ලංකාවේ දේශපාලනඥයන් ගැන රස කතා – 5 කොට​ස

මේ ලිපි පෙළ ගැන ආපහු අමුතුවෙන් හඳුන්වාදීමක් කරන්න ඕන නෑ. ඕනම නම් අපේ කලින් ලිපි පෙළ පහත ලින්ක් හරහා කියවලා බලන්න. එතකොට ඒ ගැන තේරුම් ගන්න පුළුවන්.

ලංකාවෙ දේශපාලනඥයින් ගැන රස කතා – 1 කොටස

ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 2 කොට​ස

ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 3 කොටස

ලංකාවෙ දේශපාලනඥයින් ගැන රස කතා – 4 කොටස

ලංකාවේ දේශපාලනඥයන් ගැන රස කතා – 5 කොට​ස

1. කරපිංචා

සති දෙකකට විතර කලින් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දෙල්කඳ පොළේ ගිහිල්ලා කරපු කතාවක් නිසා ඔහුව අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරීමට ජනාධිපතිවරයා තීරණය කරලා තිබ්බා. මේ පිළිබඳව දේශපාලන ලෝකයේ විවිධ කතාබහ ඇති වුණා. දින කීපයකට පස්සෙ හිටපු අමාත්‍ය නිර්මල කොතලාවල තමන්ගේ ෆේස්බුක් පිටුවේ කරපිංචා ඉත්තක ෆොටෝ එකක් සමග සටහනක් දාලා තිබ්බා. එතුමා සඳහන් කරලා තියෙන විදිහට සුසිල් ප්‍රේමජයන්ත පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම්වරයා විදිහට කටයුතු කරද්දී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මහින්ද රාජපක්ෂ ද එහෙම නැත්නම් අනුර බණ්ඩාරනායක ද යන්න පිළිබඳව විශාල සංවාදයක් ඇතිවී තිබෙනවා. එහිදී සුසිල් ප්‍රේමජයන්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ නම ඇතුළත් නොවන කිසිම අපේක්ෂක අයදුම්පත්‍රයකට තමන් විසින් අත්සන් නොතබන බවයි. මේ විදිහට මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමනේ සන්ධිස්ථානයක් සඳහා හේතු වුණු සුසිල් ප්‍රේමජයන්තට තමයි අද ඒ ඉරණම අත් වෙලා තියෙන්නෙ.

2. මේ හකුරා

මෑතකදී මියගිය ගුණරත්න වීරකෝන් කියන්නේ මහත්මා දේශපාලනයේ නියුතු වුනු පුද්ගලයෙක්. රාජපක්ෂවරුන්ගේ සමීප හිතවතෙකු වූ ඔහු සිය දේශපාලන ජීවිතයේ අවසාන සමයේ දී රාජපක්ෂ විරෝධී බවට පත්වුණා. ඔහු සඳහන් කර තිබුණේ සිය හෘද සාක්ෂිය මත එම තීරණය ගත් බවයි. ඔහුගේ මරණයත් සමඟ ඔහු සිය දේශපාලන ගමන තුළ කටයුතු කළ ආකාරය පිළිබඳව විවිධ කතාබහ ඇතිවුණා. තමන් නියෝජනය කළ කුලය පිළිබඳව අභිමානයකින් පසුවන ඔහු එක්තරා අවස්ථාවකදී පොලිසියෙන් සිදු වූ අසාධාරණයකට එරෙහිව පැමිණිලි කිරීමේ දී පවසා ඇත්තේ පොලිසිය නිසි ලෙස නීතිය ඉෂ්ට කළ යුතු බවත්, එසේ නැතිනම් මේ හකුරා නීතිය ක්‍රියාත්මක කරන ආකාරය දන්නා බවත්ය.

3. මැරුණේ කවුද?

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා මියගියේ සිය දේශපාලන චරිතය පිළිබඳව යම් ප්‍රශ්නයක් තබමින්. විශේෂයෙන්ම ගුරු වර්ජනය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශන ඔහුගේ මාක්ස්වාදී චින්තනයට කෙසේ සමපාත වනු ඇතැයිද යන්න පිළිබඳව බොහෝ දෙනා විමතිය පළ කළා. කෙසේ නමුත් ඔහුගේ මරණයෙන් පසුව සිදුවූ එක්තරා සිදුවීමක් හාස්‍යයක් මෙන්ම කම්පාවක්ද ඇති කළා. ඒ වාරියපොල ප්‍රාදේශීය සභාව මගින් එතුමාගේ මරණයට ශෝකය පළකිරීමේ දැන්වීමක් සඳහා භාවිතා කර තිබුණේ රාජා කොල්ලුරේගේ රුව නොව හිටපු වයඹ පළාත් ආණ්ඩුකාරවරයෙකු වන මුසම්මිල් මහතාගේ රුව වීමයි. ඔහු වර්තමානය වන විට ඌව පළාතේ ආණ්ඩුකාර ධූරය හොබවනු ලබනවා. තම පළාතේ ආණ්ඩුකාරවරයා පවා නොහඳුනන පරිපාලන ඒකකයක් මහජන සේවය කෙසේ සිදු කළේද යන්න පිළිබඳව ගැටළුවක් පවතිනවා.

4. සුදු ටීචර්

රේණුකා හේරත් කියන්නේ අපේ රටේ කාන්තා දේශපාලනය තුළ නොමැකෙන නමක් සටහන් කළ චරිතයක්. ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස ඇය තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය පාරම්පරිකව එක්සත් ජාතික පක්ෂයට හිතැති දේශපාලන පවුලක සාමාජිකාවක් වූවා. එනිසාම ඇයට ඒ නිසාම දිගින් දිගටම ස්ථාන මාරුවීම් පවා ලැබුණා. තමන්ට සිදු වන මෙම අසාධාරණකමට එරෙහිව සංකේතාත්මක විරෝධයක් පළ කරන්න ඇය අවසානයේදී තීරණය කරනවා. ඒ වසර ගණනාවක් තිස්සේ සුදු සාරියක් අඳින්න පටන් ගැනීමෙන්. මේ නිසා එකල පාසල් දරුවන් ඇයට සුදු ටීචර් කියන නමින් ආමන්ත්‍රණය කරන්න පටන් ගෙන තියනවා.

5. බණ්ඩාරනායක මහතා කී කවිය

මාතලේ දිස්ත්රික්කය නියෝජනය කළ ආරම්භක මන්ත්‍රීවරයෙකු වූ ටී. බී. තෙන්නකෝන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙක්. සිංහල සංස්කෘතිය කෙරෙහි දැඩි කැක්කුමකින් පසු වූ ඔහු සුප්‍රකට හිටිවන කවියෙක් ද වුණා. ඔහුගේ ඇතැම් දේශපාලන රැස්වීම් පවා කවි මඩු වල ස්වරූප ගත්තා. දවසක් ඔහු බණ්ඩාරනායක මහතා දෙස බලාගෙන කවියක් කිවුවා. ඒ අවස්ථාවේදී මයික්‍රෆෝනය වෙත ගිය බණ්ඩාරනායක මහතා ඊට පිළිතුරු ලෙස මේ කවිය කිව්වා.

මට
කවි කියන්නට
බැරුවට
සමාවෙන්ට

6. බණ්ඩාරනායක මහත්මියගේ කම්මුල් පහර

එක්තරා අවස්ථාවක සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වමින් සිටි අනුර බණ්ඩාරනායකව සිය නිල මැදිරිය වෙත කැඳවූවා. ඇය විපක්ෂනායකවරිය විදිහට කටයුතු කරමින් හිටපු ඒ කාලේ ආග්‍රමාත්ය ධුරය දරමින් සිටියේ රණසිංහ ප්‍රේමදාස මහතායි. තම මැදිරියට පැමිණි වහාම අනුරට කම්මුල් පහරක් ගැසූ සිරිමාවෝ මැතිණිය, “ප්‍රේමදාස කියන්නේ මේ රටේ අගමැති. අගමැතිතුමාට ගරු කරන්න ඉගෙන ගන්න” කියලා අනුරට ලොකු දේශනයක් දීලා තියෙනවා. පරස්පරතා කෙතරම් පැවතියත් අග්‍රාමාත්‍යවරයාට නිසි ගෞරවය ලබා දිය යුතු බව ඇගේ මතය වුණා.

7. නිරෝෂන් සහ නාලක

පසුගිය දවසක ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ධුරයේ නිල කටයුතු භාර ගත්ත නිරෝෂන් ප්‍රේමරත්න අපූරු සටහනක් තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබ්බා. ඒ ඔහු නිවේදකයෙක් විදිහට ස්වාධීන රූපවාහිනී සේවයේ සේවයට එද්දී තමන්ව නිව්ටන් ගුණරත්න සභාපතිවරයාගේ නිල මැදිරියට ගෙනගොස් සභාපතිවරයාට හඳුන්වා දීමට උත්සාහ කළ නාලක නම් කාර්යාල සහායකයා පිළිබඳවයි. නිරෝෂන් ප්‍රේමරත්න සභාපතිවරයා බවට පත් වෙද්දී ඔහුගේ කාර්යාල සහායකයා බවට පත්වන්නේද නාලකයි.

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *