයි තරම් ජනප්‍රිය වුණත් හොලිවුඩය ඇතුළේ ෂාරුක් ඛාන්ව දැකගැනීමේ ආශාව ඔහුගේ රසිකයින්ට ලැබුණේ නැහැ. මෙහෙම වෙන්න හේතුව හොලිවුඩයෙන් ෂාරුක්ට ආරාධනා නොලැබීම නෙමෙයි, ආරංචියේ හැටියට ෂාරුක් ඛාන්ට හොලිවුඩයෙන් ආරාධනා රැසක් ලැබිල තියනවලු. හැබැයි ඒ ආරාධනා ලැබුණු චරිත තමන්ට ගැලපෙන්නේ නැති බවත්, තමන්ගේ ප්‍රතිරූපයට හානිදායක වෙන්න පුළුවන් බවත් නිසා ෂාරුක් ඒ හැම එකක්ම ප්‍රතික්ෂේප කරල තියනවලු. ෂාරුක් ඒ විදිහට ප්‍රතික්ෂේප කරපු එක චිත්‍රපටයක් තමයි ‘Slumdog Millionaire’ කියන්නේ. ඒ චිත්‍රපටයේ අනිල් කපූර් විසින් රඟ දක්වපු ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මෙහෙයවන්නාගේ චරිතය තමයි ෂාරුක් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ.
4. අයිෂ්වර්යා රායි – Troy
ලේසියෙන් ආසියානු නිළියකට නොලැබෙන විදිහේ චරිතයක් තමයි අයිෂ්වර්යා රායි ප්‍රතික්ෂේප කරන්නේ. 2004 දී තිරගත කරපු වුල්ෆ්ගෑන්ග් පීටර්සන්ගේ ට්‍රෝයි නුවර ඉතිහාසගත පුවත රැගත් මේ චිත්‍රපටයෙදි අයිෂ්වර්යාට රඟපාන්න තිබ්බේ බ්‍රැට් පිට් සමගයි. කොහොම වෙතත් මේ චිත්‍රපටයෙදි බ්‍රැඩ් පිට් එක්ක අනුරාගය මුසු වෙච්ච දර්ශන කීපයකට මුහුණ දෙන්න නියමිතව තිබුණු නිසා අයිෂ්වර්යා මේ චිත්‍රපටය ප්‍රතික්ෂේප කළා කියලයි දැනගන්න ලැබෙන්නේ. අවසානයේදී තවත් සුන්දර හොලිවුඩ් නිළියක් වන රෝස් බර්න් හට මේ චරිතය හිමි වුණා.
5. රිතික් රෝෂන් – Rambo / Pink Panther 2/ Furious 7
බොලිවුඩයේ සිහින කුමරෙක් හැටියට වැජඹෙන රිතික්ට තියෙන්නේ හොලිවුඩයටත් වඩා සමීප පෙනුමක් කියල අපි කිවුවොත් වැරදි නැතිවෙයි. මේ තරුවට විටින් විට හොලිවුඩ් චිත්‍රපට සඳහාත් නොයෙක් ආරාධනා ලැබිල තියනවා. අයිෂ්වර්යා රායි රඟපාපු ‘පින්ක් පැන්තර්’ හොලිවුඩ් චිත්‍රපටයට රිතික්ටත් ආරාධනා ලැබෙන නමුත් ඒ චරිතය තමන්ට සැර මදි කියල හිතන රිතික් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ හේතුව නිසාම සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ ‘රැම්බෝ’ චිත්‍රපටයෙත් උප ප්‍රධාන චරිතයක් රිතික් විසින් ප්‍රතික්ෂේප කරනවා. ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටි මාලාවක් වෙන ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ සීරීස් එකේ 7 වෙනි චිත්‍රපටයටත් රිතික්ට ආරාධනා ලැබෙනවා. ඒකත් ඔහු ප්‍රතික්ෂේප කරන්නේ වින් ඩීසල්, පෝල් වෝකර්, ඩ්වේන් ජොන්සන් වගේ නළුවන්ට යට වෙච්ච චරිතයක් ඔහුට රඟපාන්න වෙන නිසයි. මේ විදිහට බලන් යද්දී රිතික්ට ප්‍රධාන චරිතයක්ම ලැබෙන්න ඕන බවයි පේන්නෙ හොලිවුඩයේ නම තියන්න නම්.
6. දීපිකා පදුකෝන් – Furious 7
අපි කලින් කියපු ‘ෆියුරියස් 7’ චිත්‍රපටයට දීපිකා පදුකෝන්ටත් ආරාධනා ලැබෙනවා. නමුත් ඇයත් මේ චිත්‍රපටයේ චරිතය ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතු වෙන්නේ රිතික් වගේ ප්‍රධාන චරිතයක් නොලැබීම නම් නෙමෙයි, ඇය ඒ වෙද්දි ෂාරුක් ඛාන් එක්ක ප්‍රධාන චරිතයක් රඟපාන ‘Happy New Year’ චිත්‍රපටයේ වැඩ කටයුතුවල නිරත වෙමින් ඉන්න නිසායි. මේ හින්දා දීපිකා ඒ චිත්‍රපටය ප්‍රතික්ෂේප කළත් හොලිවුඩ්වල තමන්ගේ සටහන තියන්න දීපිකාට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. 2017 දී XXX: Return of Xander Cage චිත්‍රපටයේ වින් ඩීසල් සමග රඟපාමින් ඇය හොලිවුඩයේ තම නම සලකුණු කරනවා.
7. ප්‍රියංකා චෝප්රා – Immortals
මේ වෙද්දි නම් ප්‍රියංකා චෝප්රා අමෙරිකානු සිනමාවේ වගේම ටෙලි සීරීස් වලත් තමන්ගේ රංගන දායකත්වය දක්වලා තියෙන්නේ. දැන් බොලිවුඩයට වඩා ප්‍රියංකා අයිති වෙන්නේ හොලිවුඩයටද කියලත් වෙලාවකට හිතෙනවා. කොහොම වෙතත් මීට දශකයකට විතර උඩදී ප්‍රියංකාට සිද්ධ වෙනවා හොලිවුඩ් චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කරන්න. ෆැන්ටසි කතාවක් රැගත් ‘ඉමෝටල්ස්’ තමයි ඒ චිත්‍රපටය. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මේ වෙද්දි ‘ ද විචර්’ සීරීස් එක හරහා අති මහත් ජනප්‍රියත්වයක් ලබාගෙන ඉන්න හෙන්රි කැවිල්. කොහොම වුණත් මේ ආරාධනාව ලැබෙද්දී ප්‍රියංකා ‘සාත් කූන් මාෆ්’ චිත්‍රපටය වෙනුවෙන් කාර්යබහුල වෙලා හිටපු නිසා ඇයට සිද්ද වෙනවා චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන්න. ඒ වෙනුවට තවත් ඉන්දීය නිලියක් වන ෆ්‍රීඩා පින්ටෝට ඒ අවස්ථාව හිමි වෙනවා.
Leave a Reply