ලෝක කම්කරු දිනය ඇමරිකාවෙන් ආරම්භ වූවත් ඇමරිකාවේදී නම් “ට්‍රම්පච්චි පෙනීසිටින මහා මැයි රැළිය අහවල් පිටියේදී” කියලා පෝස්ටර් බැනර් නැහැ. අඩුගාණේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් මහා පෙළපාලිවත් ඇමරිකාවේ නැහැ. ඇතැම්විට ඇමරිකාවේ ජීවත්වෙන්නේ රටට ආදරේ නැති, ජනයාගේ අතමිට සරු කරන්නේ නැති හෝමෝ සේපියන් මානවයින් නිසා ඔවුන් මැයි දිනය ලංකාවේදී තරම් උත්කර්ශවත්ව සමරන්නේ නැතිව ඇති. වෙසක් ආසන්නයට මැයි දිනය යෙදීම නිසා මැයි දිනය දවස් 7කින් කල් දමන්නට රජය තීරණය කලා. ඒ ගැන විවිධාකාර මති මතාන්තර නිකුත් වුනත් මැයි 7 වැනිදා මැයි දින සැමරීම සිදුකිරීම දැන් ස්ථිර වෙලා අවසානයි.
1. කොළඹ යන්න චාන්ස් එකක්

Source – dnaindia.com
ගමේ පොලට හෝ කඩපිලට එන ගම්වැසියාට ඔන්න අප්‍රේල් ඉවර වෙද්දි පොඩි නිවුස් එකක් ලැබෙනවා. නැතිනම් දැන් ෆෝන් තාක්ෂණේ දියුණු නිසා කෝල් එකක් මැසේජ් එකක් එනවා අසවල් පක්සේ ගමේ නියෝජිතයාගෙන්. මැයි දින පෙළපාලියට යන්න ගමේ කට්ටිය එකතු වෙනවා. සමහර විට මේ පෙළපාලි රස දන්නා උදවිය නම් කලින්ම වැඩේ ගැන අහලා දැනගෙන තමුන්ගේ නම ලැයිස්තුවට දාගන්නවා. කොහොමින් හරි ඔන්න ඉතිං කොළඹ යන්න අවස්ථාවක් ලැබෙනවා. ගමේ ජීවත්වෙන ඇත්තනුත් ඒකාකාරී ගමෙන් පිටවෙලා ඈත රට සවාරි යන්න ආසයි. නමුත් සල්ලිය බාගේ විවේකේ හරස් වෙනවා ඒ හැම වෙලාවෙම. ඊටත් කාණ්ඩයක් එක්කාසු කරගන්නත් අමාරුයි. මැයි දිනේට කොළඹ යෑම කියන්නේ ඒ වගේ සවාරියක් බලාපොරොත්තුව ඉන්න අයට පිනට පහත්වුන දෙයක් වගේ.
2. කෑම බීම අරක්කු

Source – scmp.com
මෙම මැයි දින වන්දනා ගමනට දන්සැල් හමු වන්නේ නැහැ. ආසන සංවිධායක තුමා හෝ ලොකු දේශපාලක තුමා ගේ අනුග්‍රහයෙන් බත් පාර්සලයක් ලබා දෙන්නට අමතක කරන්නේ නැහැ. අරක්කු ඩිංගක් මිනිහෙක්ට බොන්න දීම මහා නිවුස් එකක් වීම නිසා දැන් අරක්කු බාගයක් දුන්නත් ඒක දෙන්නෙත් හංගලා. හංගලා හෝ බඩු ටික ලැබෙනවා නම් එච්චරයි නේ. කොහොමින් හරි කෑම බීම ටික වෙලාවට ගාණට නැතත් කොහොමින් හරි ලැබෙනෝ. මැයි දින ගමන පටන් ගත්තාම මැයිදිනේ කොළඹ තියෙන්නේ හවස වුනත් පොළොන්නරුව, මඩකලපුව, හම්බන්තොට බදුල්ල වගේ ඈත පළාත්වල ජනයා ඒ ගමන පිටත්වෙන්නට පටන් ගන්නේ මහා පාන්දර නැගිටලා. මොකද ලොකු දුරක් යන්නත් එපැයි බස් එකේ…
3. විනෝද සාගරේ

Source – videoblocks.com
ගමේ ඉන්න හොඳම සිල්වතා පිංවතාට වුනත් අරක්කු ටිකක් කාරිය කටට තොලට වැටුනාම ඉතිං ආයේ අහන්න දෙයක් නෑනේ. ඉන් පස්සේ පටන් ගන්නේ සිංදුවයි කෑ ගෑමයි. මැයි දිනේට කොළඹ පාරක ඉඳන් එන බස් පෝලිම් දිහා බැලුවොත් එයින් බොහොමයක මේ විනෝද ගීත ගයමින් එන පිරිස හමු වෙනවා. මැයි දිනේ අරුතේ මොකක් වුනත් ඉතිං සිංදුවක් කියාගෙන ආතල් එකක් අරගෙන ඒමේ ලොකු වරදකුත් නැහැ නේ.
4. එතුමාගේ කතාව සහ එතුමාලා දැකබලාගැනීම

Source – jvpsrilanka.com
මැයි දිනේට කොළඹ ඇවිත් අනික් පක්ෂ යාළුවෝ බලාගන්න හැකිවාක් මෙන්ම අපේ පක්ෂ වල ඉන්න අසහාය නායකයින්ද දැකබලාගන්නට එන අයට අවකාශ ලැබෙනවා. ඔන්න එකපාරක් වෙරළබඩින් පිරිසක් නුවර තිබුන දේශපාලන රැස්වීමකට එක්කරගෙන ගියාලු බස් වලින්… මහා දේශපාලක තුමා “දැන් මොනාද ඕගොල්ලට ඕනා?” කියලා මහ සද්දෙන් අහද්දි ඉදිරියෙන්ම හිටපු වෙරළබඩ පළාතේ පිරිස… “අපිට ඕනා දැල් බෝට්ටු” කියලා කිව්වලු. නුවර පළාතේ තේ වතු වවාගෙන, අලයක් ළූණු ගෙඩියක් රට ඒලෝලු ටිකක් හිටවන් ඉන්න ජනයා පුදුම වුනත්, දේශපාලක තුමාගේ ඉදිරිපෙළ නුවර රැස්සීමේ ඉදියේ පාතරට ජනයා නිසා නුවර අයටත් ටික කාලෙකින් දැල් බෝට්ටු ලැබුනාද කියලා නම් දන්නේ නැහැ. ඔය විදියට අපේ රටට ජාතියට මග පෙන්වන එතුමන්ලා සියැසින් දැකබලාගෙන ඔවුන්ගේ කතා අහන්නත් මැයිදින ගමනේදී අවස්තාව ලැබෙනවා.
5. පෙළපාලිය යෑම

Source – lankatruth.com
අහස උසට කොළඹ හැදෙන ගොඩනැගිලි, ලස්සන කඩසාප්පු ආදිය දැකබලාගෙන මුළු පාරම වගේ බදු අරගෙන කොළඹ වීදි දිගේ ඇවිදීම කොළඹ මනුස්සයෙක්ට වත් කරන්න හැකි රාජකාරියක් නෙමෙයි නේ. ඒත් මැයිදිනේට ඔය දේසපාලන බසේක නැගලා කොළඹ ආවොත් වට පිට හොඳට බලාකියාගෙන ෆන් එකේ කෑ ගහගෙන පාර මැදම ගමන් කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. පක්ෂ හෝ පාට අනුව පාරවල් වල කියමින් යන දේවල් වෙනස් වුනත් ගමන නම් වෙනස් වෙන්නේ නෑ.
6. කොළඹ සිරි නැරඹීම

Source – pmdnews.lk
සමහර කොළඹ එන පිරිස් නම් නෙළුම් කුළුන, ගෝල්ෆේස් එක, ටවුන් හෝල් එක, ගංගාරාමේ, කැළණි විහාරේ වගේ තැනුත් නරඹන්නට යනවා. ඒ නැතත් ඉතිං බස් එකේ යන ගමනුත් කොළඹ තියෙන තැන් කිහිපයක් බලාගන්නට හැකියාව තිබෙනවා. කොළඹ කියන්නේ වේගෙන් වෙනස් වෙන පළාතක්. ගිය මැයි දිනේට ආවට පස්සෙ සමාර ගැමියෝ කොළඹ එන්නේ මේ මැයි දිනේට. ඉතිං එතකොට ඒ තැන් වල වෙනස්කම්, අලුත් වෙච්චි දේවල් ආදියත් දැකබලාගන්න ජනතාවට මැයිදින සවාරියේදී අවස්ථාව ලැබෙනවා.
7. වේගවත් සංවර්ධනේ ගසාකාපු තැන් බලාගැනීම

Source – planetbell.me
මග දිගට හොඳට හදපු පාරක එද්දි එක් දේශපාලන පක්ශයක අයට “ආහ්… මේ අර එතුමා හැදූ පාරවල්” කියලා මතක් වෙනවා. තවත් පිරිසකට “මේ අර පාරෙනුත් ගසාකාපු තැන් නේද” කියලා මතක් වෙනවා. ඒ වගේම ඇතැම් විට පුද්ගලික අංශයෙන් හදන බිල්ඩිමක් පවා ඒ පක්සේ අයට “මේ අපේ එතුමාගේ යෝධ සංවර්ධනේ නිසා හැදෙන බිල්ඩින්” කියලා පේනවා. ඒත් එක්කම අනික් පක්සේ අයට “මේකෙනුත් අරුං කීයක් ගසා කෑවද?” කියලා මතක් වෙනවා ඇති. කොහොමින් හරි දේශපාලන විවාද වලින් කතාවෙන මහ බැංකු කොල්ලය, ගෝල්පේස් පෝට් සිටි සංවර්ධනය, අධිවේගී මාර්ග, ආදී සංවර්දන කාර්යන් සියැසින් දැකගන්නටත් මේ මැයිදින පෙළපාලියට කොළඹ එන අයට චාන්ස් ලැබෙනවා.
කම්කරු දිනය කියන දොළොස් මාසෙකට එන කොළඹ රැස්වීම් වලට ගිහින් නොමිලේම කෑම බීම එක්ක රවුමක් ගහලා එන්න යන සවාරිය ඇත්තටම ෆන් එකක් අරගෙන එන්න පුලුවන් හොඳ අවස්ථාවක්. සමහර විට මේ පෝස්ටුව හරාහා මේ ගමනේ රස දැනගත් ඔබත් කැමති වේවි මේ ගමන දේශපාලක තුමාගේ බස් එක්ක නැගලා කොළඹ ගිහින් පාරේ ඇවිදලා මැයි දින ෆන් එක අරගෙන ගෙදර එන්න.
Cover Image Source – youtube.com/Mage Sudu Banandita
Leave a Reply