අභිරහස්වලින් පිරුණු මොළ හිරිවට්ටන මෑත කාලයේ බොලිවුඩ් චිත්‍රපට පහක්

5 mind blowing bollywood movies

අපිට හින්දි ෆිලුමක් කිව්වම මැවෙන්නේ මොන වගේ චිත්‍රයක්ද? මල් ගස් වටේ දුවන, එක පාර කෙල්ලයි කොල්ලයි සින්දු කියලා නටන්න පටන් ගන්න, අන්තිමේදී සර්වාංගෙම වෙඩි කෑවත් කතාවේ වීරයා නොමැරී ඉන්න අභව්‍ය ඒවානේ? එතකොට හොලිවුඩ් ෆිල්ම් එකක් කිව්වොත් ඊට වඩා දෙයක් නැති වෙන්නේ ඒවා පුදුමාකාර විදියට තාත්ත්වික නිසා. හැබැයි දැන් ඒ පින්තුරෙන් එළියට එන්න කාලේ ඇවිල්ලා. බොලිවුඩය තාක්ෂණය අතින් වගේම කතා සාරය අනුවත් හොලිවුඩ් ලෙවල් එකටම ඇවිත් තියනවා. සමහර ඒවා ඒකත් පාස් කරනවා. අභිරහස් චිත්‍රපටවලට ආසා කරන උදවියට බොලිවුඩය චිත්‍රපට ගොන්නක් ම දීලා තියෙනවා. ඒ අතරින් මෑත කාලයේ එළියට ආපු පිස්සු හැදිලා ආයෙත් හැදෙන ටයිප් එකේ ෆිලුම් ටිකක් තමයි මේ.

 

1. Ittefaq (2017)

 

ගිය අවුරුද්දේ එළියට ආපු මේ ෆිල්ම් එක හිතාගන්න බැරි තරමේ විශිෂ්ට නිර්මාණයක්. IMDb එකෙන් 7.3ක රේටින්ග් එකක් දීලා තියෙන්නේ නිකන් ම නෙවෙයි. ප්‍රධාන වශයෙන් ම රංගනයට දායක වෙන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා, සෝනක්ෂි සින්හා සහ අක්ශේ ඛන්නා. හැබැයි මේකේ සහය නළුනිළියෝ ටික නැත්නම් මේක මේ තරම් සාර්ථක වෙන්නේ නැහැ. බොලිවුඩ්වල අනික් සින්දු වගේ කැටයම් දාන්න කියලා මේකේ එක ම එක සින්දුවක්වත් නැහැ. නමුත් බලන්න පටන් ගත්තම කාටවත් තත්පරේකට ෆිල්ම් එකෙන් ඈත් වෙන්න හිතෙන්නෙත් නැහැ. අභිරහස් සහ ක්‍රියාදාම චිත්‍රපටියක් වෙන Ittefaq කතා සාරය අතින් ගත්තොත් මෙහෙමයි. මරණ දෙකක්. සැකකාරයක් දෙපළක්. දක්ෂ පොලිස් නිලධාරියෙක්. මේ කතාව ඉවරයි කියලා හිත හදාගන්නකොට අන්තිම විනාඩි කීපයෙදී කතාව සම්පූර්ණයෙන් ම වෙනස් කරනවා. ඒ අත්දැකීම ගන්න නම් ෆිල්ම් එක බලන්න ම ඕනි.

 

2. Te3n (2016)

 

අමිතාබ් බච්චන්, නවාසුද්දීන් සිද්දික්, විද්‍යා බාලන් කියන්නේ බොලිවුඩයේ ඉන්න වැඩකාරයෝ තුන්දෙනෙක්. මෙයාලා තනිව ගත්තමත් රඟපාපු ෆිල්ම්ස් ලොවෙත් ප්‍රේක්ෂක අකාර්ෂණය දිනා ගත්තා. ඉතින් එහෙනං හිතන්නකෝ තුන්දෙනා ම එකම ෆිල්ම් එකේ ඉන්නකොට ඒක මොන වගේ සැපතක් වෙයිද කියලා. තමන්ගේ පුංචි මිනිබිරියව අවුරුදු 8කට කලින් පැහැරගෙන ගිහින් මරා දැමීම සම්බන්ධයෙන් යුක්තිය හොයන සීයා කෙනෙක්, පූජකයෙක් වෙලා ඉන්න හිටපු පොලිස් නිලධාරියෙක්, පොලිස් නිලධාරිනියක්, තවත් ළමා පැහැරගැනීමක්. කතාව යන්නේ ඔය විදියටයි. මේක Montage කියන කොරියන් ෆිල්ම් එකේ රීමේක් එක. සමහර රීමේක්ස් තියනවා ඔරිජිනල් එකටත් වඩා ඇඟට දැනෙන. Te3n ඒ වගේ නිර්මාණයක්.

 

3. Rahasya (2015)

 

කතාවෙන් අපෙන් අහන ප්‍රශ්නයක් තියනවා. තාත්තා කෙනෙකුට තමන්ගේ දුව ව මරලා දාන්න පුළුවන්ද? අයේෂා ව මැරුවේ එයාගේ තාත්තා ඩොක්ටර් සචින් මහජන් ද? හැම සාක්ෂියක් ම ගොනු වෙන්නේ ඔහුට විරුද්ධව. පොලිසියෙන් මේ කේස් එක විසඳගන්න බැරි තැන තමයි මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) මේක බාරගන්නේ. චිත්‍රපටයට රංගනයෙන් එකතු වෙන්නේ කේ. කේ. මෙනොන්, අශිෂ් විද්‍යාර්ති, ටිස්කා චොප්රා, අශ්විනි කල්සේකර් යන අය. IMDb එකෙන් 7.7ක් ම දීලා තියෙන්නේ මේක බලන්න ඕනි ම නිර්මාණයක් නිසා.

 

4. Detective Byomkesh Bakshy! (2015)

 

ෂර්ලොක් හෝම්ස් පොත් කියවපු ඔබට ඒ වගේම අත්දැකීමක් දෙන්න පුළුවන් ෆිලුමක් තමයි මේ. හෝම්ස් වෙනුවට බොලිවුඩයෙන් අපිට දෙන්නේ බ්යෝම්කෙෂ් බක්ෂි. නම ටිකක් අවුල් වගේ පේන්නේ මෙයාව නිර්මාණය කරේ බෙංගාලි ජාතිකයෙක් නිසා. ඉන්දියාවේ පුරාවෘත්තයක් වෙන තරමට ම මේ කැරැක්ටර් එක ප්‍රසිද්ධයි. මේ නමින් ටීවී සීරියස් එකකුත් තිබ්බා. නමුත් 2015 ඉඳන් බක්ෂි වුණේ සුෂන්ත්. එම්. එස්. ධෝනි ගැන හදපු ෆිල්ම් එක බැලුවා නම් සුෂන්ත්ව අමතක වෙන්න විදියක් නැහැ. කොහොමින් හරි මේ ෆිල්ම් එක කැරකෙන්නේ එකදාස් නවසිය බර ගණන්වල කල්කටාව ආශ්‍රය කරගෙනයි. තමාගේ තාත්තා අතුරුදහන්වීම ගැන හොයන්නයි කියලා අජිත් බැනර්ජි කේස් එක බක්ෂිට භාර දෙනවා. ඒක විසඳන්නේ කොහොමද? සුෂන්ත් සින්ග් රාජ්පුත්, ආනන්ද් තිවාරි, ස්වස්තිකා මුඛර්ජි යන අය මේ ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙනවා.

 

5. Jazbaa (2015)

 

අයිශ්වර්යා රායි! ඉන්දීය සිනමාවේ අමතක කරන්න ම බැරි චරිතයක්. විවාපත් වුණාට පස්සේ ඇගෙන් සාර්ථක රංගනයක් දකින්න ලැබුණු ෆිල්ම් එකක් තමයි මේ. මේ ෆිල්ම් එකත් ittefaq වගේ අවසාන මොහොතේ ඔළුවට පොල්ලෙන් ගහලා කතාව මුළුමනින් ම වෙනස් කරවන්නක්. දියණියත් එක්ක ජීවත් වෙන නීතිඥවරියක්, සේවයෙන් පහ කළ පොලිස් නිලධාරියෙක්, දියණියව පැහැරගෙන අපරාධකාරයෙක් වෙනුවෙන් කතා කරන්න තර්ජනයක්, නොසිතූ අවසානයක්. අයිශ්වර්යා රායි එක්ක රංගනයෙන් ඉර්ෆාන් ඛාන්, ෂබානා අස්මි, චාන්දන් රෝයි සන්යල් යන අය රංගනයෙන් දායක වෙනවා.

 
Cover Image Source – imdb.com / glamsham.com / santabanta.com / jazbaa.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *