Windows 10 වල ෆීචර්ස් ගැන දැනගනිමු

විවිධ නම් වලින් විවිධ අන්දමේ ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධති තියෙනවා. ලිනක්ස් නාමය යටතේ බොහෝ බොහෝ මෙහෙයුම් පද්ධති තිබුනත්, ඇපල් අයගේ අයිඕඑස් තිබුනත් ලෝකේ වැඩිපුරම ජනප්‍රිය මෙහෙයුම් පද්ධතිය වෙන්නේ වින්ඩෝස් 10. වින්ඩෝස් 10 දැන් වසර ගණනාවක් තිස්සේ නොනැසී ප්‍රබල මෙහෙයුම් පද්ධතියක් විදිහට වැඩ කරනවා. වින්ඩෝස් 10 වලට විශේෂයෙන් ආපු දේවල් මොනවාද කියලා අපි ටිකක් විස්තර බලමු.

 

1. ස්ටාට් මෙනු

වින්ඩෝස් 8 වල ආවේ කෙලින්ම ටයිල් තියෙන මෙනු එකක්. වින්ඩෝස් 10 වලදි පැරණි XP තාලේ ඊට වඩා ශක්තිමත් ස්ටාට් මෙනු එකක් ඇවිල්ලා තියෙනවා. ඒ හරහා අපි අවසානයට වැඩ කරපු ඇප්ලිකේෂන් එක ඉක්මන්ටම සොයාල දෙනවා. ඒ වගේම සයිඩ් එකෙන් ඕපන් වෙන ටයිල් වලින් අපි කැමති ඇප්ලිකේෂන් එක වඩාත් ඉක්මනටම තෝරාගන්නටත් පුළුවන්කම වින්ඩෝස් 10 වලදි තියෙනවා.

 

2. එජ් බ්‍රව්සර් එක

ටිකක් යල්පැන ගිය ස්ලෝ යමක් හඳුන්වන්න ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් කියන යෙදුම පාවිච්චි කරන්න තරම් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් මිනිස්සුන්ගෙන් ඈත් වුනා. ඒ නිසාම වින්ඩෝස් 10 වල බ්‍රවුසර් එක විදිහට අලුත්ම එජ් බ්‍රව්සර් එක ආවා. එජ් වඩාත් වේගවත්. ඒ වගේම එජ් මොඩර්න් වෙබ් එකෙන් අපි කරන වැඩ කිඩ ආදියට හොඳට සපෝට් කරනවා. මේ එජ් ආවට යූසර්ට උවමනා නම් ලේසියෙන්ම ගූගල් ක්‍රෝම් හෝ මොසිල්ලා ෆයර්ෆොක්ස් මැෂිමට දාගෙන ඒ හරහා වැඩකරන්නත් පුළුවන්.

 

3. කෝටානා

ඇපල් වගේම ගූග්ල් අයත් වොයිස් කමාන්ඩ් දියුණු කළා. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලත් දැන් ගූග්ල් ගෙන් කෙලින්ම ප්‍රශ්න අහලා අපිට විසඳුම් ගන්න පුළුවන්. ඒ වගේ ඩෙස්ක්ටොප් කම්පියුටර්, ලැප්ටොප් වලට මයික්‍රොසොෆ්ට් එකෙන් කෝටානා කියන විශේෂාංගය ආවා. ඒ හරහා අපිට පරිගණකයේ තියෙන වගේම අන්තර්ජාලයේ තියෙන දෙයක් ගැන වුනත් අපේ වොයිස් එකෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම ඊට කලින් තිබුණු වර්ෂන් වලට වඩා වොයිස් කමාන්ඩ් වලින් වැඩ කරන පහසුකම වින්ඩෝස් 10 වලදි වැඩිදියුණු කරලා තියෙනවා.

 

4. මල්ටිපල් වින්ඩෝ

අපිට එකපාර වැඩ ගොඩක් කරන්න පටන් ගත්තට ඒ හැම එකක්ම ඉවර කරන්න ලැබෙන්නෙ නැහැ නේ. ඇතැම් වෙලාවට අපිට වින්ඩෝස් ගොඩක් ඕපන් කරගෙන වැඩ කරන්න වෙනවා. පොටෝ එඩිටින්, වීඩියෝ එඩිටින් වගේ එඩිටින් වැඩ වලදි වගේම ඩිසයින් වලදි මේ විදිහේ මල්ටිපල් වින්ඩෝස් ඇක්ටිව් කරගන්නට අපට උවමනා වෙනවා. ඒකට පහසු වෙන විදිහට ඩෙස්ක්ටොප් දෙකක මල්ටිපල් වින්ඩෝස් වල වැඩ කරන්න වින්ඩෝස් 10 වලදි අවස්ථාව සලසලා තියනවා.

 

5. ඇක්ෂන් සෙන්ටර්

ඇප්ස් වලින් මොබයිල් එකේ වැඩකරද්දි අපිට එන මූලික දෙයක් තමයි නෝටිෆිකේෂන්. නිවුස් චැනල් වල නෝටිෆිකේෂන්, වෙදර් ඇප්ස් වල නෝටිෆිකේෂන් වගේම මෑත කාලයේ කොරෝනා නෝටිෆිකේෂනුත් අපි අතර ජනප්‍රිය වුනා. මේ විදිහට පරිගණකයේ වයිෆයි තත්ත්වය, බැටරි, ලොකේෂන් වගේ නෝටිෆිකේෂන් වින්ඩෝස් 10 වලදි ඇක්ෂන් සෙන්ටර් එක හරහා යූසර්ට බලාගන්න පුළුවන්.

 

6. ටැබ්ලට් මෝඩ්

2015 වර්ෂයේ වින්ඩෝස් 10 නිකුත් කරද්දි ඩෙස්ක්ටොප් කම්පියුටර් ගොඩක් ටච් ස්ක්‍රීන් පැත්තට නැඹුරුවක් තිබුණා. ඒ වගේම තවමත් සමහර අය ටච් ස්ක්‍රීන් තියෙන ලැප්ටොප් වලට කැමැත්තක් දක්වනවා. ඒ එක්ක වින්ඩෝස් 10 ටච් ස්ක්‍රීන් වලටත් වඩාත් සහයෝගය දක්වන විදිහට වැඩිදියුණු වුනා. අපි සාම්ප්‍රදායිකව වැඩ කරන මවුස් එක සහ ටච් පෑඩ් වලින් වගේම ටච් ස්ක්‍රීන් වලිනුත් වින්ඩෝස් හසුරවන්න වින්ඩෝස් වල ටැබ්ලට් මෝඩ් එක නිසා හැකියාව ලැබිලා තියෙනවා.

 

7. සෙකියුරිටි ෆීචර්ස්

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන කොට ඒකට අමතර ආරක්ෂාවට වෛරස ගාඩ් එකක් දාගන්න එක කාලයක් අත්‍යාවශ්‍ය දෙයක් වුනා. ඒත් ඔරිජිනල් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියක් තියෙනවා නම් තවදුරටත් වෛරස ගාඩ් එකක් අත්‍යාවශ්‍යම නැති තත්ත්වයක් වින්ඩෝස් 10 හරහා ආවා. වොයිස් කමාන්ඩ්, ෆේෂල් රෙකග්නිෂන්, වෙබ් කැම්, ෆින්ගර් ප්‍රින්ට්, මල්ටිපල් ඩෙක්ස්ටොප් ආදී පහසුකම් වැඩිදියුණු වුනා වගේම වින්ඩෝස් 10 වලදි ඒ පහසුකම් වලට පසුබිමින් පරිගණක ආරක්ෂාවත් සහතික කළා.

 

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වගේම වින්ඩෝස් ඔෆිස් පැක් එකත් අපේ කම්පියුටර් හරහා වැඩ ගන්න අපිට උදව් වෙනවා. අද වෙද්දි ඔන්ලයින් වැඩ කරන ක්ලවුඩ් ඇප්ස්, ආවත් තාමත් වින්ඩෝස් දාගෙන මැෂින් වලින් ඇප්ලිකේශන් සොෆ්ට්වෙයා හරහා වැඩකිරීම අභාවයට ගිහින් නැහැ. ඉතින් වින්ඩෝස්ස් වල තියෙන හැමෝම දන්න ෆීචර්ස් කිහිපයක් ගැන මේ හරහා ඔයාල දැනගන්නට ඇති. ඒවායේ වැඩ ගන්න හැටි ගැන තවත් විස්තර අන්තර්ජාලය හරහා ඔයාලට පහසුවෙන්ම සොයාගන්නට පුළුවන් වේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *