ස්මාට්ෆෝන් එක පාවිච්චි කරලා ආතතිය දුරුකරගනිමුද?

ඔය ආතතිය කියන දේ ඇත්තටම අපිට දැන් කාලේ අරුමයක් නොවෙන තරම්. ඒ කියන්නේ, අපි දිනපතාම අපේ රැකිරක්ෂා කටයුතු එක්ක හැප්පෙනවා. ඉන් පස්සේ පවුලේ අයගේ, තමන්ගේ පෞද්ගලික කටයුතු සහ ඒ අනුසාරයෙන් එන ප්‍රශ්න තියෙනවා. ඉන් පස්සේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම, ආර්ථික අවපාතය වගේ ප්‍රශ්න ගැනත් අපි නොහිතනවාම නෙවෙයිනේ. කොටින්ම කිවුවොත්, අද කාලේ සාමාන්‍ය ජීවිතේක ජීවත් වෙන මනුස්සයෙක්ට ස්ට්‍රෙස් නොහැදී තිබුණොත් තමයි පුදුමේ. සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් එකට, ඒ කියන්නේ ආතතිය දුරුකරගන්න අපිට කරන්න පුළුවන් දේවල් සෑහෙන්න තියෙනවා. ඒ වගේම අපි නිරන්තරයෙන්ම ස්මාට්ෆෝන්, ටැබ්ස් වගේ ස්මාට් උපාංගත් එක්කනේ ජීවත් වෙන්නේ. ආන්න ඒ නිසා, ස්මාට්ෆෝන් එකට හරි වෙන ඒ වගේ ස්මාට් උපාංගයකට හරි දාගන්න පුළුවන්, ආතතිය දුරලන ඇප්ස් එහෙමත් තියෙනවා. ඉතින් අපි කියන්න යන්නේ ආන්න ඒ වගේ ස්ට්‍රෙස් එක නැතිකරන ඇප්ස් කීපයක් ගැන. මෙයින් එකක් ට්‍රයි කරලා බලලා, වෙනස වටහාගත්තට කාරි නෑ!

 

1. Calm

මේ දවස් වල භාවනා කටයුතු වලට සහ නින්දට වැටෙන්න හොඳම ඇප් එකක් විදියර්ට තමයි මේක හැඳින්වෙන්නේ. හැබැයි එකක් තියෙනවා. මේකේ තියෙන මේ Ambient noises හැම එකක්ම හැමෝටම සෙට් නොවෙන්න පුළුවන්. ඒ නිසා මේ ඇප් එක දාගෙන, තමන්ට ඕන විදියට කස්ටම් කරලා ගන්න තමයි තියෙන්නේ. විශේෂයෙන්ම විනාඩි 3ක හෝ විනාඩි 5 ක ඉඳන් විනාඩි 20 ක් හෝ විනාඩි 25 ක් දක්වා විවිධ වේලාවන් සෙට් කරගෙන භාවනා කරන්න මේ ඇප් එක ඔස්සේ පුළුවන්. ඒකට අපිට ඕන සියලුම මග පෙන්වීම ඇප් එකෙන්ම ලැබෙනවා. ඉතින් ස්ට්‍රෙස් එක නැතිකරගන්න මේ ඇප් එක කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලා කරලම තමයි බලන්න ඕන.

 

2. Headspace

මේකත් ප්‍රධාන වශයෙන්ම භාවනාව ඉගැන්වීම ඔස්සේ හිත එකලස් කරන්න උදවු ලබාදෙන ඇප් එකක්. මේකේ ෆ්‍රී සංස්කරණයක් සහ මුදල් ගෙවා ලබාගන්න ඕන සබ්ස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. නොමිලේ ඉන්ස්ටෝල් කරගත්තු ඇප් එකේ වුනත් අපිට භාවනා කෝස් එකේ මූලික කරුණු හැමදේම උගන්වනවා. එතනින් එහාට මුදල් ගෙවලා අපිට සම්පූර්ණ භාවනා පුස්තකාලයටම ප්‍රවේශය ලබාගන්න පුළුවන්. භාවනාව ඇරෙන්න මේ ඇප් එකේ නින්ද, ඒකාග්‍රතාවය, ව්‍යායාම වගේ දේවල් වලටත් පහසුකම් තියෙනවා. ස්ට්‍රෙස් ෆ්‍රී කරගන්න, ඔලුව රිලැක්ස් කරගන්න දවසේ පොඩි කොටසක් හරි භාවනාවට යොදවන්න කැමති කෙනෙක්ට මේකේ සබ්ස්ක්‍රිප්ෂන් එක සල්ලි ගෙවලා ගත්තත් පාඩු නෑ.

 

3. Insight Timer

මෙන්න තවත් භාවනා ඇප් එකක්. ඇයි භාවනා ඇප් වැඩිහරියක් සෙට් වෙන්නේ ස්ට්‍රෙස් එක නැතිකරගන්න? හේතුව සරලයි. භාවනාව කියන්නේ මානසික ආතතිය දුරුකිරීමට, චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගැනීමට ඉතාම සාර්ථක ක්‍රමයක් කියන එක පෙරදිග වගේම බටහිරත් පිළිගන්න නිසා. මේ Insight Timer ඇප් එකේත් විවිධ භාවනා ක්‍රම සහ සිත එකඟ කරගෙන භාවනා කරන්න උපකාරී වෙන විවිධ සංගීත පට 30,000 කට අධික පුස්තකාලයක් තියෙනවා. ඒ වගේම කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ඒ හැම දෙයක්ම පාවිච්චි කරන්නත් පුළුවන්. ඇත්තටම මේ ඇප් එකෙනුත් ඔය චිත්ත සාංකාකූල බව නැති කරන්න, ගැඹුරු නින්දකට වැටෙන්න වගේ දේවලුත් කරලා දෙනවා. ඒ වගේම මේක හරහා තමන් වගේම හිත නිරවුල් කරගන්න, භාවනා කරන්න ලැදි සෑහෙන පිරිසක් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්.

 

4. Day One

අපි කාර්යබහුල ජීවිතෙන් හෙම්බත් වුනාට පස්සේ හිත නිරවුල් කරගන්න, හිත සන්සුන් කරගන්න, ආතතිය ඉවත් කරගන්න සහ හිතුවිලි එකලස් කරගන්න හොඳම ක්‍රමයක් තමයි දිනපතා දිනපොතක් හෝ ජර්නල් එකක් ලියන එක. ඇත්තටම ඒක පුරුද්දක් වුනාට පස්සේ, දිනපතා ඩයරියක් හෝ ජර්නල් එකක් අරගෙන තමන්ට ඔලුවට එන දේවල් ලියනකොට හිත සැහැල්ලු වෙනවා දැනෙයි. ආන්න ඒකට උදවු කරන ඩිජිටල් සහකරුවෙක් තමයි මේ Day One කියන ඇප් එක. මේකෙන් අපිට හිතේ තියෙන දේවල් බොහොම පහසුවෙන් අකුරු කරන්න ඩිජිටල් ජර්නල් එකක් හම්බුවෙනවා විතරක් නෙවෙයි. ඕන නම් සිහිකැඳවීම් දාගන්න, කැලැන්ඩර් එකක් පවත්වා ගන්න වගේ දේවලුත් කරන්න පුළුවන්.

 

5. Simple Habit

අපි ඉස්සර වෙලා භාවනා කරන්න අපිට උදවු කරන ඇප් ගැන කතා කරනකොට කිව්වනේ, භාවනාව දිනපතා පුරුද්දක් වෙනවා නම් අපේ ස්ට්‍රෙස් එක ඉබේම නැතිවෙලා යනවා කියලා. ආන්න ඒක තහවුරු කරන ඇප් එකක් තමයි මේක. විශේෂයෙන්ම මේ Simple Habit ඇප් එක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේකේ තියෙන විනාඩි පහේ භාවනා පංති නිසා. ඒ කියන්නේ අපිට ස්ට්‍රෙස් එක ඉවත් කරගන්න, විශාද තත්ත්වයන්ගෙන් ගැලවෙන්න කටහඬින් කියාදෙන භාවනාවන් මේකේ තියෙනවා. ඒ විදියේ විනාඩි පහේ භාවනා ක්‍රම වලින් බොහොම ලේසියෙන් භාවනාව දෛනික ජීවිතයේ කොටසක් කරගන්න පුළුවන්. ඒ වගේම විනාඩි පහට වැඩි භාවනා එහෙමත් මේකේ තියෙනවා.

 

6. Colorfy

ආට් තෙරපි ගැන අහලා තියෙනවද? ඒ කියන්නේ චිත්‍ර ඇඳීම ඔස්සේ අපේ ස්ට්‍රෙස් එක රිලීස් කරන එක, සිතුවිලි එක්තැන් කරගන්න එක, හිත නිරවුල් කරගන්න එක වගේ දේවල්. දැන් ඕකට ආට් පුළුවන් වෙන්නම ඕන නෑ. ඒකට හොඳ උදාහරණයක් තමයි මේ Colorfy කියන්නේ. මේකේ ඔක්කොම පහසුකම් ලබාගන්න නම් මුදලක් ගෙවන්න ඕන. හැබැයි ෆ්‍රී ඇප් එක දාගෙන ට්‍රයි කරලා බලන්න පුළුවන් තමන් මේකට කැමති වෙයිද කියලා. කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. පාට කරලා නැති විවිධ චිත්‍ර තියෙනවා. අපිට තියෙන්නේ විවිධ පාට තෝරගෙන තමන්ට ඕනෑ හැටියට චිත්‍රය පාට කරන්න. ඇත්තටම මේකත් එක්තරා විදියක භාවනාවක් වගේ තමයි. එහෙම පාට කරනකොට තමන්ට ඕන කරන, ආස කරන විදියෙ ෆිල්ටර්ස් එහෙම දාලා චිත්‍රය තව හැඩගන්වා ගන්න පහසුකම් එහෙමත් මේ ඇප් එක ඇතුළේම තියෙනවා.

 

7. Smiling Mind

රිලැක්ස් වෙන්න තියෙන ඇප්ස් අතරේ බොහොම ඉන්ටරෙස්ටින් ඇප් එකක් තමයි මේක. විශේෂම දේ තමයි මේක කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් එකසේ ගැලපෙන ඇප් එකක් වීම. මේකේ විවිධ වයස් කාණ්ඩ වල දරුවන්ට සහ වැඩිහිටියන්ට, තමන්ගේ එදිනෙදා ජීවිතේ අත් විඳින්න සිද්ධ වෙන පීඩනයන්, ආතතිජනක තත්ත්වයන් සහ අසීරු අභියෝගයන්ට කඩා වැටෙන්නේ නැතුව මුහුණ දෙන විදිය, තමන්ගේ හිත ඒකාග්‍ර කරගෙන කළ යුතු දේට අවධානය යොමු කරන විදිය කියලා දෙනවා. මේවත් භාවනාවන්ම කියලා හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ මනෝවිද්‍යාඥයින් සහ අධ්‍යාපනිකයින් එකතු වෙලා. මේ ඇප් එකේ පරමාර්ථය කියලා මේ අය කියන්නේ මිනිසුන්ගේ ජීවිත වලට සමබරතාවය රැගෙන ඒම.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *