පරිසරය රකින නිර්මාංශී ආහාර පුරුදු

 වනාන්තර විනාශය, කසළ ප්‍රශ්නය මෙන්ම අපේ පරිභෝජන රටාවන්ද පරිසරයට සෘජුවම බලපෑම් එල්ල කරනු ලබයි. කෙතරම් පරිසරයට ආදරේ යැයි පැවසුවද බටහිර රටවල ජනතාවගේ ආහාර පුරුදු සහ ජීවන රටාව පරිසරයට ඇති කරන බලපෑම දැඩිය. ඔවුන්ගේ මස් මාංශ සහ සත්ව නිෂ්පාදන භාවිතය අධික වීම මෙයට එක් හේතුවකි. දැන් ජනප්‍රිය වෙමින් යන වීගන් සංස්කෘතිය එයට හොඳ විකල්පයක් ලෙස සමහරු දකිති. අපි වීගන් එසේත් නැතිනම් නිර්මාංශික වීමෙන් පරිසරයට සිදුවන බලපෑම් ගැන කාරණා ටිකක් දැනගමු. 

 

1. එළදෙනුන් නැතිව කිරි හැදීම

වීගන් එසේ නැතිනම් ශාකාහාර පමණක් බුදින්නන් අතර කිරි වෙනුවට යොදාගත හැකි විකල්ප ගැන අවධානය යොමු වී තිබේ. ලංකාවේ අපිට නම් ඒ වෙනුවට මෝල්ට්මය ආහාරමය පාන ලබාගැනීම ජනප්‍රිය වී තිබේ. එසේම කිරි වලට ඉතාම සමාන රසයෙන් සහ ගුණයෙන් යුතු ශාකමය කිරි නිපදවීමට විද්‍යාඥයින් දැන් සැදී පැහැදී සිටී. ඒ පර්යේෂණ සාර්ථක වුවහොත් තවදුරටත් කිරි නිපදවීමට එළදෙනුන් අත්‍යාවශ්‍ය සාධකයක් නොවනු ඇති. එය මිල අතින් ද ඉදිරියේදී වාසිදායක සොයාගැනීමක් වන්නට ඉඩ ඇත. 

 

2. බටර් කේක් සහ මාගරින් කේක් 

බටර් කේක් වලට බටර් යොදාගැනීම අපේ රටේදී කලාතුරකින් සිදුවන දෙයකි. බටර් දෙසීය පනහක් මිලදී ගැනීමට රුපියල් හය හත්සීයක් වියදම් වන නිසා රුපියල් දෙතුන් සීයකට ලැබෙන මාගරින් කේක් වලට දැමීමට අප හුරුව තිබේ. මේ හරහා නියම බටර් කේක් රසය නොඑන මුත් කිරි නිෂ්පාදන භාවිතය මේ නිසා අඩුවේ. අප භාවිතා කරනු ලබන මාගරින් බේකරි වැඩ ආදියේ බටර් අවශ්‍යතාවයට වඩාත් ගැළපෙන ලෙස සකසා ඇති අතර ඒවා පාම් ඔයිල් වලින් විවිධ ක්‍රියාවලි හරහා සකස් කරගනු ලැබේ. 

 

3. මස් වෙනුවට සෝයාමීට්

 

කුකුළු මස් නිපදවීමට යන කාලය අඩු වුවත් ඒ සඳහා යොදාගන්නා රසායනික සහ ආහාර ආදිය සැලකූ විට එයද පරිසරයට යම් බලපෑමක් එල්ල කරයි. ගව මස්, එළු මස්, බැටළු මස් ආදිය නිපදවීමට විශාල වපසරියක්, විශාල ආහාර ප්‍රමාණයක් වැය වේ. දැනට ලංකාවේ නම් සෝයා මීට් සෑම තලයකම ජනයා අතර ජනප්‍රිය වී තිබේ. මස් වල ඇති සපන විට එන ප්‍රමෝදය සෝයා මීට් වලින් නොලැබුණත් ඒ හරහා ඊට ආසන්න රසයක් ලබාගැනීටමට දැන් හැකියාව ලැබී තිබේ. ශාක ආහාර වලින් කෙලින්ම නිපදවන සෝයා මීට්ද පරිසරයට හිතකාමී ශාකමය නිමැවුමකි. 

 

4. ඉන්දියාව සහ ශාක ආහාර 

ඉන්දියානුවෝ ශාක ආහාර බුදීමට රුසියෝ වෙති. ඉන්දියානුවෝ පෙර කල පටන්ම හින්දු ආගමික බලපෑම් නිසා මස් මාංශ වලට වඩා ශාක ආහාර වලට මුල්තැන ලබා දෙති. මේ හේතුවම ඉන්දියාවේ මෙතරම් ජනගහණයක් ජීවත් වීමට ඉඩ හසර විවර කර දී තිබේ. ඉන්දියානුවන්ද ඇමරිකානුවන් පරිදි මස් බහුල ආහාර වේලක් අනුභව කළේ වී නම් එතරම් ජනගහණයකට මස් සොයාගැනීමත්, මස් නිපදවීමත් මහත් ගැටළුවක් වනවා ඇති. 

 

5. දූෂිත පරිසරය සහ නවසීලන්තය 

නවසීලන්තයේ සාරවත් තණබිම් සහ ඒවායේ වෙසෙන සුදු කළු එළදෙනුන් අපේ ඇස් වලට ගෙන එන්නේ සුන්දර දර්ශනයකි. එහෙත් නිතර නිතර කෘමිනාශක පොහොර සහ කෘෂි රසායන යහමින් ඉසින ලද තණ බිම් එයට පහළ ජල මූලාශ්‍ර වලට නරක කාලයක් උදාකරමින් තිබේ. ගවයින්ගේ මළ ද්‍රව්‍යයද ඔවුන්ට ගැටළුවක් වී තිබේ. පරිසරයට දැඩි හානියක් සිදු වන මේ සත්ව පාලනය නවතාලීමට ඔවුන්ට දියුණු රටක් ලෙසද නොහැකි වී තිබේ. එයට හේතුව නම් ලෝකයේ කිරි සහ මස් නිපදවීම අතින් නවසීලන්තය වෙළඳපොලේ ඉදිරියෙන්ම කියවෙන නමක් වීමය. 

 

6. මස් සහ නාස්තිය 

ධාන්‍ය වර්ග සහ එළවළු තණකොළ වැනි දේ වගා කොට සතුන්ට ගිල්ලවා ඒ මගින් මස් නිපදවා ආහාරයට ගැනීම අකාර්යක්ෂම වැඩකි. ඒ හරහා විශාල ආහාර නාස්තියක් සිදුවේ. ලෝකයේ ධාන්‍ය වලින් සැලකිය යුතු කොටසක් මේ ගොවිපළ සතුන් නඩත්තුවට වියදම් වන්නේ අප්‍රිකාවේ සහ ආසියාවේ ඇතැම් රටවල ජනතාවට ආහාර බිඳක් නොමැතිව මිය යන්නට සිදුවන වටපිටාවකදීය. එම නිසා එම දියුණු රටවල ජනතාව වඩ වඩාත් නිර්මාංශී වුවහොත් එහි වාසිය සමස්ථ ලෝකයාටම දැනෙනු ඇති. 

 

7. වීගන් සහ පර්යේෂණ 

වීගන්වරු හෙවත් ශාකාහාර බුදින අයගේ ඇතැම් උත්සාහ කිරීම් විකාර සහගත ලෙස සාමාන්‍ය අයට පෙනී යයි. ඔවුහු බිත්තර නැතිව කේක් හදන්නට උත්සාහ කරති, මස් නැතිව මස් රස එන බාබකිව් බර්ගර් ආදිය හදන්නට හදති. කොටින්ම මස්, කිරි, බිත්තර යොදා හදන සෑම ආහාරයකටම මස් නැති විකල්පයක් දෙන්නට උත්සාහයක් ශාකාහාර පර්යේෂණ වල තිබේ. මෙය අපිට යම් තරමක අවුලක් ලෙස පෙනී ගියද මෙය ලෝක ආහාර සැපයුම සහ පරිසරයට වඩාත් හිතකර වූ ක්‍රියාවලියකි. යම් ලෙසකින් අපේ මස් මාංශ ආහාර වලට වඩාත් ආසන්න සහ සමාන ශාක නිමැවුම් පැමිණියහොත් එය මිලෙන් අඩු මෙන්ම පරිසර හිතකාමී පියවරක් වනු ඇත…

 

මිනිසා සර්වභක්ෂකයෙකු වුවත් එතරම් වෙහෙස මහන්සි නොවන අලස ජීවන රටාවක් අද අපිට හිමිව තිබේ. කලින් වෙහෙස මහන්සි වී වැඩකරන ජනතාව යැයි හැඳින්වූ ගොවියා, කම්කරුවා පවා අද සිරුර අඩුවෙන් වෙහෙසා වැඩ කර යන්ත්‍ර සූත්‍ර නිසා සිය වැඩකටයුතු වඩාත් පහසු කරගනී. ඒ සමග පෙර මෙන් ප්‍රෝටීන, මේද, කාබෝහයිඩ්‍රේට අධික ආහාර වේලක් මිනිසුන්ට අවශ්‍ය නැත. ආහාර නොමැතිකමට වඩා අද තුන්වන ලෝකයේ රටවලද අහාර පාලනයක් නොමැති නිසා හදාගන්නා ලෙඩ වැඩිවී තිබේ. ඉතින් පරිසරයට, අතමිටට වගේම අපේ සෞඛ්‍යයටත් හොඳ මේ වීගන් ආහාරවලට අපිට එකපාර යොමුවෙන්න බැරි වේවි. ඒත් අමාරුවෙන් හරි වීගන් ආහාර වලට වැඩි වශයෙන් යොමු වුණොත් එය අපි ජීවත්වෙන ලෝකයට සුබ පියවරක් වේවි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *