ඉස්සර හොලිවුඩ් ගැන තිබ්බා අමුතු කතාවක්. හොලිවුඩ් නළුවෝ හවසට තීරණේකට එනවලු. ඒ තමන්‌ගෙ සාමාන්‍ය පෙනුමෙන් පාරට බහින්න. මුලින්ම සාමාන්‍ය ජනතාව විසින් අඳුනාගන්න නළුවා අනිත් අයට බොන්න අරන් දෙන්න ඕනලු. ඔවුන් ඒ තරමටම තමුන්ගේ රංගනයේ විශිෂ්ටත්වය සහ සැබෑ ජීවිතයෙන් විතැන් වුනු බව පිළිබඳව හිතන එකත් පුදුම සහගතයි. ඔන්න ඔය විදියෙ අමුතු විකාර කතා හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රය ගැන පිරිලා තියෙනවා. ඒ අතරින් ටිකක් තමයි මේ විදියට ලියන්න හිතුවෙ.
1. ෆිල්ම් පාඩුව

Source – medium.com
Harry Potter and the Order of the Phoenix චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 167ක් පාඩු ලැබූ බව ප්‍රසිද්ධ කෙරුණා. එය බෙදාහැරීම වෙනුවෙන් වෝනර් බ්‍රදර්ස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 212ක වියදමක් දක්වා තිබුනා. නමුත් වෝනර් බ්‍රදර්ස් සමාගමටම එහි හිමිකාරීත්වය තිබූ නිසා, එලෙස බොරු වියදම් දක්වා පාඩු පෙන්වීම හුදෙක් බදු ගෙවීමෙන් මිදෙන්නටත්, ලාභය ටැලන්ට් එක වෙනුවෙන් බෙදා දීම වලක්වා ගන්නටත් ගත් තීරණයක් යැයි කියනවා. මෙය හොලිවුඩ් ගිණුම්කරණ පාර්ශවයෙන් නිතර දැකිය හැකි තත්ත්වයක් බවයි කියැවෙන්නේ. මෙය ප්‍රසිද්ධම උදාහරණය පමණක් වුවත්, මේ අයුරින්ම තවත් චිත්‍රපට බොහෝමයකට විවිධ වූ නව සමාගම්වල නාම යටතේ මුදල් වෙන්කර මෙම අසාධාරණය සිද්ධ කර තිබෙනවා.
2. එඩිසන්ගේ වැඩ

Source – youtube.com
හොලිවුඩ් ලෙසින් චිත්‍රපට කර්මාන්තයක් හැදෙන්නට මුල් වී ඇත්තේ තෝමස් අල්වා එඩිසන් නම් වූ ප්‍රකට විද්‍යාඥයාගේ ක්‍රියාවක් නිසායි. ඉස්සර තෝමස් අල්වා එඩිසන්ගේ මෝෂන් පික්චර් පේටන්ට්ස් කියන නිවුජර්සිවල තිබුනු සමාගම එක්ක තමයි ෆිල්ම් හදන අය වැඩ කරගෙන ගිහින් තියෙන්නෙ. නමුත් නොයෙක් වූ ඇජෙන්ඩා නිසා, නිතරම වගේ ෆිල්ම් එක හදන අතරමැද්දෙ නඩු දාලා ප්‍රඩක්ෂන් නවත්තන පුරුද්දක් මේ සමාගමට ඇතිවෙලා තිබුනා. අන්න ඒ නිසා චිත්‍රපට කර්මාන්තයේ නියැලෙන අය ඒ වෙනුවෙන් වෙනමම සමාගමක් ආරම්භ කළා. ඒ විදියට තමයි ලොස් ඇන්ජලීස්වල හොලිවුඩ් බිහිවෙන්නෙ. එහි පළමු නිෂ්පාදනය විදියට සිද්ධ වෙන්නෙ ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් කියන අධ්‍යක්ෂකවරයාගේ ඉන් ඕල්ඩ් කැලිෆෝනියා කියන කෙටි චිත්‍රපටය.
3. නම

Source – wikipedia.org
හොලිවුඩයේ පියා කියල හඳුන්වන්නෙ එච්. ජේ. වයිට්ලි. ඔහුගේ දිනපොතේ තිබුණු කතාවකුත් මෙම සටහනට ඇතුළත් වෙනවා. 1886 දවසක පහළින් නිම්නයක් පිහිටා තිබූ කන්දක් උඩ ඔහු තමන්ගේ මධුසමය ගතකරද්දී, චීන ජාතික මිනිසෙකු ලී පුරවන ලද කරත්තයක් තල්ලු කරගෙන පැමිණ තිබෙනවා. ඔහු එම මිනිසාගෙන් තමන් සිදුකරන්නේ කුමක්දැයි ඇසූ විට, එම චීන මිනිසා පවසා ඇත්තේ “I Holly-wood” ලෙසයි. ඒ ‘Hauling Wood’ හෙවත් ලී කොටන් ඇදගෙන යනවා යන අදහසයි. ඒ අනුවයි ඔහු තමන්ගේ නව නගරය හොලිවුඩ් නමින් නම් කරන්නේ. Los Angeles Pacific Boulevard and Development Company යන සමාගමෙන් වයිට්ලි ඇමරිකාව පුරා නගර සියයක් පමණ ඒ වන විටත් අරඹා තිබිණි.
4. සලකුණ

Source – thoughtco.com
ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් සලකුණ කරළියට එන්නෙ 1923දි. ඒ හැරී චැන්ඩ්ලර් කියන දේපළ වෙන්දේසිකරුවා මෙම ඉඩම විකුණන්නට තීරණය කිරීමත් සමගින්. ඒ වෙනුවෙන් ඔහු ඇමරිකානු ඩොලර් 21,000ක් වැය කර අඩි පනහක් උස අකුරු සහිත ‘HOLLYWOODLAND’ යන අකුරු ස්ථාපනය කරන්නේ කෙටි කාලයකින් ඒවා ගලවා දමන්නට සිදුවන බවත් නිශ්චය කරගෙනයි. නමුත් 1949 දක්වාම පවතින එම සලකුණ 1949දී ‘HOLLYWOOD’ පමණක් ලෙසින් වෙනස් වෙද්දී, අකුරු අඩි 45ක් දක්වා උසින් අඩු කරනු ලබනවා. කෙසේවුවත් හොලිවුඩ් නම සඳහන් කර විශාල ලෙස ස්ථාපනය කර ඇති අකුරුවලටත් බොහෝ කතා තිබෙනවා. ඉන් එකක් තමයි ලිලියන් එන්ට්විස්ල් නම් වූ නිළිය හොලිවුඩයේ ‘එච්’ අකුරෙන් පැන සියදිවි හානි කර ගැනීමේ පුවත. මෙවැනි වූ ත්‍රාසජනක, කුතුහලය වඩවන සහ ශෝකාන්ත සිදුවීම් ගණනාවක් මෙම නම් සලකුණ හා බැඳී තිබෙනවා. කෙසේ හෝ 1995 වසරේදී මෙම නම වෙනුවෙන්ම පදනමක් ආරම්භ වෙන්නේ මෙයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකර මෙය පවත්වාගෙන යෑමටයි.
5. වෝක් ඔෆ් ෆේම් කතා

Source – wikimedia.org
හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් (Walk of Fame) ගැන නොදන්නා අයෙකු නැති තරම්. එලෙස තරු උඩින් ඇවිද යන්නට නම් සඳහන් කර ඇත්තේ විශිෂ්ටයින්ගේ පමණයි. කෙසේවුවත් ඒ මත පය තබා ඇවිද යන්නට නොහැකි ලෙස තරුව කොඩැක් තියටරයේ බිත්තියේ රඳවා ඇත්තේ මුහම්මඩ් අලීගේ පමණයි. ඒ එය මතින් ඇවිද නොයන ලෙස වූ ඔහුගේ ඉල්ලීම පිටයි. වෝක් ඔෆ් ෆේම් හී තරු තුනක් ඇත්තේ ෆ්‍රෑන්ක් සිනාත්‍රාට පමණයි. ඒ ඔහුගේ සිනමා, සංගීත සහ ටෙලිවිෂන් වෘත්තීය දක්ෂතා වෙනුවෙනුයි. නීල් ආම්ස්ට්‍රෝන් සහ ඇපලෝ 11 යානයේ පිරිසගේ නම් වෙනුවෙන්ද වෝක් ඔෆ් ෆේම් හී ඉඩක් වෙන්වෙනවා. නමුත් එහි ඇත්තේ තරු නොව චන්ද්‍රයායි.
6. ඩේවිඩ් මැනිං

Source – sony.co.uk
සෝනි සමාගම ඩේවිඩ් මැනිං නමින් බොරු චරිතයක් සකසන්නේ චිත්‍රපට විචාරකයෙකු ලෙසිනුයි. ඉන්පසු ඔහු හරහා ඔවුන්ගේ සිනමා කෘතීන් පිළිබඳ බොරු ඇගයීම් කරවා මිනිසුන් ඒ වෙත ඈඳා ගන්නට ඔවුන් උත්සාහ කරනවා. ඇතැම් චිත්‍රපට වෙනුවෙන් කරන විචාර සාර්ථක නොවීමත් සමග සෝනි දෙසට ඇඟිල්ල දිගුවද්දී එක් යුවලක් සෝනි සමාගමට එරෙහිව නඩු මගට බසින්නේ එම විචාරවලින් තමන්ව නොමග හැරි බව කියමින්. කෙසේ හෝ එයින් සෝනි සමාගම පරාජය වන්නේ ඩොලර් මිලියන 1.5ක වන්දි මුදලක්ද එම ක්‍රියාවෙන් රැවටුනු මිනිසුන්ට ලබාදෙමින්. එය එලෙස රැවටුනු මිනිසුන් අතර බෙදා බැලූ කල ඩොලර් පහක් වැනි මුදලක් එක් අයෙකුට හිමිව තිබෙනවා.
7. සත්තු මළේ නෑ

Source – peta.org
මෙම චිත්‍රපටය අතරතුර කිසිඳු සතෙකුට හිරිහැරයක් හෝ කරදරයක් සිදු නොවුනු වග දක්වමින් ඇරඹෙන හොලිවුඩ් චිත්‍රපට ඔබ දැක ඇති. නමුත් එවැනි බොහෝ හොලිවුඩ් චිත්‍රපටවලදී සතුන්ට තුවාල සහ හානි මෙන්ම මරණයද අත්ව තිබෙනවා. හොබිට් චිත්‍රපටයේදී බැටළුවන් සහ එළුවන් 25ක් පමණ රූගත කිරීම් අතරතුර මරණයට පත්ව තිබෙනවා. ලයිෆ් ඔෆ් පයි චිත්‍රපටයේ කොටියා දියේ ගිලී මියයාමෙන් දිවි ගලවාගෙන ඇත්තේ ඉතා අපහසුවෙන්. පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් සිනමාපටය අතරතුර මාළුන් බොහෝ ගණනක් මිය ගොස් තිබෙනවා. කෙසේ වුවත් මෙම ඩිස්ක්ලේමරය, අදාළ සතුන්ට සිදු කළ හානිය සිතාමතා සිදු නොකළ එකක් නම් හෝ එතරම් බරපතල හානියක් නොවන්නේ නම් යොදාගත හැකි බවයි සිනමා ලෝකයේ අදහස වන්නේ.
Cover Image Source – youtube.com
Leave a Reply