කැන්සර් එහෙම නැත්නම් පිළිකා කියලා කියන්නේ සිරුරේ ඇතිවෙන අසාමාන්‍ය සෛල වර්ධනයක්. මේ කැන්සර් සිරුරේ සෑම තැනකම පාහේ ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. දැන් බොහෝ පිළිකාවන් වලට ප්‍රතිකාර තිබෙනවා. ඒ තිබුනත් පිළිකා නැතිනම් කැන්සර් වල බලපෑම සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුලුවන් වෙන්නේ එහෙමත් අවස්ථාවක තමයි. ඇත්තටම ඇයි මේ කැන්සර් අපිට නිතර අහන්න දකින්න ලැබෙන්නේ? අපි ඒ ගැන ටිකක් සොයා බලමු.
1. ජනගහණය වැඩි වීම
ජනතාව වැඩිවෙද්දි සෑම රෝගයක්ම වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ලංකාවෙත් දැන් මිලියන 20කට අධික ජනතාවක් ඉන්නවා. 1963 දී ලංකාවේ සිටියේ ජනගහණය මිලියන 10ක් පමණයි. දැන් ඒ ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩියි. ඒ ජනයා අතර පැතිරිලා තියෙන ජානමය පසුබිම නිසා පිළිකා ඇතිවෙනවා. ඊට අමතරව මත්පැන් පානය සහ දුම්පානය නිසා පිළිකා ඇතිවෙන වෙලාවලුත් තියෙනවා. මිනිසුන් වැඩිවීම නිසා දැන් ගම් පළාත්වල පවා පිළිකා රෝගීන් වාර්තා වෙන වෙලාවල් තියෙනවා.
2. වැඩිහිටියන් වැඩිවීම
නූතන තාක්ෂණයේ දියුණුව නිසා විවිධ ආකාරයේ රෝග ආබාධ රැසකට බෙහෙත් හොයාගෙන තියෙනවා. ඒ වගේම නිවැරදිව දිගුකලක් ජීවත්වෙන ආකාරය ගැනත් සාර්ථක දැනුමක් අද ජීවත්වෙන මිනිසුන්ට තියෙනවා. එක්සත් රාජධානියේ පිළිකා වැළඳී ඇති පුද්ගලයින්ගෙන් හතරෙන් තුනක්ම අවුරුදු 60ට වැඩි අය කියලා හොයාගෙන තියෙනවා. උපතේදී ආයු අපේක්ෂාව වැඩි වෙද්දි දැන් අවුරුදු 60න් විශ්‍රාම ගිහිනුත් තව දශකයක් දෙකක් මිනිසුන් ජීවත් වෙනවා. ඒ වැඩිහිටි වියේදී කැන්සර් හෙවත් පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි. ඒ නිසාත් කැන්සර් වාර්තාවෙන ප්‍රමාණය වැඩියි.
3. තොරතුරු තාක්ෂණ දියුණුව
විදෙස් රටක සිටින අයෙකුට කැන්සර් එකක් හැදුනත් අද එසැණින් අපිට දැනගන්නට හැකියාව ලැබෙනවා. තොරතුරු තාක්ෂණය එක්ක අපිට මිතුරන්, නෑයින්, වැඩකරන සඟයින් රාශියකගේ තොරතුරු එකපාර ලැබෙනවා. ඒ නිසා ඒ අයගේ සතුටු හිතෙන අවස්ථා වගේම දුක හිතෙන අවස්ථාත් අපිට වාර්තා වෙනවා. ඉස්සරත් අපේ නෑ හිතමිතුරන්ට යම් රෝගාබාධ තිබුනා. ඒත් ඒවා දැනකියාගන්න දැන් තරම් ඒ කාලේ ලේසි නැහැ. එක් පුද්ගලයෙකුට තිබෙන මිතුරු සබඳකම්, නෑදෑ සබඳකම් ආදිය වැඩිවීමත් එක්ක අපිට අහන්න දකින්න ලැබෙන පිළිකා රෝගී තත්ත්වයන් වැඩියි.
4. බුලත්විඩ සහ දුම්පානය
දුම්පානය නිසා පෙනහළු වල පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. දුම්බීම පිළිකා ඇතිකරයි කියලා දුම්වැටි පෙට්ටියේත් මුද්‍රණය කරලා තියනවා. බුලත් කියන්නේ වටිනා කොළයක් වුනත් හුණු, දුම්කොළ සමග බුලත්විඩ නම් කටට හොඳ දෙයක් නෙමෙයි. කලක් සැරට බුලත් හපන අයට මුඛ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙනවා.
5. මත්පැන් පානය
ලංකාව කියන්නේ බොන මිනිසුන් වැඩි රටක්. ඇතැමුන් කියන ආකාරයට ඒක පුද්ගල මධ්‍යසාර භාවිතය අතින් ලංකාව ඉහළ තැනක සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව වසරකට ලාංකික පිරිමියෙකු ලීටර් 26.5ක් පමණ මත්පැන් පානය කරනවා. මත්පැන් පානයත් අක්මාවේ පිළිකා වගේම ආහාර ජීර්ණ පද්ධතියේ පිළිකා වලට හේතු වෙනවා. අපේ රටේ මත්පැන් මිල වැඩිවීම රජයේ ආදායමට හොඳ වුනත් ජනයාගේ සෞඛ්‍යයට මත්පැන් කියන්නේ අන්තිම නරකට බලපාන දෙයක්.
6. අයහපත් ජීවන රටාව
ආහාර රටාවේ පුරුදු වෙනස් කරගැනීමෙන් සෑම පිළිකා 20කින් එකක් වළක්වාගත හැකි බව එංගලන්ත පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තියෙනවා. සකස්කළ ආහාර සහ සකස්කළ මස් වර්ග ආහාරයට ගැනීම තුළින් පිළිකා අවදානම වැඩිවෙනවා. සැකසූ ආහාර නොමැතිව ස්වභාවික ආහාර වර්ග පාලනයක් ඇතිව ගැනීමෙන් ශරීර සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන පිළිකා වලට අමතරව ලෙඩ රෝග රැසක් වළක්වාගැනීමට අවකාශ ලැබේවි.
7. ශාරීරික යෝග්‍යතාවය යහපත්ව පවත්වා නොගැනීම
කට පාලනය වගේම සිරුර පාලනය කිරීමද හොඳ සෞඛ්‍යයකට මග පෙන්වන ක්‍රියාවකි. නිතර ව්‍යායාම කරමින් අමතර මේද තට්ටු දහනය කර දැමීම පිළිකා අවදානම අඩුකරගැනීමට හේතුවකි. වයස්ගත වීමත් සමග වැළඳෙන දියවැඩියාව, අධි රුධිර පීඩනයට මෙන්ම පිළිකා අවදානම අඩු කරගැනීමටද සිරුර පාලනය කරගැනීම වැදගත්ය.
ස්වාභාවික ආහාර පාලනයක් ඇතිව ගනිමින්, දුම්වැටි මත්පැන් වලින් ඈත්ව ව්‍යායාම පිරි ජීවිතයක් තුළින් පිළිකා අවදානම සැලකිය යුතු ලෙසකින් අවම කරගන්න පුළුවන් කියලා තමයි ලොව පුරා වෛද්‍ය වාර්තා වල සඳහන් වෙන්නේ. ලෙඩ හැම එකම අපිට නවත්වාගන්න බැහැ. ඒත් අමාරුවෙන් හරි අපි සෞඛ්‍යයට හිතකර පුරුදු වලට හුරු වුනොත් ලෙඩ විසින් ගිලගන්නා අපේ කාලය වගේම ධනයත් ඉතුරු කරගන්නට හැකි වේවි.
Cover Image Source – medicalnewstoday.com/ news.com
Leave a Reply