හරි, දැන් කතන්දරේ ටයිට්ල් එක දැක්ක ගමන් ට්‍රිගර් වෙන “සීරියස් ලව් සුජීව-හේටර්ස්” ටීම් එක එන්න එපා “මොනාඩ්ඩෝ බොළඳ ආදර කතන්දර මෙච්චර සීරියස් ආටිකල් අස්සේ ගෙනැල්ලා ගහන්නේ?” කියලා අහගෙන! 😀 එතකොට කතාව පොඩ්ඩක් දුරට කියෝගෙන යනකොට “බෝ අතු හෙලවෙන සුජීව-ලවර්ස්” ටීම් එක එන්නත් එපා, “මොනාඩ්ඩෝ අපේ ලොකු අයියගේ සුන්දර කතා වලට අපහාස කරන්නේ?” කියලා අහගෙන. ඔය දෙගොල්ලොමයි, මධ්‍යස්ථ පාර්ශවෙයි වැඳගෙන කතාව අහගෙන ඉන්න. කියවලා ඉවර වුණාට පස්සේ පුළුවන් අපිට දෙපිල බෙදිලා කමෙන්ට්ස් වල මරාගන්න. පක්ෂායි?
හරි, කතන්දරේ ඇවිල්ලා සුජීව ප්‍රසන්නආරච්චිගේ පොතක චරිත දෙකක් වගේ ලව් කරලා බලන එකනේ. ඇත්තටම අපි හිතන්නේ ඕක කරලා බලන්න වටින දෙයක්. නෑ කියලා හිතෙනවද? එහෙමනම් තව දිගට කියවන්න!
1. සුදු මහත්තයෝ.. මගෙ පණ… සුදු නෝනා…
හරි, අපේ සුජීව ලොකු අයියගේ පොත් කියවලා තියෙන කෙනෙක්ට එයාගේ පොත් වල ඉන්න ආදරවන්තයෝ ආදරවන්තියෝ කතා කරගන්න බාසාව මග ඇරෙන්න කොහෙත්ම ඉඩක් නෑ. ලොකු අයියේ, සුදු අයියේ වගේ නෑකමෙන් පටන් ගන්න වදන් වල ඉඳන්, මැණික, සුදූ, මහත්තයෝ, සුදු මහත්තයෝ, පණ, මගෙ දෙයියෝ, රත්තරන් වගේ වචන දක්වා මීපැණි වගේ දැනෙන, ආදරේ උතුරන ඩයලොග්ස් සෙට් එකක් සුජීව අයියගේ පොත් වල තියෙනවා. හැබැයි ස්පෙෂල්ම වචනේ තමයි බබා. කොල්ලටත් බබා, කෙල්ලටත් බබා, බබාටත් බබා! දැන් ගොඩක් අය සුජීව අයියගේ පොත් බොළඳයි කියලා කියන්න ඕකත් එක හේතුවක්ලු.
හැබැයි නිකමට හිතලා බලන්න, උඹලා අපි ලව් කරද්දි වෙන අමුතු වචන කියනවද? මගෙ ප්ලැටිනම් කෑල්ල, මගෙ මුං පැළේ වගේ එව්වා? නෑ නේ? ඔය වචනම හරි, ඔය වචනම පොඩ්ඩක් එහෙන් මෙහෙන් වෙනස් වුණු එව්වා හරි නෙවෙයිද අපිත් පාවිච්චි කරන්නේ ලව් ටෝක් වලට?
2. ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ…
මෙන්න මේක නම් සුජීව අයියගේ පොත් වල අනිවා දකින්න පුළුවන් සීන් එකක්. ඒ තමයි ඒකේ ඉන්න පිවිතුරු කොල්ලා හෝ කෙල්ල හෝ සමහර විට දෙන්නම හෝ හෙනම ධාර්මිකයි, පිංවන්තයි, පිංබරයි. සාමාන්‍යයෙන් සුජීවගේ පොතක ඉන්න කොල්ලා කොළඹ ජීවිතේම ජීවත් වෙලා රස්සාවට අනුරාධපුරේට ගියාට පස්සේ මුලින්ම ගිහිල්ලා සෙට් වෙන්නේ පංසලේ හාමුදුරුවෝ එක්ක. සෙට් වෙනවා කියන එක ඔය රහ මෙර වගේ වෑදි අර්ථෙකින් ගන්න එපල්ලා. ඒ කිව්වේ පංසලේ හාමුදුරුවන්ව බැහැදැකලා එන එකේ ඉඳන් ධර්ම සංවාද කරන එක දක්වා දේවල්. සමහර වෙලාවට ඉතින් පංසලේ දන් අඩුක්කුවෙන් පොඩ්ඩක් සප්පායම් වෙන්නත් හාමුදුරුවෝ ආරාධනා නොකර ඉන්නෙ නෑ. අපි තාම බෞද්ධ නොවෙන හීරෝ කෙනෙක් ඉන්න සුජීවගේ කතාවක් කියෝලා නෑ. අන්න ඒ නිසා අනික් ආගම් වල ඔහොම ලා දළු බෝපත් ටයිප් එකේ කොල්ලො කෙල්ලො ඉන්නවද කියලා අපි දන්නෙ නෑ.
මේක ටිකක් ඕවර් තමයි. හැබැයි ඉතින් ලොකු අවුලක් නෑ. මොකෝ, ධර්මයේ හැසිරුණා කියලා මොනවහරි අඩු වෙනවැයි?
3. ඉඳිආප්පත් එක්ක ගං කුකුළු මස් බොරයක් හදලා, පොල්සම්බෝලයක් තෙල් දාලා…
සුජීව ප්‍රසන්නාරච්චිගේ පොතක් කියවනකොට ඕන සීසන් වුණු කෑමදාස කෙනෙක්ගේ වුණත් කටට කෙළ උනන එක නං නවත්තන්න බෑ. සමහර වෙලාවට සුජීවගේ පොත් වල තියෙන කෑම වට්ටෝරු අපි දන්න, අපි ඉස්සර රස බලලා තියෙන, පස්සේ අමතක වෙලා ගිහින් තියෙන එව්වා. ඒවා සුජීවගේ පොතකින් කියවනකොට ඒවල රස ආයෙ ආයෙත් දැනෙනවා. ඔය කෑම වල රස කොච්චරද කියනවා නං, උතුම් පැතුම් හය වෙනි පොතේ උම්බලකඩවත් කන්නෙ නෑ නෑමයි කියලා ඉන්න ධාර්මික කොල්ලෝ, උතුම් පැතුම් හත් වෙනි පොතට එනකොට ගං කුකුළු මස් බොර ඉල්ලනවා අපෙ හාන්දුරුවනේ!
අන්න ඒ වගේ ඩාං ඩූං වීම් කොහොම වෙතත්, සුජීව අයියගේ කෑම වට්ටෝරු එක්ක අපේ කිසි අමනාපයක් නෑ. හැබැයි ඉතින් අපි උපතේ ඉඳන් බ්‍රෙඩ් ඇන්ඩ් චීස් කාගෙන ආවෙ නැති නිසා, ඒ කෑම වට්ටෝරු “බුදු අම්මෝ ඕ වාව්” වෙන්නෙත් නෑ. ඒත් ඉතින් කොල්ලෙක් වුනත්, කෙල්ලෙක් වුනත් ඔය සුජීව අයියගේ පොත් බලලා හරි කෑම හදන්න දැනගන්නවා නං ඒකත් එකක්!
4. එයත් අහිංසකයි, මාත් අහිංසකයි, අපේ හිත් අහිංසකයි
සුජීව අයියගේ පොත් වල ඉන්න අහිංසක නොවෙන වීරයෙක් දැකලා තියෙනවද? ආන්න සීන් එක. වීරයෙක් සිටින්නේ නම් ඒ වීරයා හෙනම අහිංසකයි. කොහොමත් සුජීවගේ පොත් වල වීරයන්ගේ දැහැමිකම තියෙනවනේ. ආයෙ දුෂ්ටයා ඇවිත් කම්මුල් පාරක් ගැහුවොත්, තත්පරෙන් අනෙක් කම්මුලත් හරෝලා ඇති. එතකොට පොතේ ඉන්න වීරවරිය? ආන්න එයා අහිම අහිංසකයි. ආයෙ මලක් වගේ, රයිට්! මදුරුවෙක් ඇවිත් පස්සට විදලා ගියත් අඬනවා. එතකොට දුෂ්ටයා? පොර ඉන්නේ කෙලින්ම “බුහහහහා මම දුෂ්ටයා” ලෙවල් එකෙන්. ආයෙ මළාට එක ධාර්මික වැඩක්, යහපත් වැඩක් කරන්නෙ නෑ. කාර් එකේ පිටිපස්සෙන් විස්කි බෝතලේ ඇදලා අරන් පංසල දිහා බලාගෙන ගුඩු ගුඩු ගාලා අමුවෙන්ම ගහලා දානවා. ඒ කරලා “මම අරූව කනවා යකොව්, පරයව බිතුසිතුවමක් කරලා අරින්නේ” කියලා වීරයව කුඩුපට්ටං කරන්න ප්ලෑන්ස් ගහනවා.
අපි නං කියන්නේ මිනිහෙක් ඔය තරං අහිංසක වෙන එක අවුල්. හරි, ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රැකේ කියන්න පුළුවන්. හැබැයි ඉතින් අහිංසක කම සහ නෝංජල් කම කියන්නේ දෙකක්!
5. සොරි මිස්ටර් උඩුරාවණ, මං ඔයාට වැරැද්දක් කරලා නෑ, ඇයි ඔයා මට බ්ලේම් කරන්නේ?
ආන්න අපි කියපු පොයින්ට් එක තව ඉස්සරහට අරගෙන යන්න පොටක්. ආයෙ දුෂ්ටයා ඇවිත් ලෙලි යන්න නැව් ගුටි දීලා ගියත් අපේ වීරයා නෙවෙයි අතක් උස්සන්නේ. හැබැයි අපි සුජීව අයියගේ පොතක එකම එක තැනක දැක්කා ගහන්න යන දුෂ්ටයාගේ අත අල්ලලා නවත්තන අපේ කාලේ වීර කොල්ලෙක්. ඊට පස්සේ පොර හෙන ටෝක් එකකුත් ඉෂූ කරනවා. “සොරි මිස්ටර් උඩුරාවණ, අපි අතින් පයින් ගහලා වට්ටන්න පුළුවන් පරම්පරාවක ඉපදිලා නෑ, මම ඔයාට වැරැද්දක් කරලා නෑ, ඇයි ඔයා මට මෙහෙම කරන්නේ?” කියලා!
ලොකුම අවුලකුත් නෑ ඉතිං. කොහොමත් අන්තිමට දුෂ්‍ටයාට යන එන මං නැතිවෙලා එක්කෝ හිරේ යන්න වෙනවා. නැත්තං තමන් අච්චර අපරාධ කරපු කෙල්ලගේ දෙපතුල් ගාවට එන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් මොන තරම් නිවිච්ච ඩයල් එකක් වුනත් ඇත්ත ජීවිතේදී මේ වගේ උණුසුම් තත්ත්වයකදී ප්‍රතිචාර දක්වන විදිය වෙනස්නේ. ආයෙමත් කියන්න තියෙන්නේ, අහිංසකයි කියන්නේ නෝංජල් කියන එක නෙවෙයි කියලා තමයි.
6. අම්මේ, තාත්තේ, මට දෙන්න දුවව මෙච්චර කාලයක් මෙහෙම රැක්කට පිං!
සාමාන්‍යයෙන් සුජීව අයියගේ පොතක හීරෝ කෙනෙක් ගෙදරට අඳුන්වලා දෙනවා කියන්නේ, අර ඉන්ටර්නැෂනල් ගායකයෙක්ගේ ෂෝ එකක පොර එනකල් ලපයි සිපයි බෑන්ඩ් එකක් පොඩි පොඩි සිංදු කිය කියා හිටියා වගේ තමයි. ආයෙ හීරෝ බැස්සට පස්සේ පොර බෑණා වෙන්න කලින් ගෙදර පුතා වෙනවා. මෙච්චර කල් ගෙදර හිටපු උන්ට තැනත් නෑ, ඇපත් නෑ! හීරෝ ආයෙ සරම කැහැපට ගහගෙන වත්ත පිටිය සුද්ධ බුද්ධ කරලා, කෑමත් හදලා, තේත් හදලා ෆුල් ඇටෙන්ෂන් ගන්නවා. අවුල්ද? අවුල් වෙන්න දෙයක් නෑනේ!
ඇත්තටම ඉතින් ඔය පවුල් පන්සල් වෙන්න යන එවුන්ගේ පවුල් අතරේ තියෙන කෂිලි බිෂිලි දැක්කහම අපිට හිතෙනවා මේ සුජීව අයියගේ පොත් වල ඉන්න බෑණලා, ලේලිලා, නැන්දම්මලා, මාමණ්ඩිලා දාහෙන් සම්පතයි කියලා. ඇත්තටම වෙන්න ඕනෙත් අලුතෙන් පවුලකට එකතු වුණත්, ඒ පවුලේ අයව මේ පැත්තෙන් තේරුම් ගනිමින්, අලුතෙන් ආපු එකාව ඒ පැත්තේ පවුලේ අය තේරුම් ගනිමින්, සමගියෙන් සමාදානෙන් ජීවත් වෙන එක නෙවෙයිද?
7. අපි දෙන්නම හිමින් හිමින් නැගිටිමු රත්තරන්…
මේන්න මේක නම් අපි සුජීව අයියගේ පොත් වල දැක්ක ඉතාම හොඳ පොයින්ට් එකක්. සුජීව අයියගේ පොත් වල වීරයගේ චරිත කරන කොල්ලෝ වගේම කෙල්ලෝ වුනත් නීතියක් විදියටම හෙන උත්සාහවන්ත ඩයල්. ආයෙ අර කුඩු විකුණලා පෝසත් වෙන්න වගේ ජීවිතේට ෂෝට්-කට් හොයන උන්දැලා නෙවෙයි. ඒ වෙනුවට තමන්ගේ මහන්සියෙන්, ස්වෝත්සාහයෙන් නැගිටින්න හදන අය. එතකොට ඒ කොල්ලන්ට කෙල්ලන්ට ලව් කරන්න සෙට් වෙන කොල්ලෝ කෙල්ලොත් එහෙම තමයි. ආයෙ තමන්ගේ ලව් කරන එකාට හෝ එකීට හෝ නැගිටින්න බොක්කෙන්ම, ගැම්මෙන්ම සප් එක දෙන එවුන්.
මෙන්න මේක මරේ මරු. ඇත්තටම මෙහෙම මිනිස්සු තමයි මේ ලෝකේ ඉන්න ඕනැත්. එහෙම නැතුව මොනවහරි කටට වැටෙනකල් කට ඇරගෙන බලාගෙන ඉන්න එවුන්වත්, ෂෝට් කට් එකෙන් ගොඩයන්න රෙඩ් මර්කරි හොයන එවුන්වත්, මිනිහා හෝ ගෑණි බැංකු කඩලා හරි තමන්ට කන්න ගෙනත් දෙනකල් තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න එවුන්වත් නෙවෙයි. අන්න ඒ නිසා මේ පොයින්ට් එකට අපි සුජීව අයියට සැලියුට් එකකුත් ගහනවා.
දැන් ඔහොම බලනකොට සුජීව අයියගේ පොත් ඇත්තටම බොළඳද? සුජීව අයියගේ පොත් වල චරිත අමු ෆ්ලැට් තමයි. ඒකේ දෙකක් නෑ. ඒත් සුජීව ප්‍රසන්නාරච්චිගේ පොත් වල ගන්න දේවල් ඇත්තෙම නැද්ද? කියවලා බලලාම කමෙන්ට් එකක් දාලා හිතෙන දේ කියන්න!
Leave a Reply