හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල, එහෙමත් නැතිනම් එච්. ආර් ජෝතිපාල කියන්නේ තවමත් ලංකාවේ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා වල අංක එකේ ගායන ශිල්පියා. ඒ ගැන විවාදයක් නැහැ. සෑම පැයකට වරක්වත් ඔහුගේ ගීතයක් ලංකාවේ කුමක් හෝ නාලිකාවක වාදනය වෙනවා. කලාකරුවන්, මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉදි වූ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයත් සමඟ මාලිගාවත්තේ අගය තවත් වැඩි වුණේ ගායන ලොවේ අමරණීය ගායකයා ලෙස අදටත් විරුදාවලි ලබන එච්. ආර්. ජෝතිපාල මහත්මයා එහි මුල් කාලයේ පදිංචිකරුවෙක් වූ නිසයි. ඇත්තටම එතුමන් අද වෙද්දී ජීවත් වුණා නම් පෙබරවාරි 12 වෙනිදාට ඔහුට වයස අවුරුදු 84ක්. ඒ නිසා අපි අද ඔබට තොරතුරු ගෙන එන්නේ ජනතාවගේ සදාතනික ගායකයාගේ ජීවිතයේ වැඩි දෙනෙක් නොදත් කරුණුයි.
1. තැන්පත් චරිතයක් වූ ජෝති
ජෝතිට සිනමාවේදී ගොඩක් වෙලාවට ලැබුණේ සෙල්ලක්කාර චරිත. ඒත් ජෝතිපාල කියන්නේ සැබෑ ජීවිතේදී දඩබ්බර චරිතයක් නෙමෙයි බවයි ඔහුගේ ළඟම හිතවතුන් කියන්නේ. ඒ වගේම ඔහු බොහොම නිහතමානී, සංවේදී චරිතයක්. ඔහුව අපිට දැක පුරුදු දේහධාරී පුද්ගලයෙක් හැටියට වුණත්, ජනප්‍රිය වීමට කලින් ඔහු කෙසඟ තරුණයෙක්. බොහොම නිහතමානී, ආදරණීය චරිතයක් වුණු එතුමන් කවුරුහරි ඇඳන් ඉන්න ශර්ට් එක ඉල්ලුවත් ගලවලා දෙන තරම් පරිත්‍යාගශීලී මනුස්සයෙක් කියලයි ජෝතිව ළඟින් ආශ්‍රය කරපු උදවිය කියන්නේ.
2. මිල මුදල් ගොඩ නොගැසූ ජෝති
ජෝතිපාලට ඒකාලේ ලැබුණු අසීමාන්තික ජනප්‍රියත්වය නිසාම ඔහුට ලැබුණු වැඩ වල හැටියට මුදල් ඉතිරි කර, තැන්පත් කරන් හිටියා නම් ඔහුට සුපිරි ප්‍රකෝටිපතියෙක් විදිහට ප්‍රභූ ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබ්බා කියලා කියනවා. නමුත් ඔහු ඒ මුදල් වියදම් කරලා තිබ්බේ යාලුවෝ එක්ක විනෝද වෙලා එදිනෙදා ගතකරන ජීවිතේ සතුටින් ජීවත් වෙන්නයි. නැත්නම් අසරණ මිනිස්සුන්ට ඒ මුදල් බෙදා දී තිබෙනවා.
එක වරෙක ඔහුට ලොතරැයි දිනුමක් ඇදෙනවා. ඒ කාලේ හැටියට රුපියල් 40,000ක් පමණ ලොකු ගණනක් වුණු ඒ ලොතරැයි දිනුම් මුදල තමා වෙතට තබා ගන්නවා වෙනුවට ඔහු කර තිබෙන්නේ හැමදෙනාට ම ඒ මුදල් බෙදා දීමයි. ඒ වගේම ජෝති සතුව නිරායාසයෙන්ම තිබූ ගායන හැකියාව පිළිබඳ විශ්වාසය නිසා අනාගතය ගැන ඔහු බිය වෙලා නැහැ, විශේෂයෙන් මුදල් සම්බන්ධව. දක්ෂතාවය නිසා ඔලුව උදුම්මවා ගන්නේ නැතුව සල්ලි වගේම මිනිස්සුන්ගේ ආදරයත් ඔහු හම්බ කරන්නේ එහෙමයි.
3. ජනතාවගේ තරුව වූ ජෝති
ඔහු ජීවත් වූ කාලයේ චිත්‍රපට ගීත වලට නැතිවම බැරි ගායකයෙක් වුවා වගේ ම, එකල තිබුණු ගායන ප්‍රසංග වලටත් ජෝතිපාල කියන්නේ නැතිවම බැරි කෙනෙක් වුණා. නමුත් කවදත් සාමාන්‍ය ජනතාව අතර සිටි ගායකයෙක් වුණු ජෝති සතුව විශේෂ ආඩම්බරකම් තිබුනේ නැහැ. ඔහු තමන් වෙතට සමරු පොත් රැගෙන එන පුද්ගලයාව ආපහු හරවා ඇරියේ නැහැ. අධික අසනීප තත්ත්වයකින් හිටය අවස්ථාවකදීවත් ජෝති තමන්ගේ කුඩා රසිකයෙක්, රසිකාවියක්වවත් මගහැරියේ නැහැ. අද වගේ සමාජ ජාල තුළ ඉලිප්පෙන තරු වලට තමන්ගේ ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න බොහෝ වියදම්කාරී ආයිත්තම් උවමනා වුනත්, ජෝතිට කවදාකවත් එවැනි අවශ්‍යතාවක් වුයේ නැහැ. ජනතාව විසින් ඔහුගේ ජනප්‍රියත්වය ඉහළින්ම පවත්වාගෙන ගියා. ජීවත්ව සිටියදී වගේම මරණයෙන් පසුවත් ජෝති වටා සිටින රසික කැළ ඊට හොඳ උදාහරණයක්.
4. රසිකයින්ට ආදරය කළ ජෝති
ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ මහතා කියන්නේ ජෝතිපාල ගැන රසවත්, ආදරණීය මතකයන් රැසක් සතුව සිටින පුද්ගලයෙක්. ලොකු පොඩි කිසි භේදයක් නැතිව ජෝති තමන්ගේ රසික රසිකාවියන්ට එක සේ සළකපු හැටි ගැන අර්නස්ට් වඩුගේ මහතා කියපු එක කතාවකින් ජෝතිගේ මනුස්සකම ගැන අදහසක් ඔබට ගන්න පුළුවන්.
ඒ මහතා කියන විදිහට එකල අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තිබුණු “ජෝති රාත්‍රිය” සෑම සන්දර්ශනයක්ම ජනතාවගෙන් පිරී ඉතිරිලා ගියාලු. දවසක් තමන්ගේ ආදරණීය ගායකයාගේ ජෝති රාත්‍රිය බලන්න සිඟන පුද්ගලයන් දෙන්නෙක් තමන් සිඟා කෑ මුදලුත් එකතු කරන් ටිකට් ගන්න ආවලු. සතේ දෙකේ කාසි වලින් රුපියල් දහය ගාණේ හදන් ඇවිත් තිබුණත්, ඔවුන් ටිකට් ගන්නට එන මොහොත වන විට දහයේ ටිකට් ඉවර වෙලා රුපියල් පණහේ ටිකට් විතරයිලු තිබුණේ. එච්චර මුදලක් තමන් ළඟ නැති නිසා කොහොම හරි තමන්ට ජෝති මහත්තයා බලන්න යන්න දෙන්න යැයි මේ අය ඇවටිලි කළත් සාර්ථක ප්‍රතිචාරයක් ලැබිලා නැහැලු.
මේ අවස්ථාවේදී මේ සිද්ධිය මොකක්දැයි බලන්නට එතැනට පැමිණි ජෝති, “මොකද ලොකු උන්නැහේලා?” කියල ඔවුන්ගෙන් අහල තියනවා.
“අනේ බුදු සර් අපි ආවේ සර්ගේ සිංදු අහන්න. සර්ගෙම සිංදු කියලා රුපියල් දහයක් හොයාගෙන. ඒත් ටිකට් ඉවරලූ සර්” කියලා ඒ මිනිස්සු දෙන්නා එවිට බැගෑපත් වෙලා තියනවා.
”මේගොල්ලො තමයි මල්ලි නියම රසිකයො..”
ටිකට් දෙන උදවියට එහෙම කියපු ජෝති, මේ මිනිස්සු දෙන්නාව “ජෝති රාත්‍රිය” බලන්න එක්ක ගිහින් විතරක් නෙමෙයි, සංදර්ශනයට ආපු ප්‍රධාන අමුත්තන් අසලින් මේ අයව වාඩි කරවලාත් තියනවා.
5. දහස් ගණනකට වාසනාව පෑදූ ජෝති
අදටත් බොහෝ නැගී එන ගායකයින්, රියැලිටි තරඟවල තරඟ කරන ගායකයින් විතරක් නෙමෙයි, වීදි ගායකයින් පවා තමන්ගේ දිවි ගමන ජයගන්න අත්වැලක් කරගන්නේ ජෝතිගේ ගීතයි. එදා පටන් අද දක්වා සිංහල සිනමාවේ පෙම්වතුන්ගේ පෞර්ෂය ඔප් නංවන්නට දැවැන්ත සෙවනැල්ලක් වුණේ ඔහුගේ හඬයි. රසික රසිකාවියන් පවා ජෝති නිසා ජීවිතේට වක්‍රාකාරයෙන් හෝ සතුට, වාසනාව ළඟා කරගෙන තිබෙනවා. ජෝති නිසා වාසනාව පෑදුණු එක් රසිකාවියක් ගැන අපූරු කතාවක් ජෝතිගේ හිතවතෙක් වූ ජයනන්ද සීඩී වර්ල්ඩ් අධිපතිතුමන් වන ජයසේන ද අල්විස් මහතා කියලා තියනවා. වරක් අනුරාධපුරයේ සිට පැමිණි එක් කාන්තාවක්, අසනීපයෙන් පසුවන තම සොයුරාට තෑගී දීමට ඒ මහතාගෙන් ජෝතිපාලගේ කැලැන්ඩරයක් මිලදී ගෙන තිබෙනවා. මේ තෑග්ගෙන් ඇගේ සහෝදරයා කොතරම් සතුටට පත් වුණාද කියනවා නම්, ඒ කාන්තාවට ඔහු ගොඩින් සහ මඩින් අක්කර පහ බැගින් දේපළ ලියා දී තිබෙන බව පැවසෙනවා. ජෝති සතුවූ රසික ආකර්ෂණයට මීට වඩා තව උදාහරණ කුමටද?
6. රටක් හඬවා සමුගත් ජෝති
1987 ජූලි 7 වැනිදා මෙලොවින් සමුගන්නා විට ජෝතිගේ වයස අවුරුදු 51ක් පමණයි. එකල පැවැත්වූ ජෝතිගේ අවමගුල් උත්සවයට රටේ සිවු කොණින් වැළ නොකැඩී ජනතාව ඇදී ආවේ බොරැල්ල කනත්ත අතුරු සිදුරු නැතිව පුරවමින්. දවස් තුනක් තිස්සේ ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා ජෝතිගේ දේහය ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ දින තුනේදීම ජනතාව වැළ නොකැඩී පැමිණ තිබෙනවා. ඒ විතරක් නොවෙයි, ඒ දින තුනේදී ජෝතිගේ දේහයට අලුත් ඇඳුම් තුනක් අන්දවන්නටද සිදු වී තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ ජෝතිට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනතාව ජෝතිගේ සිරුර අතපත ගෑම නිසා දවසක් යන්නටත් මත්තෙන් ඔහුගේ දේහයට අන්දවා තිබූ සුදු ඇඳුම් කළු ගැන්නී දුර්වර්ණ වීමයි. ජෝති කෙරෙහි පැවති මෙම ජනතා ආදරය එකළ සමහර ප්රබුද්ධයින් යැයි හඳුන්වාගන්න උදවියගේ ඇස් වලට කටු අනින්නාක් මෙන් වූවායැයි සඳහන්.
7. ජෝති මියගියේ අධික මත්පැන් පානය නිසාද?
බොහොම විනෝදකාමී ජීවිතයක් ගත කළ ජෝතිපාලයන් මියගොස් ඇත්තේ අධිකව සිදු කරන ලද මත්පැන් පානය නිසා යයි බොහෝ දෙනා කිව්වත් ඇත්තටම ඔහු මිය යන්නේ හදවත් ආබාධයකින්. නිතර නිතර රාත්‍රී සංදර්ශන වලට සහභාගී වීම නිසා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි ජෝතිපාලට, හදවත් ආබාධය නිසා ඇතුළත් කළ රෝහලේ දී නිසි ප්‍රතිකාර නිසි වෙලාවට නොලැබීම නිසා ඔහු ගේ අභාවය සිදුවුණු බව ගොඩක් රසිකයින් තවමත් නොදන්නා කරුණක්.
තිනෙති නානායක්කාර
Leave a Reply