ලෝකයේ විවිධ රටවල අවසාන රජවරු

Lifie අපි අවස්ථා ගණනාවකදී ලෝකයේ විවිධ රටවල රාජාණ්ඩුවල නැගීම සහ වැටීම පිළිබඳව ලිපි ගෙන ඇවිත් තියෙනවා. මුල් කාලයේදී සියළුම රටවල් රාජාණ්ඩු වුණත් කාලයත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය ආදී සංකල්පවල වර්ධනයත් එක්ක මේ රාජාණ්ඩු ශීඝ්‍රයෙන් සමූහාණ්ඩු බවට පත් වුණා ඒ වගේම අතීතයේදී ලෝකයේ බහුතරයක් රටවල රාජාණ්ඩු ඇදවැටීමට එම රජවරුන්ගේ කල් ක්‍රියාවලු‍ත් වක්‍රාකාරයෙන් බලපෑම් කරලා තියෙනවා. අපි අද ඔබත් එක්ක තොරතුරු බෙදා ගන්න යන්නේ විවිධ රටවල අවසාන රජවරු පිළිබඳව.

 

 

1. පළමු චාල්ස් රජු

පළමු ලෝක යුද්ධය ආරම්භ වන අවධියේදී යුරෝපයේ ප්‍රධානතම බලවේගයක් වූයේ ඔස්ට්‍රියා හංගේරියානු අධිරාජ්‍යයයි. මධ්‍යම යුරෝපයේ වැඩි කොටසක් ඔවුන් සතුව පැවති අතර දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් සතුව පැවති රාජ්‍යයන් නිදහස් වීම නිසා යම් තාක් දුරකට ඔවුන් දුර්වලව පැවතුණත් කලාපයේ බලවතෙකු ලෙස යම් ප්‍රබලතාවයක සිටියා. නමුත් පළමුවන ලෝක යුද්ධය අවසානයේදී රට අභ්‍යන්තරයෙන්ම ස්වකීය රාජාණ්ඩුවට විරෝධය පැන නැගුණා එහි ප්‍රතිඵලය වූයේ ඔස්ට්‍රියාවේ එවකට රජ කළ පළමු චාල්ස් රජු හට සිය ධූරය අත්හැර දැමීමට සිදුවීමයි.

 

2. දෙවැනි සයිමන් රජු

බල්ගේරියාවේ රජු බවට සයිමන් කුමරු පත්වන විට ඔහුට වයස අවුරුදු හයක් පමණයි. රජුට එරෙහිව රජ පවුල තුළින්ම කුමන්ත්‍රණයක් ඇති වුණු අතර අවසානයේදී ජනමත විචාරණයක් මගින් රජු බලයෙන් පහ කෙරුණා. ඉන්පසුව ඔහු වැඩි කාලයක් ගත කළේ ස්පාඤ්ඤ වැනි රටවලයි. කෙසේ නමුත් බල්ගේරියාවේ පැවැති කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසුව නැවතත් තම මව් රටට පැමිණි සයිමන් කුමරු වසර කීපයක් එරට අගමැතිවරයා ලෙස ද කටයුතු කළා.

 

3. දෙවෙනි විල්හෙල්ම් අධිරාජ්‍යයා

පළමුවැනි ලෝක යුද්ධයේ ප්‍රධානතම විත්තිකාරයා ලෙස සැලකෙන දෙවැනි විලියම් කයිසර් හටද පළමු ලෝක යුද්ධයේ පරාජයත් සමග සිය සිහසුන අහිමි වුණා. මුල් අවස්ථාවේදී ඔහු ජර්මානු අධිරාජ්‍ය පදවියෙන් පමණක් ඉවත් වී සිය මව්බිම වන ප්‍රෂියාවේ රජු ලෙස දිගටම කටයුතු කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. අවසානයේදී නැගී එන ජන මතයට එකඟ වූ ඔහු නෙදර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබා ගත්තා.

 

4. දෙවැනි උම්බර්ටෝ රජු

දෙවැනි ලෝක යුද්ධය අවසානයේදී ඉතාලියේ රජකළ තුන්වැනි වික්ටර් එම්මානුවෙල් රජු හට සිහසුනෙන් ඉවත් වන ලෙස දේශීයව සහ විදේශීයව දැඩි පීඩනයක් එල්ල වුණා. ඒ අනුව ඔහු එම ධුරයෙන් ඉවත්ව ඉතාලියේ රජ කිරුළ සිය පුත්‍රයා වන උම්බර්ටෝ හට පැවරුවා. එමගින් ඔහු අපේක්ෂා කරන ලද්දේ ඉතාලි රජ පවුලේ බලය තවදුරටත් ආරක්ෂා කර ගැනීමයි. කෙසේ වෙතත් එය සාර්ථක වූයේ නැහැ. ජනමත විචාරණයකින් අනතුරුව ඉතාලි වැසියන් උම්බර්ටෝ රජුව බලයෙන් පහකොට සිය මව් රට සමූහාණ්ඩුවක් බවට පත් කිරීමට ඡන්දය ලබාදුන්නා.

 

5. දෙවැනි මනුවෙල් රජු

දෙවැනි මනුවෙල් රජු හට කිරුළ උරුම වූයේ සිය පියා සහ වැඩිමහල් සහෝදරයා ඝාතනය වීමත් සමගයි. මේ වන විට පෘතුගාලය දේශපාලන වශයෙන් දැඩි අස්ථාවරත්වයට පත් ව තිබූ අතර එම තත්ත්වය සමනය කිරීමට රජු දැඩි උත්සාහයක් දරනු ලැබුවා. කෙසේ වෙතත් එම ක්‍රියාමාර්ග කිසිවක් සාර්ථක වූයේ නැහැ. අවසානයේදී සමූහාණ්ඩුවාදීන් රට තුළ නොසන්සුන්තාවයක් ඇති කළ අතර අවි ගැටුමක් දක්වා එය වර්ධනය වන බව දුටු රජු සහ රජ පවුලේ සාමාජිකයන් පිටුවහල් වීමට තීරණය කළා.

 

6. පළමු මයිකල් රජු

මයිකල් කුමරු රුමේනියාවේ රජු බවට දෙවරක් පත්වූ අතර එම දෙවරම ඔහුව බලයෙන් පහ කෙරුණා. පළමු වතාවේදී එවකට පිටුවහල් තත්ත්වයේ සිටි මයිකල් කුමරුගේ පියාම සිය පුත්‍රයාව බලයෙන් පහකොට එරට රජු බවට පත් වූ අතර ඔහුගේ ඇවෑමෙන් මයිකල් කුමරු යළිත් රජු බවට පත්වුණා. කෙසේ නමුත් මේ සමය වන විට දෙවැනි ලෝක යුද්ධය ඇරඹී තිබූ අතර මයිකල් කුමරු නාසි විරෝධී ප්‍ර‍තිපත්තියක් අනුගමනය කරනු ලැබුවා. පසුව සෝවියට් හිතවාදී රජයක් රුමේනියාවේ බලය ලබාගත් අතර ඔවුන්ගේ බලපෑම් හමුවේ මයිකල් රජුට සිය සිහසුන අතහැරීමට සිදුවුණා.

 

7. දෙවැනි පීටර් රජු

ප්‍රංශයේ නිල සංචාරයක යෙදෙමින් සිටි සිය පියාගේ ඝාතනයත් සමග දෙවැනි පීටර් රජු යුගොස්ලෝවියාවේ රජු බවට පත් වන විට ඔහුට වයස අවුරුදු එකොළහක් පමණ‍යි. ඒ වන විට රාජ්‍ය භාරකාරයා ලෙස කටයුතු කළ පීටර් රජුගේ ඥාතියෙකු ජර්මනිය ප්‍රමුඛ රටවලට සහාය දීමට තීරණය කරනු ලැබුවා. වහා ක්‍රියාත්මක වූ මිත්‍ර පාක්ෂික රටවල් ප්‍රතිකුමන්ත්‍රණයක් මගින් යළිත් යුගොස්ලෝවියාවේ බලය තමන් අතට ගැනීමට සමත්වුණා. ඊට ප්‍රතිචාර ලෙස ජර්මනිය ප්‍රමුඛ සන්ධානය යුගොස්ලෝවියාව ආක්‍රමණය කළ අතර පීටර් රජු සහ රාජ සභාව ආරක්ෂාව පතා මව්බිමෙන් පලා ගියා. ලෝක යුද්ධය අවසානයේදී යුගෝස්ලෝවියාව සමූහාණ්ඩුවක් බව ප්‍රකාශයට පත් කිරීම නිසා ඔහුට මවු රටට පැමිණීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *