ලංකාවේ සොබාදහම වගේම සංස්කෘතියත් ලංකාවටම ආවේණික ගති ලක්ෂණ වලින් යුතු වෙනවා. ලංකාවට උරුම සංස්කෘතික අංග අතර වෙස් නැටුම මුල් තැනක් ගන්නවා. අපේ අය වගේම විදෙස් වලින් ආපු ලොකු හයිකාරයොත් උඩරට පෙරහැරේ යන ලස්සන වෙස් නැටුම් බලන්න පෙරුම් පුරාගෙන පෙරහැර එන මග බලාගෙන ඉන්නවා. ඉතින් මේ වෙස් නැටුම් ගැන කරුණු කාරණා ටිකක් අපි දැනගනිමු.
1. මේ වෙස් ඇඳුම අපේමද?
තතුදත් උදවිය කියා තියෙන විදියට මේ වෙස් ඇඳුම කියන්නේ එකල ඉන්දියාවේ යකැදුරන් විසින් ශාන්තිකර්ම පිණිස පාවිච්චි කළ ඇඳුමක්. ඒක යම් යම් ආකාරවලින් වෙනස් වෙලා අද අපිට තියෙන වෙස් ඇඳුම ඇවිල්ලා තියෙනවා. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයා කියන විදියට වෙස් ඇඳුමේ යට කොටස සකස් වෙන්නේ ගුජරාටි ජාතිකයින් සාම්ප්‍රදායික ධෝතිය අඳින ක්‍රමයට. වෙස් ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් දකුණු ඉන්දීය තෙයියම් නැටුමේදී යොදාගන්නා බව මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්තයා කියල තියෙනවා. නිකමට අපි කේරළ පළාතේ සාම්ප්‍රදායික නැටුම් වල ඇඳුම් පැළඳුම් බැලුවොත් ලංකාවේ වෙස් ඇඳුමට ස්වරූපයෙන් සමාන ඇඳුම් පැළඳුම් අපිට එහෙත් දකින්නට තියෙනවා.
2. කාන්තාවන් වෙස් බැඳීම
කාන්තාවන්ට වෙස් බැඳීම ගැන සාම්ප්‍රදායික අදහස් දැරුව උඩරට නැට්ටුවන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. වර්තමානයේ කාන්තාවන් නර්තනය පුරුදු පුහුණු වී වෙස් බැඳ නර්තනයේ යෙදෙනවා. එහෙත් නුවර පෙරහැර වැනි වෙස් නැටුම් මුලිකව යෙදෙන තැන් වලට තවමත් කාන්තාවන්ට වෙස් බැඳ නැටුම් වල යෙදීමට අවස්ථාවක් නැහැ. කාන්තාවන්ට වෙස් බඳින විට ඇඳුම් ආයිත්තම් වල සුළු සුළු වෙනස්කම් ආදිය සිදුකර ගන්නවා. මෑතකදී මිරන්ඩා හේමලතා මහත්මියගේ කලායතනයේ යුවතියන් පිරිසක් වෙස් බැඳ දර්ශනීය ලෙස නර්තනයේ යෙදුන පුවතක් සමාජ ජාලා හරහා ජනප්‍රිය වුනා..
3. පරපුරට උරුම වූ නැටුම ජනසතු කළ චිත්‍රසේනයෝ
උඩරට නැටුම් නැටීමද එකල රජ කාලයේ විවිධ කුලයන් වෙත පැවරුණු රාජකාරියක්. ඒ අනුව එකල උඩැක්කි නටන්නේ මේ අය ය, නැටුම් නටන්නේ මේ අය ය, තේවාව කරන්නේ මේ අය ය යනාදී වශයෙන් විවිධ කුලවලට පැවරුණු රාජකාරි බවට පත් වුනා. කොටින්ම වසර 68ක් තිස්සේ නුවර පෙරහැරේ වෙස් නටන සූරසේනයන්ගේ ගුරුවරයා වූ සුරඹා ගුරුන්නාන්සේ පවා උඩරට නැට්ටුවෙකු නොවූයේ ඔහු ඒ නටන කුලයට අයත් නොවූ අයකු වූ නිසා. මෑත කාලයේ 1970 දී පමණ චිත්‍රසේන ඩයස් ආදීන් විසින් උඩරට නැටුම හැමෝටම නටන්නට හැකි අවස්ථාව උදාකරලා දීලා තියෙනවා. එහෙම නැතිවුනා නම් කුල ක්‍රමයත් එක්කම උඩරට නැටුමත් අභාවයට යන්නට ඉඩ තිබුනා.
4. වෙස් නැටුම ලංකාවට ආ හැටි ගැන පුරාවෘත්තය
විජය රජු විසින් කුවේණිය අත හැරීම නිසා කෝප වූ කුවේණිය විජය රජුගේ පරම්පරාවට සාප කළා. එම සාපය නිසා පඬුවස්දෙව් රජුද රෝගී වුනා. එම දෝෂය දුරු කිරීමට මලය රටින් මලය රජු ගෙන්වා කොහොඹා කංකාරි ශාන්තිකර්මය පැවැත්වුනා. ශාන්තිකර්මය හමාර වීමෙන් පසු මෙරට පරම්පරාවකට රජු විසින් සිය ඇඳුම් ඇඳගෙන නර්තනයේ යෙදීමට අවස්ථාව ලබා දුන්නා. ඒ මලය රජුගේ ඇඳුම වෙස් ඇඳුම ලෙසත් නටන නැටුම වෙස් නැටුම ලෙසත් දක්වා තියෙනවා.
5. වෙස් ඇඳුමේ ආභරණ
වෙස් ඇඳුමේ ආභරණ සිව් සැට ආභරණ ලෙස දක්වා තියෙනවා. ඒ අනුව ආභරණ සියල්ල හැට හතරක් තියෙන්න ඕනි කියලා තමයි අපිට හිතෙන්නේ. ඒත් ඇත්තටම ඒ ගණන පැරණි ගණනය කිරීම් අනුව තිස් දෙකක් කියලා තමයි පැරණි දේ ගැන දන්න අය කියලා තියෙන්නේ. ඒ තිස් දෙකක ආභරණ වලිනුත් අද ඉතිරි වෙලා තියෙන්නේ ආභරණ 20ක් විතර ප්‍රමාණයක් තමයි. මේ ඇඳුම් ආයිත්තම් තවත් එක ආභරණ ඇඳුම් කට්ටලයක්ම නෙමෙයි. මේ වෙස් ඇඳුම් කට්ටලය රාජකීය ඇඳුම් කට්ටලයක් නිසා වෙස් නටන නැට්ටුවන් විසින් මේ ආභරණ සහ ඇඳුම් ඉතාම ගෞරවයෙන් සලකනවා.
6. උඩරට නැටුම සහ පෙරහැර
උඩරට නැටුම හොඳ හැටි හිතේ හැටියට දැකගන්න තියෙන ලොකුම අවස්ථාව ලෙසට නුවර දළදා පෙරහැර දැක්වෙනවා. නුවර පෙරහැරේ 1919 වර්ෂය වෙනතුරුත් වෙස් නැට්ටුවන් නැටුවේ නැහැ. ඒත් ඉන් පස්සේ දියවඩන නිළමේතුමාගේ දායකත්වයෙන් උඩරට පෙරහැර වෙස් නැටුමෙන් ආලෝකමත් වුනා. නිත්තවෙල, අමුණුගම, තත්පජ්ජල හා තල්ගහගොඩ කියලා සාම්ප්‍රදායික උඩරට ගායන වාදන පරම්පරා 4ක් තියෙනවා. අද වනවිට විවිධ කලායතන, ගුරුකුල ඇතිවී තිබුනත් මූලික වශයෙන් මේ පරම්පරා හතර අදටත් උඩරට පෙරහැරේ නර්තන අංග වලට දායක වෙනවා.
7. වෙස් බැඳීම
වෙනත් නැටුම් පුරුදු පුහුණු වූ පසු කවුරුත් පුළු පුළුවන් හැටියට නටනවා. ඒත් වෙස් නැටුම එහෙම නැහැ. වෙස් ඇඳුම ඇඳලා, වෙස් තට්ටුව තියලා නටන්න පටන් ගන්න එක වෙස් නැටුම් ශිල්පියෙක්ට ලොකු මංගල්‍යයක් වෙනවා. ඉස්සර කාලේ නම් ගෝලයෝ අතරින් හොඳටම වෙස් නැටුම් කලාව ප්‍රගුණ කරපු අයට විතරයි වෙස් බැඳීම් සිදු කළේ. චාරිත්‍ර වාරිත්‍ර රැසකින් යුතු මේ වෙස් බැඳීමේ චාරිත්‍ර අදටත් උඩරැටියන් ඒ විදියටම ආරක්ෂා කරගෙන ඒවා සම්ප්‍රදායක් විදියට රකිනවා.
වෙස් නැටුම් වගේ ප්‍රාසාංගික කලාවන් පොත් පත් රකිනවා වගේ ලොකුවට කබඩ් වල පෙට්ටගම් වල දාලා රකින්න බැහැ. පැරණි ගති ලක්ෂණ, සම්ප්‍රදායන් ආරක්ෂා වෙන විදියට අලුත් පරම්පරාවලට ශිල්ප ලබාදීමෙන් තමයි වෙස් නැටුම ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපේ පැරණි නැටුම් කලාවන් රඟ දක්වන්න, බලන්න අලුත් පරපුරු හුරු කරන එකත් අපි හැමෝගෙම වගකීමක් වෙනවා.
Leave a Reply