ජලයට වර්ණ එකතු වෙන හැම අවස්ථාවකම ජලය අපවිත්‍ර වෙන්නෙ නැහැ. ජලය පිරිසිදු කර අපේ වීදුරු වලට එද්දි නම් අවර්ණයි. ඒ වගේම වනාන්තර වල ගලායන දොළ පාර වල ජලයත් බොහෝවිට අවර්ණයි. ඒත් මුහුදු ගංගා වල ජලය එක එක පාට ගන්නවා. ඉතින් අපි මේකට හේතු ටිකක් හොයා බලමු.
1. මුහුදු නිල්
මුහුදු ජලය මගින් වර්ණාවලියේ ඇති රතු සහ අනෙක් වර්ණ අවශෝෂණය කර පෙරා හරිනවා. එයින් නිල් වර්ණය පමණක් මුහුදු ජලය තුළට ගමන් කරනවා. ඒ වගේම මුහුදු ජලය බොහෝවිට ගැඹුරුයි. ඒ එක්ක තවත් අඳුරු පැහැයක් මුහුදට එකතු වෙනවා. අහස නිල්පාට නිසාත් මුහුද නිල්පාට වෙන වෙලාවල් තියනවා. ඒත් මූදේ කිමිදුණාමත් ඇතුළේ තියෙන පාටත් අපිට පේන්නේ නිල් පාටට. මේ නිසාම මිනිස්සු කුඩා අවදියේ චිත්‍ර වල ජලය නිරූපණය කරන්න නිල් පාට පාවිච්චි කරනවා. ඒත් සුනාමි වෙලාවේ ගොඩට ගැහුව මූදු වතුර නිල්පාට නැහැ. එතකොට මූදු වතුර වෙරළේ තියෙන අපද්‍රව්‍ය සහ ගොඩබිම අපද්‍රව්‍ය එක්ක මුහු වෙලා කළුපාට විදිහට තමයි ගොඩට ආවේ.
2. ගංවතුර
ගංවතුර සහ ගංගා වල වැසි කාලයට යන වතුර දුඹුරු පාටක් ගන්නවා. මේ විදිහට දුඹුරු පාට, රතු පාට, කළුපාට ගංගා වතුර තියෙන්නේ ඒ කලාපයේ තියෙන පස අනුව. කොළඹ දිහා ගංවතුර ගැලුවාට වතුර කළුපාට වෙනවා. මොකද වතුරට එකතු වෙන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩියි. ගංගා වලින් වතුර බීමට ගන්නට පිරිසිදු කරද්දි මේ මඩ පහලට මිදෙන්න වතුර විශාල ටැංකි වල දින කිහිපයක් ගබඩා කරලා තියෙනවා. වන වැස්ම අඩු වීම එක්ක පොළවට කෙලින්ම වැටෙන ජලය වැඩියි. ඒ එක්ක දුඹුරුපාටට ගලන ගංගා ජලයත් දැන් එන්න එන්නම වැඩි වෙනවා.
3. අවර්ණ ජලය
සිංහරාජ වගේ වැසි වනාන්තරයකට ගියාම ඒ දොළ පාරවල හමු වෙන වතුර තුළින් මීට කිහිපයක් වුණත් පතුල බලන්නට පුළුවන්. ඒ වනාන්තර පරිසරය තුළ තිබෙන ජලය ඉතාම පිරිසිදු නොවුනත් මඩ සහ අනෙකුත් ද්‍රව්‍ය ඉබේම පෙරිලා එන නිසා ජලය තුළින් ආලෝකය ගමන් කරලා අපට පතුල පෙන්වනවා. මේ ආකාරයේ ජලය ලෝකයේ ඉතාම දුර්ලභයි. ඉස්සර නම් ගම් වල නාන ළිං වල එහෙමත් මේ විදිහට පතුල පේන කදිම ජලය තිබුණා. ඒත් දැන් දැන් අපිට ඇතැම්විට පිරිසුදු කරලා එන ජලය වුණත් ඒ විදිහේ ක්‍රිස්ටල් ක්ලියර් ස්වභාවයක් ගන්නෙ නැහැ.
4. බේරේ වැවේ වතුර කොළ පාට
බේරේ වැවේ වතුර සහ නාගරික කලාප ආශ්‍රිතව තිබෙන ජලය කොළ පාටයි. ඒ කොළපාට වෙන්නේ ජලයේ තිබෙන නයිට්‍රජන් සහ පොස්පරස් වැනි ඛනිජ ද්‍රව්‍ය වැඩි නිසා. අපේ දැන් වගා වලට එකතු කරන පොහොර වර්ග ජලයට එකතු වීමත් මේ ජලය කොළ පාට වෙන්න එක හේතුවක් වෙනවා. එතකොට ඒ ජලය තුළ කොළ පාට ඇල්ගී වර්ග ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. ඉන් පස්සේ ජලයේ ඔක්සිජන් ප්‍රමාණයත් ඒ ඇල් ගී විසින් ග්‍රහණය කරගෙන මාළුන්ටවත් ජීවත් වෙන්න බැරි ඇතැම් විට ගඳ ගහන වටපිටාවක් ඒ ජලය තුළ නිර්මාණය කරනවා.
5. කඳුකර වතුර කොළ පාට
හිමාලය සහ ඒ කඳුකර වලින් එන ජලය වගේම නවසීලන්තය ස්විට්සර්ලන්තය වගේ රටවල කඳුකරයෙන් එන ජලයත් කොළ පැහැයක් ගන්නවා. මේකට එක හේතුවක් තමයි ඛනිජ ද්‍රව්‍ය. එතනදි අනෙක් වර්ණයන් අවශෝෂණය කරගෙන කොළ සහ නිල් පාටට ප්‍රමුඛතාවයක් දීම තමයි සිදු වන්නේ. මෙහිදී කඳුකරය තුළින් ජලය ගලා ඒමේදී ජලයට ඒ අදාළ ඛනිජ ද්‍රව්‍ය ස්වල්ප වශයෙන් මුසු වෙනවා. එසේම හිම ලෙස ගොඩ ගැසී තිබෙන ග්ලැසියර දිය වීමෙන් පසුවත් ඒ භූගත ජලය හරහා මේ ඛනිජ තියෙන ජලය ජල මූලාශ්‍ර වලට එකතු වෙනවා. මේ ඛනිජ ද්‍රව්‍ය අතර තියෙන කැල්සියම් කාබනේට් වලින් ජලය කොළ පැහැ වෙන්නට ලොකු දායකත්වයක් ලැබෙනවා.
6. කළු වතුර
කළු වතුර කියද්දි දූෂිත ජලය කොටසක් ඇල් ගී විදිහටත් තවත් කොටසක් කළු වතුර විදිහටත් තියෙනවා. නාගරික කාණු වලින් ගලායන ජලය කළු පාටක් ගන්නවා. බංග්ලාදේශය වගේ රටවල මහා ගංගා තිබුණත් ඔවුන් කසල ජලයට එකතු කිරීම සහ කාර්මික අපද්‍රව්‍ය එකතු කිරීම නිසා බංගලිදේශයේ ගංගා ජලය කළු පාට වෙලා තියෙනවා. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ජලයට මේ කළු පාට එකතු වුණත් ඉන් පසු මේ වර්ණ නැතිකරන්න ජලය පිරිසිදු කරගැනීම නම් ලේසි වැඩක් නෙමෙයි.
7. රතු පාට
රතුපාට වතුර එන්න යකඩ සහ මැංගනීස් හේතු වෙනවා. මේ ලෝහ ස්වාභාවිකවම එකතු වෙන විල් ජලාශ ආදියේ ජලය මඩ සහ රතු පැහැයක් ගන්නවා. එසේම විවිධ ආකාරයෙන් ජලයට මේ යකඩ සහ මැංගනීස් එකතු වුණාමත් වතුර රතු පැහැ ගන්නවා. රෙදිපිළි සහ වානේ කර්මාන්ත වලින් නිකුත් වෙන ජලයත් ඇතැම් විට රතු පාට වෙනවා… ඒත් ඒ නම් පිරිසිදු රතුපාටක් නෙමෙයි.
මුහුදු ජලය වුණත් ජලයේ සංයුතිය වෙනස් වන විට පාට වෙනස් වෙනවා. හොඳින් වැසි වහින කාලයට ගංගා මෝය කට ආසන්න මුහුදු ජලය මඩ ස්වභාවයක් ගන්නේ ඒ නිසා. ඒ ආකාරයට ජලයේ සංයුතිය ස්වාභාවික හේතු නිසා වගේම මනුෂ්‍ය මැදිහත් වීම් හරහාත් වෙනස් වෙනවා. ඉතින් ජලය වර්ණය වෙනස් වෙලා අපවිත්‍ර වුණාට පස්සේ ආයෙමත් ජලය අවර්ණ කරන්න අපිට විශාල කාලයක්, මුදලක් වියදම් වෙනවා. ඒ නිසා තිබෙන ජලය ඒ ආකාරයෙන් රැක ගැනීම අපි හැමෝගෙම යුතුකමක් වෙනවා.
Leave a Reply