මේ දවස් වල හැමෝම කතාවෙන ඩාක් මෝඩ් එකේ හොඳ නරක මේවා තමයි.

ඩාක් මෝඩ් කිව්වහම සමහරුන්ට ස්ටාර් වෝර්ස් මතක් වෙනවා ඇති. හැබැයි දැන් ටික කාලෙක ඉඳලා කතාබහට ලක් වෙන ඩාක් මෝඩ් කියන්නේ ඇත්තටම අපි දකින පරිශීලක අතුරු මුහුණත් වල තියෙන පසුබිමේ ආලෝකමත් බව අඩු කරලා, ඒ වෙනුවට අඳුරු පසුබිමක සුදු පැහැ නැතිනම් අළු පැහැ අකුරු තියෙන විදියට හදලා තියෙන මෝඩ් එකට. ටික කාලෙකට කලින් ඩාර්ක් මෝඩ් එක ආවේ යම් යම් ඇප්ස්, ඩිජිටල් සේවාවන් කීපයක් සඳහා විතරක් වුනත්, දැන් වෙනකොට හැම ප්‍රධාන ඇප් එකකම, ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකම, ඔපරේටින් සිස්ටම් එකකම ඩාර්ක් මෝඩ් කියන එක සුලභ විකල්පයක් වෙලා තියෙන්නේ.

 

සමහරුන්ට නම් මේ ඩාක් මෝඩ් එක සෙට් වෙන්නේ නැහැලු. හැබැයි සමස්තයක් විදියට බැලුවහම, ඩාක් මෝඩ් එකේ සෑහෙන්න වාසි තියෙනවා. විශේෂයෙන්ම ඔය ස්මාට්ෆෝන් වල කම්පියුටර් වල තිර ඇස් වලට ඒ තරම් හිතකර නැහැනේ. අන්න ඒ වගේ ප්‍රශ්නත් මේ ඩාක් මෝඩ් එක නිසා විසඳෙනවා. ඉතින් අපි හිතුවා තාම ඩාක් මෝඩ් දාගත්තෙ නැති අයටත්, ඩාර්ක් මෝඩ් කාලා ඉන්න අයටත් හැමෝටම ඩාර්ක් මෝඩ් එකේ තියෙන වාසි සහ අවාසි ලැයිස්තුවක් පෙන්නන්න.

 

1. ඇස් ආරක්ෂාවට 

දවස තිස්සේම දීප්තිමත් නිල් පාට එළිය දිහා බලාගෙන ඉන්න එක ඇත්තටම සෙල්ලමක් නෙවෙයි. විශේෂයෙන්ම අඩු ආලෝක තත්ත්ව යටතේත් අපි දීප්තිමත් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්න එකෙන් අපිට නොදැනීම අපේ ඇස් වෙහෙසට පත් වෙනවා. ඔය සමහරුන්ට ඔලුව කැක්කුම් එහෙමත් එන්නේ එක දිගටම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නකොට? ආන්න ඒක තමයි සීන් එක.

 

කොහොම හරි, ඩාර්ක් මෝඩ් එකෙන් ඔය ඇස් වලට ඇතිවෙන සෞඛ්‍ය ගැටළු පැත්ත අවම කරනවා. විශේෂයෙන් දීප්තිමත් නිල් එලියෙන් ඇස් වලට ඇතිවෙන වෙහෙස සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කෙරෙන නිසා, ස්මාට්ෆෝන්, කම්පියුටර් ඩාර්ක් මෝඩ් එකෙන් පාවිච්චි කරනකොට තවදුරටත් හිසරදයන් එහෙම එන්න තියෙන ඉඩ අඩුවෙනවා. හැබැයි එකක්. ඒ කියන්නේ ඩාර්ක් මෝඩ් දාගෙන දවසම ෆෝන් එකට නැතිනම් ලැප්ටොප් එකට එබීගෙන ඉන්න කියන එක නෙවෙයි. ඒක ප්‍රශ්නයක්. ඒත් විටින් විටේ විවේකයන් ගන්න අතරේ ඩාර්ක් මෝඩ් තියෙන ස්ක්‍රීන් එකක් එක්ක වැඩ කරනකොට, ඒ විදියටම දීප්තිමත් ස්ක්‍රීන් එකක් එක්ක වැඩකරනකොට තියෙන ඇස් වෙහෙස නැති වෙනවා කියන එක තමයි මේ කියන්නේ.

 

2. නින්ද නේන රාත්‍රියේ

ඔය බ්‍රයිට් බ්ලූ ලයිට් එක දිහා බලාගෙන ඉන්න එකෙන් අපිට නින්දට වැටෙන්න උපකාරී වෙන හෝර්මෝනයක් වෙන මෙලටොනින් ශ්‍රාවය වෙන එකත් අඩු වෙනවලු. අන්න ඒ නිසා තමයි ඇඳට ගිහිල්ලත් ෆෝන් එක ඔබ ඔබ හිටියට පස්සේ නින්ද යන්න හොර වෙන්නේ. ඕක ඒ තරම් සෞඛ්‍යයට හොඳ කාරණයක් නෙවෙයි. විශේෂඥයෝ කියනවා ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඇස් වියළි ස්වභාවයට පත් වීම වගේ එව්වා වෙනවලු. ඊට පස්සේ අර නින්ද නොයන ලෙඩේ -ඉන්සොම්නියා එහෙමත් එනවලු. මේවත් එක්ක තරබාරු කම වගේ ප්‍රශ්නත් ඇතිවෙන්න පුළුවන්. අන්න එතකොට වැඩේ ලේසි නෑ.

 

හැබැයි රාත්‍රියේදී, ඒ කියන්නේ වටාපිටාව ඒ තරම් ආලෝකමත් නැති වෙලාවෙදී ඩාර්ක් මෝඩ් දාගෙන ස්මාට්ෆෝන් එකක්, කම්පියුටර් එකක් පාවිච්චි කරන එකෙන් උඩ කියපු අවදානම සැලකිය යුතු විදියට පහළ බහිනවලු. හැබැයි එකක්: මේ කියන්නේ ඩාර්ක් මෝඩ් ඇක්ටිවේට් කරලා නිදාගන්න කලින් ෆෝන් එක ඇඳට අරගෙන ගිහින් ඔබ ඔබා ඉන්න කියලා නෙවෙයි. කොහොමටත් නිදාගන්න පැයකටවත් කලින් ෆෝන්, ලැප්ටොප් එක්ක ගනුදෙනු හමාර කරන එක තමයි හොඳ.

 

3. බලශක්ති සුරැකීමටත් මරු

ඉස්සර තිබුණු ගලේ ගැහුවත් කැඩෙන්නෙ නෑ ටයිප් ජංගම දුරකථන එක පාරක් චාර්ජ් කළහම දවස් දෙක තුන බැටරි අල්ලලා හිටින්නේ. හැබැයි අවාසනාවට දැන් තියෙන ස්මාට්ෆෝන් දවසට එක පාරක් වත් චාර්ජ් කරන්න ඕන දවස පුරාම පාවිච්ච් කරනවා නම්. සමහර ස්මාට්ෆෝන් දවසට දෙපාරක් චාර්ජ් කරන්නත් වෙනවා. ආන්න ඒ වගේ අප්සට් හිතේ දරාගෙන ස්මාට්ෆෝන් පාවිච්චි කරනවා නම්, ඩාර්ක් මෝඩ් කියන්නේ එක්තරා දුරකට සුබාරංචියක්.

 

ඩාර්ක් මෝඩ් දාගෙන වැඩ කරනකොට ස්මාට්ෆෝන් වල සහ අනික් උපාංග වල බැටරිය අල්ලලා හිටින කාලය දීර්ඝ වෙනවලු. බලශක්තිය පිරිමැහෙනවලු. ඒකට හේතුව දීප්තිමත් තිරයකට වඩා අඩු බලශක්තියක් අඩු දීප්තියක තිරයකට යන එක. දැන් ගූග්ල් සහතික කරලා කියනවා විශේෂයෙන්ම OLED ස්ක්‍රීන් වල බැටරි ආයුකාලය රැක දෙන්න ඩාර්ක් මෝඩ් එක ඉස්තරම් කියලා.

 

4. අමුතු ගතියකුත් තියෙනවා

මේක සමහරු එකඟ වෙන, සමහරු එකඟ නොවෙන දෙයක්. ඒ තමයි, ඩාර්ක් මෝඩ් ඇක්ටිවේට් කළහම ඕනම පරිශීලක අතුරු මුහුණතකට වඩා ක්ලැසික්, හයි ටෙක් ලුක් එකක් එනවා කියන එක. විශේෂයෙන්ම ඔය විවිධ ඇප්ස් වල, ඩිජිටල් ප්ලැට්ෆෝම් වල තියෙන ඩෑෂ්බෝඩ් වලට එහෙම නම් මේ ඩාර්ක් මෝඩ් එකෙන් මාරම ලුක් එකක් එන්නේ. එතකොට ප්‍රස්තාර අනං මනං වලට එහෙමත් ඩාර්ක් මෝඩ් එක මරු.

 

හැබැයි ඉතින් අපි මේ කියන අමුතු ක්ලැසික් නැතිනම් හයි ටෙක් ලුක් එක හැමෝටම සෙට් නොවෙන්නත් පුළුවන්. ඒකත් අපිට අමතක කරන්න බෑ.

 

5. හැබැයි දීප්තිමත් පසුතලයක අමාරුයි

දැන් උඩ කියපු වාසි ගැන හිතනකොට සමහරු හිතාගනී ඩාර්ක් මෝඩ් කියන්නේ කෝකටත් තෛලයක් කියලා. නෑ, එහෙම නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, දීප්තිමත් හිරු එළිය තියෙන වෙලාවට එළිමහනේදී ඩාර්ක් මෝඩ් දාගෙන හිටියොත් එන ටෙක්ස්ට් මැසේජ් එකක් එහෙම මළාට කියවගන්න ලැබෙන්නෙ නෑ. දීප්තිමත් ආලෝකයක් තියෙන කාමරයක හිටියත් එමම තමයි. හැබැයි ඉතින් ඩාර්ක් මෝඩ් එක අප්සට් ගහන්නේ ඒ අවස්ථාවෙදී විතරයි. සාමාන්‍ය හෝ අඩු ආලෝක තත්ත්වයන් තියෙන පසුබිමකදී නම්, ඩාර්ක් මෝඩ් එක ඇහැට පහසුයි වගේම, උඩ කියපු වාසි හැම එකක්මත් ලබාදෙනවා.

 

6. දිගින් දිගටම කියවන්න අමාරු වෙන්න පුළුවන්

මේකත් ඇත්තටම උඩ කියපු කාරණාවත් සම්බන්ධ වෙන දෙයක්. දැන් සමහරු ඔය ඊබුක්ස් එහෙමත් ෆෝන් එකේ හරි ටැබ් එකේ හරි ඇප් එකක් දාගෙන කියවනවනේ. එතකොට ඩාර්ක් මෝඩ් ඇක්ටිවේට් කරලා තිබුණොත්, සමහරුන්ට දීර්ඝව තියෙන පාඨ කියවන්න අමාරුයි කියලා පැමිණිලි තියෙනවා. අපි දන්නවනේ දීප්තිමත් පසුතලයකදී ඩාර්ක් මෝඩ් එකේ අකුරු කියවන එක කොහොමත් අසීරුයි කියලා. එහෙම නැතුව ඒ තරම් එළිය නැති පසුබිමකදී වුනත් ඩාර්ක් මෝඩ් එකෙන් දීර්ඝව තියෙන ටෙක්ස්ට් කියවන එක සමහරුන්ට අසීරුයි කියනවා. ඒක ඉතින් වෙන්න පුළුවන් දෙයක්. එහෙම අවස්ථාවක හොඳම දේ තමයි ඩාර්ක් මෝඩ් අයින් කරලා, ස්ක්‍රීන් බ්‍රයිට්නස් අඩු කරලා කියවන එක.

 

එහෙම නැතිනම් ඊබුක්ස් කියවන්න, e-ink ඩිස්ප්ලේ එක තියෙන ඊබුක් රීඩර් එකක් ගන්න එක තමයි හොඳම විසඳුම.

 

7. සෙට් වෙන්නෙ නෑ වගේ

මේක නම් තනිකරම පුද්ගලානුබද්ධ කතන්දරයක්. අර අපි උඩින් කිවුවේ සමහරුන්ට ඩාර්ක් මෝඩ් එකේ අමුතු ලුක් එකක් තියෙනවා කියලා. හැබැයි ඕකේ අනික් පැත්තත් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ මොන තරම් අඩු ආලෝක තත්ත්වයන් යටතේ හිටියත්, ඩාර්ක් මෝඩ් එක සෙට්වෙන්නෙ නැති හාදයෝ සහ හාදියොත් ඉන්නවා. සමහර වෙලාවට ඒකට හේතුව වෙන්නේ කාලාන්තරයක් තිස්සේ දීප්තිමත් නිල් පසුබිම් ආලෝකයට හුරු වෙලා, එක පාරටම අඳුරු, අඩු ආලෝක පසුබිමකට හුරු වෙන්න අමාරු වීම වෙන්නත් පුළුවන්.

 

එහෙම අයට කල් යනකොට ඩාර්ක් මෝඩ් එකට හුරු වෙන්න පුළුවන් වෙයි. එහෙමත් බැරිම නම් ඉතින් ඩාර්ක් මෝඩ් නැතුව පුළුවන් තරම් ස්ක්‍රීන් බ්‍රයිට්නස් අඩු කරලා, eye saver වගේ විශේෂාංගයක් තියෙනවා නම් ඒක ඔන් කරලා තිරය පාවිච්චි කරන එක තමයි කරන්න තියෙන්නේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *