හොල්මන් ටවුමක් නැතිනම් ගෝස්ට් ටවුන් එකක් කියන්නේ මොකද්ද? නමේ හැටියට නං, මිනිස්සු අත්ඇරලා දාලා, දැන් හොල්මන් විතරක් සැරිසරන ටවුන් එකක් වෙන්න ඕනනේ? අර සයිලන්ට් හිල් ෆිල්ම් එකෙ එහෙම බැලුවා නං ඔය ඒක සහතිකයි කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් හිතන්න මිනිස්සු අතෑරලා දාලා ගියපු ටවුමකට මොකද වෙන්නෙ කියලා. ටිකෙන් ටික සොබාවදර්මය ඇවිත් මිනිස්සු හදපු ගොඩනැගිලි අනං මනං වසාගන්නවා. පාළු, මූසල ගතියක් මුළු ටවුමම වෙලා ගන්නවා. සත්තු සර්පයි මිනිස්සු වෙනුවට ඇවිත් පදිංචි වෙනවා. එතකොට හොල්මං? ඔව්, ඒවත් ඇති!
හැබැයි ඇත්තටම ඉංග්‍රීසි භාෂාවෙන් ගෝස්ට් ටවුන් එකක් කියන්නේ, ඇත්තටම හොල්මන් තියෙන ටවුමකට නෙවෙයි. හැබැයි අර මිනිස්සු අතෑරලා දාලා ගිහින්, කැලේට හරි කාන්තාරෙට හරි යට වුණු, සත්තු සරපයින්ගේ ආධිපත්‍යය විතරක් තියෙන, හොල්මන් ගතියක් පේන ටවුන් වලට තමයි ගෝස්ට් ටවුන් කියන්නේ. මේ සමහර එව්වා ඇත්තටම මේ වෙනකොට සංචාරක ආකර්ෂණය දිනාගනිපු තැන්. අන්න ඒ නිසා අපි හිතුවා ලෝකේ තියෙන ගෝස්ට් ටවුන් කීපයක ලිස්ට් එකක් අරගෙන එන්න. අඩු ගාණේ ඊලඟ ලෝක සංචාරයේදී හරි මෙයින් එකක් බලන්න යන්න බැරියැයි!
1. ජපානයේ හෂිමා දූපත
හෂීමා (Hashima) යනු දකුණු දිග ජපානයේ නාගසාකි වෙරළට මයිල නවයක් පමණ එපිටින් තියෙන, අක්කර දහසයක පමණ භූමිභාගයකින් යුත් දූපතක්. මුහුද යට ගල් අඟුරු නිධි හෑරීම සඳහා මෙම දූපත්වාසීන් යෙදී සිටි අතර, 1887 සිට 1974 පමණ කාලය පුරාවට මෙය ජනයාගෙන් පිරී ගිය සමෘද්ධිමත් නගරයක් බඳු වුණා. කෙසේ නමුත්, පෙට්‍රෝලියම් භාවිතය බහුල වීමත් සමගින් එම සමෘද්ධිය සිඳී ගිය අතර, දූපත් වාසීන් ක්‍රමයෙන් දූපත අතැර ගියා. දැන් අද වෙනකොට හෂිමා දූපතේ ඉතිරි වෙලා තියෙන්නේ පාළු මී වදයක් වගේ ඈතට පේන අති දැවැන්ත කොන්ක්‍රීට් තට්ටු ගෙවල් සහ වල් බිහිවී ගිය ගොඩනැගිලි විතරයි. කොහොම වුණත් 2015 දී යුනෙස්කෝ ලෝක උරුමයක් විදියට මේ දූපත නම් කෙරුණත්, තාමත් ඒක හොල්මන් දූපතක්ම තමයි.
2. ප්‍රංසයේ ඔරාඩූර්-සුන් ග්ලාර්න්
ඔරාඩූර්-සුන් ග්ලාර්න් (Oradour-sur-Glane) කියන්නේ දෙවන ලෝක යුද්ධයේ බොහෝම අමිහිරි මතකයන්ට මුහුණ දෙන්නට සිදුවුණු ප්රංස නගරයක්. 1944 ජූනි මාසේ යුද්ධය ඇවිලී යන අතරෙදි, නාසි සොල්දාදුවෝ සැකකලා මේ නගරේ ඉන්න අය ප්රංස විරෝධතාකරුවන්ට සහාය ලබාදෙනවා කියලා. ඒකට පළිගැනීමක් සහ අනික් අයට ආදර්ශයක් ලබාදීමක් විදියට, නාසි හමුදා විසින් ඔරාඩූර්-සුන් ග්ලාර්න් වල ජීවත් වුණු නගරවැසියන් 642 ක් විතර එකතු කරලා සමූල ඝාතනය කළා. ඒ වගේම නගරේ නිවාස වලින් වැඩි ප්‍රමාණයක් පුළුස්සලා බිමට හළු කලා. ඉතිහාසේ කියවෙන විදියට පිරිමින්ව ධාන්‍යාගාර වලට ගාල් කරලා මැෂින් තුවක්කු වලින් මරා දාපු අතර, ළමයින්ව සහ කාන්තාවන්ව පල්ලි වලට ගාල් කරලා පුපුරණ ද්‍රව්‍ය සහ ගිනිගන්නා ග්‍රෙනේඩ් වලින් මරා දැමුණලු. ඉතිරි නගරවාසීන් මැරුණු අයව අතෑරලා පලා ගිහින්. ඊට පස්සේ වුනත් ප්රංස රජය මේ ටවුම ආයෙත් අලුතින් හැදුවෙ නෑ. හිටපු ප්රංස ජනාධිපති චාල්ස් ඩිගෝල් කිව්වා අර විනාශ කරපු නගර කොටස ඒ විදියටම තියන්න කියලා, අර මරාදැමුණු පුරවැසියන්ව සිහිපත් වෙන්න. මේ වෙනකොට ඔරාඩූර්-සුන් ග්ලාර්න් ස්මාරකයක් සහ කෞතුකාගාරයක් පවා වුණත්, තාමත් නගරය අත්හැර දැමුණු ගෝස්ට් ටවුන් එකක් තමයි.
3. කැලිෆෝර්නියාවේ බෝඩී
කැලිෆෝර්නියාවේ බෝඩී (Bodie) කියන්නේ 1876 දී විතර නිල වශයෙන් නගරයක් කියලා නම් කෙරුණු, නගරාශ්‍රිත කඳුකරයේ රත්තරන් සහ රිදී නිධි හම්බුණු තැනක්. මේ කාලේ ඇමරිකාව පුරා ඇතිවුණු රත්තරන් පිස්සුවත් එක්ක මිනිස්සු දවසට බර තොගයක් ගාණේ බෝඩී වෙත ඇදිලා ආවා. කොහොමහරි ඒ දශකය ඉවර වෙනකොට බෝඩී වල මිනිස්සු දහදාහක් විතර ඉන්න, කාර්යබහුල ටවුමක් වෙලා තිබුණේ. හැබැයි ඉක්මනටම මේ නගරය, රිවෝල්වර සටන් වලින් මිනිස්සු මරාගන්න, අබිං තිප්පොලවල් සහ අබිසාරිකාවන් සහ නොදැමුණු මිනිසුන්ගෙන් පිරුණු එකම අවුල් ජාලයක් බවට පත් වුණා. අන්තිමට ඒ දශකය ඉවර වෙනකොටම මේ නගරය කාලගුණෙන් සහ සොබාදහමෙන් බැට කාපු, ජනශූන්‍ය නගරයක් වෙන්න පටන් ගත්තා. ඇත්තටම 1940 විතර වෙනකලුත් මේ නගරේ එහෙන් මෙහෙන් මිනිස්සු හිටියලු. හැබැයි දැන් වෙනකොට නම් මේක මිනිස් පුලුටක් නැති, රටේම ප්‍රසිද්ධ ගෝස්ට් ටවුන් එකක්!
4. ඔක්ලහෝමා වල ටෙක්සෝලා
ඇමරිකාවේ හොලිවුඩ් ෆිල්ම්ස් බලන අයට එහෙම නම්, රූට් 66 අමතක වෙන්න විදියක් නෑ. ඇත්තටම ඇමරිකාවේ ජනප්‍රිය මහා මාර්ගයක් වෙන route 66 එකේ තමයි මේ ටෙක්සෝලා (Texola) නගරය තියෙන්නේ. මේක ටෙක්නිකලි ගෝස්ට් ටවුන් එකක් කියන්නත් බෑ. මොකද ගිය අවුරුද්ද වෙනකොටත් මේකේ 40 දෙනෙක් විතර ජීවත් වෙනවා. හැබැයි මේක ඇත්තටම මිනිස්සු දෙදාහක් විතර හිටපු ටවුමක්. ඒත් කපු කර්මාන්තය වියැකී යනවාත් එක්කම, මේකේ හිටපු මිනිස්සුත් ටවුම අතෑරලා දාලා ගියා. මේ වෙනකොට මිනිස්සු කිහිප දෙනෙක් ජීවත් වුණත්, ටෙක්සෝලා කියන්නේ අතෑරලා දාපු ගොඩනැගිලි, පාළු වීථි එක්ක තියෙන ගෝස්ට් ටවුන් එකක්.
5. සයිප්‍රස් හි වරෝෂා
වරෝෂා (Varosha) වල මුහුදු වෙරළේ ඉදි වුණු දැවැන්ත හෝටල් සංකීර්ණයන් 70 දශකයේ මුල් කාලයේදී මධ්‍යධරණී කලාපයේ කෝටිපතියන්ගේ ප්‍රියතම මධ්‍යස්ථානයක් වෙලා තිබුණා. ඒ කාලේ එලිසබෙත් ටේලර්, බ්‍රිජට් බාඩෝ වගේ තරු නිදහසේ ඉන්න කියලා ආවේ වරෝෂා වලටලු. ඒ තරම් මේක සුපිරි සංචාරක පාරාදීසයක් වෙලා තිබුණා. හැබැයි 1974 දී ග්‍රීක ජාතිකවාදීන්ගේ කැරැල්ලකට ප්‍රතිචාර දැක්වීමක් විදියට තුර්කි හමුදා වරෝෂා ඇතුළු සෑහෙන්න භූමි ප්‍රමාණයක් ආක්‍රමණය කරලා අත්පත් කරගත්තා. වරෝෂා වල හිටපු 15,000 කට අධික නගරවැසියන් පලා ගියා. ඒ ගියපු ගමන තාමත් වරෝෂා සහ එහි තිබුණු සුපිරි වෙරළබද නිකේතන ජනශූන්‍ය වෙලා තමයි තියෙන්නේ. තාමත් ඒ කලාපේ දේශපාලනය අස්ථාවර වීමත් ඒකට හේතුවක්. මේ පාරාදීසය ආයෙමත් ගොඩගන්න ඩොලර් බිලියන 12 ක් විතර යයි කියලා ගණන් බලලා තිබුණත්, මැතක් වෙන කල්ම මේක හොල්මන් නගරයක් වෙලා තමයි තිබුණේ. තාමත් හරියට නගරය විවෘත වෙලා නැහැ කියලයි අහන්න ලැබෙන්නේ.
6. පෙනිසිල්වේනියා වල සෙන්ට්රාලියා
සෙන්ට්රාලියා (Centralia) කියන්නේ ගල්අඟුරු කැණීම් සිද්ධ වුණු නගරයක්. ඒ වෙනකොටත් සෑහෙන්න වැසියන් පිරිසක් හිටපු ටවුමක්. හැබැයි 1962 දී සෙන්ට්රාලියා වල පොළව යට තියෙන පතලක ගින්නක් හට ගන්නවා. ඒකෙන් නගරය පුරා පොළව ගිලා බහින්නත්, විෂ වායු සහ දුම නගරය පුරා හමායන්නත් පටන් ගන්නවා. කොහොම හරි 1981 විතර වෙනකොට සම්පූර්ණ නගරයම ජනශූන්‍ය වෙලා, හොල්මන් නගරයක් බවට පත් වුණා. හැබැයි මීට අවුරුද්දකට දෙකකට කලින් බලනකොට නගරයේ තාමත් පස් දෙනෙක් විතර ජීවත් වෙනවා. ඒත් නගරය යට තියෙන පතල් තාම ගිණි ගන්නවා. මේ ගින්න තව අවුරුදු දෙසිය පණහක් වත් දැල්වෙමින් තියෙයි කියලා තමයි කියන්නේ. මේක කියනකොට අර සයිලන්ට් හිල් ෆිල්ම් එක එහෙම මතක් වෙන්නෙ නැද්ද?
7. යුක්රේනයේ ප්‍රිප්යට්
ප්‍රිප්යට් (Pripyat) කියනකොට ඒ තරම් දෙයක් ඔලුවට ආවේ නැතත්, චර්නොබිල් කියනකොට නම් අපිට මතක් වෙනවා ලෝක මට්ටමෙන් සිද්ධ වුණු ව්‍යසනයක්. 1986 දී චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ අංක හතරවෙනි ප්‍රතික්‍රියාකාරකය මහත් විනාශයක් සිද්ධ කරමින් උණු වෙලා යනවා. මේ පිපිරීමෙන් සහ විකිරණ කාන්දුවෙන් අසල්වාසී නගරයක් වුණු ප්‍රිප්යට් නගරයටත් දැඩි හානි සිද්ධ වෙනවා. මේ නගරය ඇත්තටම හදලා තිබුණේ න්‍යෂ්ටික බලාගාරයේ වැඩ කරපු විද්‍යාඥයින්ට, සේවකයන්ට සහ ඒ අයගේ පවුල් වල අයට තමයි. සිදුවීමෙන් පැය 26 ක් යනකොට 49,000 ක් විතර වුණු ප්‍රිප්යට් නගර වාසීන්ව නගරයෙන් ඉවත් කෙරෙනවා.
එදා ඉඳන් තාමත් ප්‍රිප්යට් කියන්නේ හොල්මන් නගරයක්. නගරේ විකිරණශීලීත්ව අගයන් එක්ක දැනට නම් කොහෙත්ම කිසිම කෙනෙක්ට ප්‍රිප්යට් වල ජීවත් වෙන්න බෑ. විද්‍යාඥයෝ කියන විදියට ප්‍රිප්යට් වල ආයෙමත් ජීවත් වෙන්න සුදුසු වාතාවරණයක් ඇතිවෙන්න අඩු ගාණේ තව ශතවර්ෂ කීපයක්වත් යයි. එතකල් ප්‍රිප්යට් හොල්මන් නගරයක් විදියටම පවතියි…
එතකොට ඇත්තටම මේ ගෝස්ට් ටවුන් වල හොල්මන් නැද්ද? දන්නෑ ඉතින්. ඔය දැකපු අය නං ඉන්නවලු. අපි දැකල නෑනේ. ඒ නිසා එහෙම ගෝස්ට් ටවුන් එකකට ගිහින් හොල්මන් දැක්ක කෙනෙක් ඉන්නවා නං, කමෙන්ට් එකක් දාගෙන යන්ඩලා!
Leave a Reply