හිපපොටේමස්ලා ගැන මේ දේවල් දැනගෙන හිටියද?

දැන් ඔය හිපපෝටේමස්ලා ඉන්නවනේ. අපි ඔය හිපපොටේමස්ලාව දැකලා තියෙන්නේ එක්කෝ ටීවී එකෙන්, එහෙම නැතිනම් සත්තු වත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් අපේ රටේ හිපපොටේමස්ලා නැහැනේ. ඇත්තටම හිපපොටේමස්ලා නැතිනම් සුරතලේට කියන විදියට හිපෝස්ලා ඉන්නේ අප්‍රිකාවේ. අප්‍රිකාවේ හිපෝස්ලා වර්ග දෙකක් ඉන්නවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. වැඩිවශයෙන් ඉන්න වඩාත් විශාල හිපපොටේමස් වර්ගය සහ, වඩාත් කුඩා පිග්මි හිපෝ කියන හිපපොටේමස්ලා වර්ගය. ඇත්තටම කියනවා නම් හිපෝස්ලා කියන්නේ ගොඩබිම ජීවත් වෙන තුන්වෙනියට විශාල ක්ෂීරපායීන් කිව්වොත් වැරදි නෑ. ලිස්ට් එකේ ඊට උඩින් ඉන්නේ අලියා සහ සුදු රයිනෝසිරස් විතරයි. හරි. මෙහේ හිපපොටේමස්ලා නැති වුණත්, හිපපොටේමස්ලා කියන්නේ ශ්‍රී ලංකාව වගේ රටක ඉන්න අපිට ඒ තරම් සමීප සත්ව කොට්ඨාසයක් නොවුණත්, මුන්දැලා ගැන විස්තර දැනගෙන ඉන්න එක හරිම ඉන්ටරෙස්ටින්ග්. අන්න ඒ නිසා අපි හිතුවා, ඔබ නොදන්නා හිපෝස්ලා ගැන කරුණු කීපයක් කියන්න.

 

1. බර වාහන

ඇත්තටම හිපපොටේමස්ලා කියන්නේ සෑහෙන්න බර වාහන තමයි. බැරල් එකක් වගේ විශාල ඇඟ සහ කැපී පේන විදියට විශාල ඔළුව එක්ක බලනකොට, ඇත්තටම කකුල් පුංචියි. ඔය කකුල් වලට අර ඇඟේ බර දරාගෙන ඇවිදින්න පුළුවන්ද කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම වැඩුණු සාමාන්‍ය හිපපොටේමස් පිරිමි කෙනෙක් කිලෝග්‍රෑම් 1500-1800 ත් අතර වෙන්න පුළුවන් කියලා තමයි අහන්න ලැබෙන්නේ. හැබැයි අර කෙටි, සාපේක්ෂව කුඩා කකුල් වලට හිපෝගේ ශරීරයේ බර දරාගන්න පුළුවන් කරදරයක් නැතුව. හිපෝ කෙනෙක්ට ඔය කකුල් වලින් ඇත්තටම දුවන්නත් පුළුවන්. හිපෝලගේ කකුල් වල ඇඟිලි තියෙන්නේ අර ගෙම්බන්ගේ වගේ දැලකින් බැඳිලා වගේ ආකෘතියකින්. ඇත්තටම ඒ නිසා හිපෝලගේ බර සමානව බෙදාහරින්න ඒ ඇඟිලි වලට පුළුවන්කම ලැබිලා තියෙනවා.

 

2. වතුරට ආස හිපෝලා

ඇත්තටම හිපපොටේමස්ලට ග්‍රීකයෝ දාපු නම තමයි “rivar horse” නැතිනම් ගඟේ ඉන්න අස්සයා කියන එක. අස්සයෙක්ට පෙනුමෙන්වත් සමාන නැති වුණත්, ඇත්තටම හිපෝස්ලා ඉන්න ආස වතුරේ. ඒකට එක හේතුවක් තමයි අප්‍රිකා මහාද්වීපයේ අත්දකින්න තියෙන උෂ්ණත්වයෙන් තමන්ගේ සංවේදී සම ආරක්ෂා කරගන්න සහ තමන්ගේ දැවැන්ත ශරීරය සිහිල් කරලා තියාගන්න. සාමාන්‍යයෙන් දවසෙන් පැය 16 ක් විතර හිපෝලා වතුරේ කරවටක් ගිලිලා තමයි ජීවත් වෙනවා කියන්නේ. හිපෝලාට පීනන්න පුළුවන් වගේම වතුර යට විනාඩි පහක් විතර හුස්ම අල්ලගෙන ඉන්නත් පුලුවන් කියලා අහන්න ලැබෙනවා. හිපෝලගේ ඇස් සහ නාස්පුඩු තියෙන්නේ හිසේ ඉතාම ඉහළට වෙන්න නිසා, මුළු ඇඟම වතුරේ ගිල්වාගෙන වුණත් කරදරයක් නැතුව ඉන්න පුළුවන්කම හිපෝලට තියෙනවා.

 

3. රෑට හිපෝලා මොකද කරන්නේ?

සාමාන්‍යයෙන් ඉර බැසයනකොට හිපෝලා වතුරෙන් මතුවෙලා ගොඩබිමට එනවලු. එහෙම ඇවිල්ලා ඔන්න කෑම කමින් ඇවිදින්න පටන් ගන්නවා. හිපෝලා ඇවිදින්නෙත් තනි පේළියක් හැදිලා එක්කෙනා පස්සෙ එක්කෙනා විදියට. මෙහෙම යන ගමන් ඉතින් තණකොළත් කනවා. සාමාන්‍යයෙන් එක් රාත්‍රියක සැතපුම් 6 ක් විතර දුර ඇවිදින හිපෝලා, රාත්තක් 80 ක් විතර තණකොළත් කනවා කියලා කියනවා. හැබැයි හිපෝ කෙනෙක්ගේ ශරීර ප්‍රමාණයත් එක්ක සලකලා බලනකොට, මේ කන ප්‍රමාණය ඇත්තටම පොඩි ප්‍රමාණයක්. හරියට අර කෑම පාලනය කරන ඩයට් එකක් වගේ. හැබැයි එහෙමයි කියලා හිපෝගේ සයිස් එක අඩුවෙන්නෙ නං නෑ ඉතින්!

 

4. හිපෝලා දඩයක්කාරයොද? දඩයමද?

හිපෝලා කියන්නේ ඔය කොටි  හෝ සිංහයෝ වගේ දඩයක්කාරයෝ නෙවෙයි. හැබැයි හිපෝලා ලේසියෙන් කාගෙවත් දඩයම වෙන්නෙත් නෑ. ඇත්තටම හිපෝලා ප්‍රධාන වශයෙන් තණකොළ ආහාරයට ගත්තට, තණකොළ ටිකක් කාගෙන ඉන්න හරක් වගේ අහිංසකයෝ ටිකක් කියලා නම් කියන්න බෑ. හිපෝ කියන්නේ වනසතෙක්. සාමාන්‍යයෙන් හිපෝගේ සයිස් එකත් එක්ක, ලේසියෙන් හිපෝ කෙනෙක්ව ගොදුරු කරගන්න වෙන සතෙක් හිතන්නෙත් නෑ. විශේෂයෙන්ම හිපෝස්ලා බොහොම දරුණු ප්‍රහාරකයෝ වෙන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. ඒ නිසා සතෙක් ලේසියෙන් හිපෝ කෙනෙක්ව ගොදුරු කරගන්න කිට්ටු වෙන්නෙ නෑ. හැබැයි කුඩා හිපෝස්ලා සහ අසනීප වුණු හිපෝස්ලා නං ඔය වෙනත් විලෝපිකයන්ගේ ගොදුරු බවට පත්වෙනවා. සාමාන්‍යයෙන් නයිල් කිඹුලෝ, සිංහයෝ, තිත් හයිනෝ වගේ අප්‍රිකාවේ ඉන්න දරුණු විලෝපිකයෝ එක්ක සහයෝගයෙන් හිපෝස්ලා ජීවත් වෙනවා කියන්න පුළුවන්. 

 

5. හිපෝලා භයානකද?

ඇත්තටම හිපපොටේමස් කෙනෙක් භයානක වෙන්න පුළුවන්. කොහොමත් හිපපොටේමස් සහ මිනිස්සු අතර ගැටුම කෙන්යාව වගේ රටවල් වල දරුණුවටම තියෙනවා. හරියට ලංකාවේ අපි අත්දකින අලි-මිනිස් ගැටුම වගේ. සරලවම කියනවා නම්, තමන්ට තර්ජනයක් කියලා දැනුනොත් අනිවාර්යයෙන්ම හිපෝ කෙනෙක් මිනිස්සුන්ට පහර දෙනවා. කොහොමත් හිපෝස්ලා කියන්නේ ඉතාම ඉක්මනින් කේන්ති යන, ඉක්මනින් දරුණු වෙන්න පුළුවන් සත්ව වර්ගයක්. අතිවිශාල ශරීරයක් තිබුණට, හිපෝ කෙනෙක්ට මනුස්සයෙක්ගේ වේගෙන්ම දුවන්නත් පුළුවන්. ඒ වගේම අතිවිශාල දළ දෙකක් එක්ක තියුණු දත් ටිකකුත් හිපෝලට තියෙනවා. ඔය ඔක්කොටමත් වඩා, හිපෝ කෙනෙක්ගේ ශක්තිමත් හනුවලින් කරන්න පුළුවන් හපාකෑමේ පීඩනය අතිවිශාලයි. ඒක 12 600 kPa ප්‍රමාණයක් වෙනවා. සිංහයෙක්ගේ හපාකෑමේ බලය වෙන්නෙත් 4500 kPa ප්‍රමාණයක්. එතකොට හිතාගන්න පුලුවනිනේ හිපෝ කෙනෙක්ට බොහොම පහසුවෙන් කිඹුලෙක්ව වුණත් එක හැපීමෙන් දෙකඩ කරන්න පුළුවන් කියන එක. අන්න ඒ නිසා, හිපෝ කෙනෙක් කොයි තරම් කම්මැලි, ජොලි සතෙක් වගේ පේන්න හිටියත්, හිපෝ කෙනෙක්ගෙන් හැකි තරම් ඈත් වෙලා ඉන්න එක තමයි ඇඟට ගුණ.

 

6. හිපෝ-මිනිස් ගැටුම

ඇත්තටම මේ වෙනකොට හිපපොටේමස් කියන්නේ ලෝකේ ගොඩබිම වෙසෙන දරුණුම විශාල සතා විදියට නමක් හදාගෙන තියෙනවා. ඒකට හේතුව, වාර්තා වෙන විදියට අවුරුද්දකට අප්‍රිකාවේ මිනිස්සු 500 ක් වත් හිපපොටේමස් නිසා මියයෑම. විශේෂයෙන්ම මෙතනදී හිපෝ-මිනිස් ගැටුමට හේතුව හිපෝලා දරුණු වෙන්න පුළුවන් හැසිරීමක් තියෙන සත්තු වීම විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් සත්ව-මිනිස් ගැටුම් වලට හේතු වෙන නිජබිම් ප්‍රශ්නත් මෙතනදී බලපානවා. විශේෂයෙන්ම කොවිඩ්-19 එක්ක ආපු ආර්ථික අමාරුකම් එක්කත්, කුසගින්නේ ඉන්න ධීවරයෝ, කුසගින්නේම ඉන්න හිපෝලා එක්ක වැඩියෙන් ගැටෙන්න පටන් අරගෙන තිබීම නිසාත් මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. ගොඩක් වෙලාවට කෙන්යාවේ එහෙම ධීවර ජනතාව තමන්ගේ ජීවනෝපායට තෝරගෙන තියෙන ජල බිම් කියන්නේ හිපෝලත් ජීවත් වෙන තැන්. ඉතින් ඒ වගේ වෙලාවකදී තමයි මේ හිපෝ ප්‍රහාර සිද්ධ වෙන්නේ.

 

7. හිපෝලගෙ සද්දෙ

ඇත්තටම බොහොම සාමකාමී, උදාසීන, සද්ද වහලා ඉන්න සත්තු ටිකක් කියලා බැලූබැල්මටම පේන හිපපොටේමස්ලා, ඇත්තටම ස්වභාවයෙන් එහෙම අවුලක් නෑ, හැබැයි ඉක්මනටම කේන්ති ගිහින් ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කොහොමටවත් හිපෝලා සද්ද වහල ඉන්න සත්තු නෙවෙයි. සාමාන්‍යයෙන් වෙනත් සත්තුන්ට වඩා හිපෝලා හරිම සද්දයි. කොයි වෙලෙත් හිපෝලා ගොරවනවා, කිවිසිනවා වගේ එක එක සද්ද දදා තමයි ඉන්නේ. ඒක පොඩි පහේ සද්දෙකුත් නෙවෙයි. හිපෝලාට කිට්ටුවෙන් ඉන්නවා කියන්නේ හරියට රොක් කොන්සර්ට් එකක අර ලොකු කොලම් ස්පීකර්ස් වලට අඩි පහළොවක විතර ආසන්නයෙන් ඉන්නවා වගේ අත්දැකීමක් කියලා තමයි අහන්න ලැබෙන්නේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *