කොළඹ අවන්හල් ඔබට කරන අසාධාරණකම් 7ක්

කොළඹ රටේ රස්සාවක් කරන මිනිස්සු වැඩිපුරම අසාධාරණයට ලක්​වෙන අවස්ථා කිහිපයක්ම තියෙනවා. බොහෝ විට ඒ ගමනාගමනයේදී සහ අවන්හල් තුළදීයි. කොළඹ රටේ රැකියාවක් කරන මනුස්සයෙකුට ආහාර ගන්නට අති විශාල තැන් ප්‍රමාණයක් තිබුනත් ඒ තැන් බොහෝමයක් මනුස්සයෙකුට සළකන්නෙ මොන විදියටද කියන එක ගැන සෙවිය යුතුමයි. ඒ ගැන කොළඹ රස්සාවල් කරන බොහෝදෙනෙක් කතා කරන්න සූදානම්. අපේ මේ සටහන කොළඹ රටේ අවන්හල් ඔබට කරන අසාධාරණකම් සම්බන්ධයෙනුයි. මේ සියළු කාරණා සම්බන්ධයෙන් ඔබට විරුද්ධ වන්නට හැකියාව තියෙනවා. නමුත් බොහෝදෙනෙකු මේ වෙනුවෙන් තමුන්ගේ හඬ අවදි නොකරන නිසාම තවත් කාලයකට අපට මේ නරක අත්දැකීම් විඳින්නට සිදු වේවි.

 

1. ප්‍රමාණාත්මක දැනුම

Image Source – deskgram.net

කොළඹ රටේ අවන්හලක තියෙන ප්‍රධානම අවුලක් වෙන්නේ සේවකයන් ප්‍රමාණය නොදන්නා එක. කෙටියෙන් කියතොත් ඔවුන් කුඩා ප්‍රමාණයක් හෝ විශාල ප්‍රමාණයක් ගැන හැඟීමක් ඇති අය නොවෙයි. උදාහරණයකට ඔවුන් ඔවුන් මේ කෑම එකට බණ්ඩක්කා ටිකක් දාලා පරිප්පු වැඩියෙන් දාන්න කිවුවොත් බොහෝදුරට ඒ අයැදුම කණපිට ගැහෙන්නට හෝ දෙකම වැඩිපුර බෙදන්නට හෝ කිසිවක් නොබෙදන්නට ඉඩ වැඩියි. හොදි සම්බන්ධයෙන් වුනත් කතාව එමමයි. ඉඳිආප්ප තුනක් තියෙන පිඟානක් දී එයට සරිලන හොදි දාන්නට කියා ඔබ පැවසුවොත් ඔවුන් ඉඳිආප්ප නොපෙනී හොද්දේ වැසී යන සේ හොදි පුරවන්නට මැලි වන්නේ නෑ. පරාටාවලටද සිදුවන්නේ එයමයි. පරාටා කෑලි හොද්දේ පාවෙමින් තිබෙනු ඔබට දැක ගත හැකිවනු ඇති අතර ඔබට පාවෙන පරාටා අහුලගෙන කන්නට හැකි වනු ඇත.

 

2. හිරු එළිය

Image Source – thriftyfun.com

කන්නට පෙර සබන් යොදා අත සේදීම කොයිතරම් සෞඛ්‍යාරක්ෂිත වශයෙන් හොඳ දෙයක් වුවත් කොළඹ රටේ අවන්හලකින් නම් එය සිදු කිරීම එතරම් නුවණක්කාර ක්‍රියාවක් නොවේ. අත හෝදන්නට ඇත්තේ සන්ලයිට් නොහොත් සුපුරුදු දැලි වලං හෝදන සබන්මය. කන්නට පෙර ඔබ එය යොදා අත සේදුවහොත් අවසන් බත් කට තෙක් ඔබට දෙහි හෝ ලෙමන් රස අනූන බත් කන්නට හැක. එසේම එයින් ඔබේ අත් සේදූ විට කදිම සුසිනිඳු බවක් අත්ලට ලැබෙන අතර නැවත රැකියා ස්ථානයට ගොස් රැකියාව කර නිවසට යන තුරුම ප්‍රසන්න දෙහිමය හැඟීමක් ඔබට දැනෙනු ඇත.

 

3. තිබුනා ඉවරයි

Image Source – wikiwand.com

ලංකාවේ කිසිම කඩයක කිසිවක් නැත්තේ නැත. ඔබ ගොස් ප්ලේන් එකක් ඉල්ලුවද ඔවුන් පුරුද්දට අන්තිම දෙක නෝනා කෙනෙක් අරගෙන ගියා, මේ තිබුනා මේ ඉවරයි වගේ පිළිතුරක් බලාපොරොත්තු විය හැක. හෝටල්වලටද එය එසේමය. ඔබේ ආහාරය මේසයට ගෙනෙන විට අවන්හල් සේවකයා ඔබට පණිවුඩ කිහිපයක් රැගෙන එයි. පපඩං ඉවරයි සර්… ඕන්නං මිරිස් බැදපුවා තියෙනවා… බටු ඉවරයි සර්… වැනි පණිවුඩ ඔබට උවමනා තරම් ඇසෙයි. කිරි තියෙනවා සර් පැණි වෙනම සල්ලි දීලා ගන්න වෙනව සර්… සීනි ඉවරයි… වගේ කතාත් එයට සම්බන්ධය.

 

4. සීතල කුකුල්ලු

දැඩි ගින්දරේ වැඩියෙන් තෙල් දමා බැද්දද ෆ්‍රයිඩ් රයිස්වල කුකුල්මස් අමුතුම සීතලකින් යුතුය. ඔවුන් ෆාම් එකට වඩා වැඩි කාලයක් ෆ්‍රිජ්වල ගත කර ඇති නිසා එය පුදුමයට කරුණක් වන්නට හැක. නමුත් ඔබ ඔවුන්ගෙන් එයට හේතුව විමසුවොත් ඔවුන් චිකන් සීතල රටකින් ගෙනාවෙ වැනි පිළිතුරක් දෙනු නොඅනුමානය. මාලු, එළවළු කියා වෙනසක් නැත. සියල්ලටම එකම සෙතේය. නරක්වන්නට නියමිත එළවළු වලින් තනන ආහාර නරක් වූ බව නොදැනෙන තරමට බැදලා හෝ තුනපහ සහ මිරිස් මිශ්‍ර වී ඇති නිසා ඔබට නොදැනෙයි. ලාබෙට කෑම ටිකක් කන ඕනම මිනිසෙකුට කොළඹ රටේදී මේ කතාව උරුමය.

 

5. හේදිලි

මෙම හෝටල්වල පිඟන් හෝදන්නේ කුමන යාන්ත්‍රණයකින් දැයි ඔබට සිතන්නට සිදු වෙයි. පිඟාන දෙද්දී පිඟාන මත උණු වතුර ඇත. එය පිරිසුදු බවේ සංඛේතයයි. දැඩි රස්නයකින් යුතු එය අල්ලන්න පවා අපහසුය. කෙසේ වුවත් හෝටල් හිමිගේ මුහුණේ රැවිල්ලක් නොනැගෙන ලෙසින් පිඟාන නොබිඳා ඒ ජලය ඉවත් කරගත යුතුය. නමුත් පිඟානේ කෙළවරක කලින් ආහාර ගත් මිනිසාගේ පරිප්පුය. වතුර වීදුරුවේ හූනු බෙටිය. මේසය සහ පුටුව එය පරහරණය කරන්නන්ගේ ඇඳුම් හැරෙන්නට වෙනත් රෙදි කඩක පහසක් ලබා නැති හැඩය.

 

6. දුං ඇල්ලිලි

ඔබ ආහාර ගන්නා විට ඔබට සිදු විය හැකි බාධා මොනවාද? එයට ප්‍රධානම දෙකක් ලෙසින් ශබ්ද දූෂණයත් වායු දූෂණයත් ඇති තරමට මෙම හෝටල් තුළ සිදුවෙයි. ඔබ කුමන ආගමේ වුවත් ඔබට හෝටල් හිමියාගේ ආගමට අනුව ධර්මය අසා සිටින්නට සිදුවෙයි. ඉන්පසු හෝටල් හිමියා කැමති සංගීතය අසා සිටින්නට සිදුවෙයි. එය කෙසේවුවත් එය මහ හයියෙන් හෝටලයේ පිඟානක් හෝ බිඳෙන හඬ මග හැරෙන ලෙසින් සිදු කළ හැක. ප්‍රශ්නය එය නොවේ. දුං ඇල්ලිල්ලය. දුං ඇල්ලීම වනාහී හෝටල් හිමියන් ජයටම කරන දෙයකි. ඔබ ඒ මොහොතේ හෝටලයේ ආහාර ගනිමින් සිටින්නේ නම් ඔබ හෝටලයේ වස්තුවකි. එනිසා ඔබටද සාම්බ්‍රාණි දුම් ආඝ්‍රාණය කිරීමට සිදු වීම නියතය.

 

7. එපා වාහෙ

Image Source – twitter.com

සර්විස් චාජ් නොගත්තද මිනිසුන් මිනිසුන්ට සැළකිය යුතු ක්‍රමයක් ඇත. නමුත් අප කියනා මේ හෝටල්වලට එය අදාළම නැත. වැඩ සිදුවන්නේ එපා වාහෙට හොදි බෙදන්නා සේය. මේසයට වතුර ගෙනත් තබන්නේ මුළු මේසය පුරාම වතුර ඉහිරෙන සේය. හොදි ගැන කතාවද එයමය. මුදලාලි ඉතුරු දෙන්නේද එලෙසින්ය. අත පිහිදාන්නට කොළ දෙන්නේද එලෙසින්ය. වටලප්පං ඉල්ලුවොත් හැන්ද වෙනම ඉල්ලා සිටිය යුතුය. එක් සුබවාදී දෙයක් ඇත. එනම් සමානාත්මතාවයයි. ඔබ ටයි දමා සිටියද නැතද මේ සැළකී​මේ වෙනසක් නැත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *