හිමි අහිමි – 25 කොට​ස

ෆයිනල් එක්සෑම් ළඟ නිසා ලෙක්චර්ස් වලදී කට්ටියම හිටියේ ටිකක් සැහැල්ලුවෙන්. සෙට් එකම එකට එකතුවෙන අන්තිම පන්ති කිහිපය නිසා හැමෝම වගේ ලෙක්චර්ස් වලට ආවා. සිලබස් එකත් හුඟක් දුරට ඉවර නිසා ලේක්චරර්ස්ලත් කලේ ළමයි එක්ක සුහඳව කතාබහ කරන එක. අද ඉන්න සීනියර් ලෙක්චරර් කැම්පස් එකේම ලෙක්චරර් කෙනෙක්. තනතුරෙන් සීනියර් වුණාට ඔහු තවම තරුණවිය නොඉක්මවූ ගුරුවරයෙක්. ඒ නිසාම විමංගගේ ක්ලාස් එකේ ළමයි හැමෝවම වගේ වෙන වෙනම දන්නවා වගේම ඔවුන් එක්ක හරිම හිතවත්. ඉතින් ඔහුගේ යෝජනාව මත අද හවස් වරුවේ හැමෝම කලේ උපාධිය අවසන් කලාට පස්සේ අනාගතේ තමන් කරන්න ඉන්න දේවල් ගැන කතා කරන එක. ෆයිනල් ඉයර් එකේ ලෙක්චර්ස් තිබුණේ පාර්ට් ටයිම් නිසා හුඟක් දෙනෙක් දැනටමත් විවිධ රැකියා ආරම්භ කරලා තිබුණා. එහෙම නැති හැමෝම ලේක්චරර්ගෙන් විවිධ උපදෙස් ගන්නත් අමතක කලේ නැහැ. ඔය අතරේ තමයි විමංගගෙ වාරය ආවේ. 

“විමංගට නම් ඉතින් අමුතුවෙන් දේවල් ප්ලෑන් කරන්න ඕන නැහැ. නේද පුතා?” ලෙක්චරර් එහෙම කිව්වෙ හිනාවෙන ගමන්. අනිත් ළමයිනුත් ඒකටම එකතුවෙලා විවිධ විහිළු කරන්න ගත්තා.

“ඔව් සර්.. අපිත් මේ මෑන්ස්ගෙන් ජොබ් ඉල්ල ගන්න ඉන්නේ” චේතකගේ කතාවත් එක්ක පන්තියම සද්දෙට හිනාවුණා.

අප්පච්චිගේ මරණයත් එක්ක විමංගගේ පවුල් පසුබිම තවදුරටත් කැම්පස් එකට රහසක් වුණේ නැහැ. ඒ නිසාම මේ වෙනකොට ලේක්චරර්ස්ලා, ළමයි, වගේම කැම්පස් එකේ හුඟක් දෙනෙක් දැනගෙන හිටිය විමංග කියන්නෙ හිටපු ප්‍රසිද්ධ ව්‍යාපාරික මින්දුල ජයදේවගේ ලොකු පුතා බව. ලෙක්චරර් ඒ විදිහට හිනාවෙමින් කිව්වෙත් විමංගගේ අප්පච්චිගේ ව්‍යාපාර ගැන. 

අනිත් අය හිනාවුනාට ඒ කතාවට හිනාවෙන්න පුළුවන් කමක් විමංගටනම් තිබුණේ නැහැ. විමංගගට දැනුණේ ලොකු පිරිසක් අතරේ තනිවුණා වගේ අසරණ හැඟීමක්. ඔහු කෙලින්ම ඈත හිටපු නිතාරා දිහා බැලුවා. ඇයත් විමංග දිහා බලාගෙන හිටියේ ඒ වගේම අසරණ බැල්මකින්. ආපහු ඉදිරිපස බලපු විමංග වෙනසක් නොපෙන්වා මුහුණේ හිනාවක් රඳවගෙන කතාකලා.

“නැහැ සර්.. බිස්නස් වැඩ කරන්න තාම බයයි වගේ. මම බැලුවේ මෙහෙමම මාස්ටර්ස් එකත් කරන්න” 

“ආ.. දැට්ස් අ ග්‍රේට් අයිඩියා පුතා.. අනිත් අයට නම් මම කියන්නෙ නැහැ එහෙම කරන්න කියල. මොකද ඔයාලට බේසික් ඩිග්‍රි එකත් එක්ක වර්ක් එක්ස්පීරියන්ස් ගොඩක් වැදගත්. ඒවා හදාගෙන තමයි ඊළඟ ස්ටෙප් ඒකට යන්න ඕන. හැබැයි විමංගගේ සිටුවේෂන් එක වෙනස්නේ. එයාට කාලය තියෙනවා.  එහෙම දරුවෙකුට ඒක හොඳ අදහසක්. ඉතින් පුතා, ඔයා ඔෆිස් එකත් එක්ක කතා කලාද?” ලෙක්චරර් ඒ විස්තර ඇහුවේ පුදුම උනන්දුවකින්.

“ඉක්මනට කතා කරන්න වෙයි පුතා… ප්‍රෝග්‍රෑම්ස් කිහිපයක් ළඟදි පටන් ගන්නවා. ඔයා බැලුවේ ජෙනරල් ඒම.බී.ඒ. එකක් කරන්නද?” ඔහු දිගින් දිගටම ආපහු ඇහුවා..

“මේ.. තාම නැහැ සර්..’ විමංග කිව්වේ ගොතගසමින්” මේ කැම්පස් එකේම මාස්ටර්ස් එක නොකරන බව කියන්න ඔහුට පොඩි අපහසුතාවයක් දැනුණා.

“මම බැලුවෙ සර් මයිග්රේට් කරන්න කියල. අප්පච්චි ඒ දවස්වල යුනිවර්සිටි කිහිපයක් ගැනම කිව්වා” 

“ඒකත් ඇත්ත.. පුළුවන්කමක් තියෙන කෙනෙකුට ඒකත් හොඳ ඔපර්චුනිටි එකක් තමයි. හැබැයි පුතා හරියට බලල කරගන්න වෙනවා”

“ඔව් සර්. අප්පච්චිගෙ යාළුවෙකුට කතා කළා. කන්සල්ටන්ට් කෙනෙක්. මේ එක්සෑම් ඉවරවෙනකන් ඉන්නෙ ඇප්ලයි කරන්න” ඒ පාර නම් විමංග කතාකලේ හිතේ කිසිම දෙගෙඩියාවක් නැතුව.

“සර්.. නිතාරා මොකද කරන්නෙ අහන්නකෝ” ඒ සද්දෙ ආවෙ පන්තියේ පිටිපස්සෙම පේලියකින්. 

ඒපාර නම් විමංගත් ඒ පැත්ත බැලුවේ හිනාවෙමින්. විමංගගේ විස්තර වගේම මේ දෙන්නගේ සම්බන්ධයත් කැම්පස් එකේ හුඟ දෙනෙකුට මේ වෙද්දී රහසක් වුණේ නැහැ. දෙන්නා ගැන දැනගෙන හිටපු ලේක්චරර්ස් ලා කිහිප දෙනා අතරේ මේ සීනියර් ලෙක්චරර් චමින්දත් හිටියා. ඒ නිසාම ලෙක්චරර් සද්දෙ ආපු පැත්ත බැලුවෙත් හිනාවෙමින්. නිතාරගේ මුහුණේ නම් තිබුණේ අල්ලගන්නම්කො වගේ පෙනුමක්.

“එයා මෙහෙ ඉඳන් ලියුම් ලියනවලු සර්” ඒ සද්දෙත් ආවේ පිටිපස්සෙ පේලියෙන්මයි. ඒත් එක්කම නිතාරා හිටපු පැත්තෙන් ලොකු කඩදාසි ගුලියක් පිටිපස්සෙ පේලියට විසිවුණේ පන්තියම ආපහු සිනා සයුරක ගිල්වමින්.

“ආ.. ඔය හම්බුණේ ලියුමක්” ලෙක්චරර් චමින්දත් කිව්වේ හිනාවට එකතුවෙමින්. 

ඔය විදිහට තව කිහිප දෙනෙකුගේ විස්තර අහමින් ඉන්න අතරේ ක්ෂණිකවම පන්තියම නිශ්ශබ්ද කරමින් දොර අරගෙන තුලට ආවේ ඔෆිස් එකේ කෙනෙක්. 

“එක්ස්කියුස් මී සර්” 

“යේස්” ලෙක්චරර් පන්තිය පිටුපසට ඇවිදගෙන ගියේ එහෙම කියාගෙන. දෙන්නා පුංචි වෙලාවක් කතාකරමින් ඉඳලා විසිරිලා ගියා. ඊට පස්සේ ඒ ගැන කිසිම කතාවක් නොවුන නිසා ඒක ළමයින්ට ආපු පණිවිඩයක් නොවෙන බව හැමෝම හිතාගත්තා. 

“හරි.. අපි දැන් හවස් වරුවම වෙන්කලානෙ ඔයාලගෙ අනාගතේ ගැන කතා කරන්න. ඔය කතාබහ කරපු වෙලාව නාස්ති නොවෙන්න අනාගතේ හදාගන්න එකත් ඔයාලගෙ අතේ තමයි පුතේ. මෙතනින් එලියට ගිය දරුවෙකුට මේ වෙනකන්නම් වැරදිලා නැහැ. හැබැයි ඉතින් මොලෙන් ගේම ගහපු අය තමා උඩින්ම ඉන්නෙ. ඔයාලගෙනුත් මට වෙන්න ඕන එච්චරයි. තේරුනාද?” ලෙක්චරර් එහෙම කිව්වේ හරිම අවධාරණයෙන්.

“අපි ආයේ ක්ලාස් එකකදි හම්බෙන එකක් නැහැ. හැබැයි ඕන වෙලාවක කතාකරන්න. මගේ නම්බර් එක හැමෝම ගාව ඇති නෙ.. එහෙනම් ගුඩ් ලක් ළමයි..” පන්තිය අවසන් වුණේ ඒ විදිහට.

“පුතා විමංග, ඔයා පොඩ්ඩක් නතර වෙන්න” හැමෝම නැගිටලා යන්න සූදානම් වෙන අතරේ විමංග නැවත හිස ඔසවා බැලුවේ ලේක්චරගේ ඒ හඬට. එහෙමම නිතූ දිහා බලපු විමංග “ඔයා යන්න, මම එන්නම්” කියමින් තොල් වලින් මුමුනමින් හිසින් සන්ඥා කළා.

පන්තියේ හැමෝම එලියට ගියාට පස්සෙ ඉතුරු වුණේ ලෙක්චරර් එක්ක විමංග විතරයි. 

“පුතා.. අර ඔෆිස් එකෙන් ආවෙ ඔයාගෙ පණිවිඩයකට” 

විමංග පුදුමෙන් සර් දිහා බැලුවා.

“මගේ? ඒ මොකක්ද සර්?” විනය විරෝධී වැඩක් නොකළ බවනම් ඔහුට හොඳටම විශ්වාසයි.

“නෑ නෑ.. බය වෙන්න දෙයක් නෙමෙයි” ලෙක්චරර් චමින්ද කිව්වේ විමංගගේ මුහුණ දිහා බලමින් හිනාවෙමින්. 

“ඔයාගෙ නමට ඔෆිස් එකේ ලියුම් දෙකක් තියෙනවා කිව්ව පුතා. ඔයා යුනි එකේ ඇඩ්‍රස් එක කොහෙට හරි දුන්නද?

“නැහැනෙ සර්. ගෙදර ඇඩ්‍රස් තමා හැමතැනටම දීල තියෙන්නෙ” විමංග පිළිතුරු දුන්නෙ තවත් පුදුමයකින්.

“ඒක තමා. අපි සාමාන්‍යයෙන් එහෙම ලේටර්ස් බාර ගන්නෙත් නැහැ. කෝකටත් ඔයා පොඩ්ඩක් ගිහින් බලන්නකෝ. එවපු කෙනෙකුට කියන්න පුතා ආයෙත් මෙහෙට ලේටර්ස් එවන්න එපා කියල. ඒක ඔෆිස් එකේ අයට අමතර වැඩක්. අනික ඔයාල ඉස්සරහට මෙහෙ එන්නෙත් නැහැනේ” ඔහු තව දුරටත් කිව්වා.

“ෂුවර් සර්. මම බලන්නම්” විමංග ඔහුට ස්තූති කරමින් පන්ති කාමරයෙන් පිටවුණේ ඒ ලියුම මොකක් වෙන්න පුළුවන්ද කියලා හිතමින්. මේ අවුරුදු හතරටම ඔහු කිසිම කෙනෙකුට කැම්පස් එකේ ලිපිනය දීලා නැහැ වගේම එහෙම ලියුම් කිසිම එකක් මීට පෙර ඔහුගේ නමට කැම්පස් ඒකට ලැබිලා තිබුනෙත් නැහැ කියලා විමංගට හොඳටම විශ්වාසයි. 

 

හිමි අහිමි – 1 කොටස

හිමි අහිමි – 2 කොට​ස

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

හිමි අහිමි – 7 කොටස

හිමි අහිමි – 8 කොට​ස

හිමි අහිමි – 9 කොටස

හිමි අහිමි – 10 කොට​ස

හිමි අහිමි – 11 කොට​ස

හිමි අහිමි – 12 කොට​ස

හිමි අහිමි – 13 කොට​ස

හිමි අහිමි – 14 කොට​ස

හිමි අහිමි – 15 කොට​ස

හිමි අහිමි – 16 කොට​ස

හිමි අහිමි – 17 කොට​ස

හිමි අහිමි – 18 කොට​ස

හිමි අහිමි – 19 කොට​ස

හිමි අහිමි – 20 කොට​ස

හිමි අහිමි – 21 කොට​ස

හිමි අහිමි – 22 කොට​ස

හිමි අහිමි – 23 කොට​ස

හිමි අහිමි – 24 කොට​ස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *