චූන් පාන් වාහනයෙන් අපිට වෙන සේවාවන්

පාන් ගෙඩියක්, බනිස් ගෙඩියක් රස්නෙට කන්න ඉස්සර නම් අපි බේකරියටම යනවා. ඒත් දැන් ගොඩක් පොඩි බේකරි පවා පාන් බනිස් වර්ග පොඩි වෑන් වලින් අපේ ගෙදර ළඟටම ගෙනත් දෙනවා. මේ එන පාන් වෑන් නිකම්ම එන්නේ නෑ. චූන් එකට පොඩි සද්දෙකුත් දාගෙනයි එන්නේ. ඒ නිසාම ඒවා චූන් පාන් වෑන් ලෙස හඳුන්වනවා. සමහර අය චූන් පාන් වාහන සද්දේ කරදරයක් කියලා හිතනවා. ඒත් දැන් ගොඩක් පළාත්වල ජනයාට චූන් පාන් වාහන සද්දේ කියන්නේ සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි. ඉතිං මේ චූන් පාන් වාහනෙන් අපිට ලැබෙන සේවාවන් මොනවද කියා බලමු.

 

1. එලාම් එකක් ලෙස ක්‍රියාකර අපිව ඇහැරවීම

Image Source – steemitimages.com

රට නැගිටුවන්න, දේශය නැගිටුවන්න, ලෝකය නැගිටුවන්න අපි එක එක පෝස්ට් ෆේස්බුක් එකේ වෙලාවකට ෂෙයාර් කරනවා. ඒත් දෙයියනේ උදේට නැගිටින්න ගියාම තියෙන අමාරුව. ඒක නම් ලේසියෙන් මග හැරෙන අමාරුවක් නෙවෙයි. ඉතිං මේ උදේ අමාරුවෙන් ඇඳේ පෙරළි පෙරළි එලාම් එක හෝල්ඩ් කර කර ඉද්දි ඔන්න ඇහෙනවා චූන් පාන් වාහනේ සද්දේ. එතකොට අපි අමාරුවෙන් හරි ඒ සද්දෙට ඇහැරෙනවා.එලාම් එකටත් වඩා කන්දොස්කිරියාවක් තියෙන, එලාම් එක වගේ නවත්වාගන්නත් බැරි චූන් පාන් වාහනේ උදේ පාන්දරට පාරේ යනවා නම්, ඒක අපි කොයිකාටත් උදේට ඉක්මනින්ම නැගිටින්න උදවුවක් වෙනවා.

 

2. අපි ඉන්නේ ලංකාවේ බව මතක් කරදීම

Image Source – medium.economist.com

නිවාඩු දවසක එහෙමට වැඩක් නැත්නම් අපි ඉතිං ඇඳේ ටික වෙලාවක් විවේකෙන් උන්නාම දවල් කියලා නෑ නින්ද යනවා. ඔහොම නින්ද ගිහින් හීනයක් දෙකක් බලලා දවල්ම ඇහැරෙද්දි අපිට නිකං අමුතු මෙව්වා එකක් හිතට දැනෙනවා. වෙලාවකට අපි ලංකාවේ නෙමෙයිද මේ ඉන්නේ කියලාත් හිතෙනවා. තද වැස්සක හීතලට ගුලි වෙලා නිදාගෙන ආයේ ඇහැරෙද්දිත් වැස්ස නම් ඔන්න අපිට ඉන්න තැන ගැන පොඩි මෙව්වා එකක් එනවා. ඒ වගේ මනෝ පාරක් ගහගෙන ඉන්න ඕනි වෙලාවක චූන් පාන් වාහනේ සද්දේ ඇහුනම අපිට මතක් වෙනවා අපි ඉන්නේ ලංකාවේ අපේ ගෙදර බව.

 

3. බනිසක් ගැනීමට යෑමේදී අපව ව්‍යායාම වලට හුරු කරවීම

Image Source – youtube.com

ලොකු එක්සයිස් මැෂින් ගෙදර ගෙනත් තියාගෙන ඒවායේ එක්සයිස් කරන්න කියලා අපි සෙට් වෙනව. නැන්නම් අවුරුද්ද මුල ලොකු ගාණක් ගෙවලා සෙට් වෙනවා ජිම් එකකට. ඒත් ඒ හැම එකකම ආසාව ටික කාලයයි. ඒත් වේගෙන් යන චූන් පාන් වාහනේ පස්සෙන් ගිහින් කැලරි ටිකක් දහනය කරගැනීම නම් චූන් පාන් වාහන වලින් බඩු ගන්න අයට අලුත් දෙයක් නෙමෙයි. අපි කලිසම් ඇඳලා, සාක්කුවලින් සල්ලි අරගෙන, ෂර්ට් එකක් දාගෙන දුවලා පාරට එද්දි මෙන්න හැටට හැටේ චූන් පානා යනවා. ඒ ගමන අපිට තැන නොතැන බල බල ඉන්න වෙලාවක් නැහැ නේ… කොහොම හරි රන් එකක් දීලා, අමාරුවෙන් පරෙස්සම් කරගෙන උන්න කැලරි ටිකක් දහනය කරලා, චූන් පාන් වාහනේ අල්ලගන්නවා.

 

4. රෑට පාන් කෑම හොඳයැයි බිරිඳට මතක් කිරීම

Image Source – tyronetribulations.com

ටෙලිනාට්‍ය වලනම් හරි ලස්සනට, ලස්සන ඇඳුම් ඇඳගෙන ඒ කතාවල අය කෑම උයනවා, කෑම කනවා. ඒත් ඒවා කොච්චර බැලුවත් අපේ බිරිඳට නම් උයනවා කියන්නේ එච්චරම ආස වැඩක් නෙමෙයි. ඔන්න චූන් පාන් එක එහා පාරෙන් යද්දි අපේ බිරිඳට එක එක කැක්කුම් එනවා. අලුත් අදහස් එනවා. ඒ අනුව අවසාන තීරණය වෙන්නේ රෑට පාන් කෑමට හිත හදාගන්න වීම. චූන් පාන් වාහනෙන් පාන් ගෙදර දොර ගාවටම එන නිසාත් පාන් ගේන්න කඩේට යන්න වෙන්නේ නැති නිසාත් දෙන්නාම එකඟ වෙලා පාන් තීරණය ක්‍රියාත්මක කරනවා.

 

5. රසක් ගුණක් නැති බේකරි ආහාර වලට අපේ දිව හුරුකිරීම

Image Source – giancarlosbakery.com

භාවනා කරන යෝගීන් හෙම කෑම වල රස බලන්නේ නැහැ. මොකද ඔවුන් දිව පිනවීම ගැන එතරම් අවධානයක් නැහැ. සමහර චූන් පාන් වලින් කෑම ගන්නවා කියන්නේ අපේ දිවට රසක් නොදැනුනත්, ඕනෑම දෙයක් ගිල දාන්න හැකියාවක් අපිට එනවා කියන එකයි. මාලුපාන් වල මාලු නැතුවාක් මෙන්ම චූන් පාන් වාහන වල යන ජෑම් පාන් වල ජෑම් ඇත්තෙත් නැහැ. ආසාවෙන් සුවඳ නිසා සහ පෙනුම නිසා ගත්තා වුනත් කන්න ගියාම චූන් පාන් වාහන වල කෑම ගොඩක් වෙලාවට රස අඩුයි.

 

6. ජීවිතයේ මතක සටහන් වලට උදව් වීම

Image Source – independent.co.uk

අපේ ජීවිත වල විවිධ මතක සටහන් තියෙනවා. රට ඉඳන් ළඟ ඥාතියෙකු පැමිණීම, අපේ බබා මුලින්ම ඇවිදින්නට පටන් ගැනීම, බබා යම් තැනකින් වැටීම වගේ ගොඩක් දේවල් ජීවිතේ මතක විදියට තියෙනවා. ඒ මතක අපිට මතක් වන විට ඉස්සර කාලේ නම් ඒවාට බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් තිබුනේ නැහැ. ඒත් දැන් මේ චූන් පාන් සංස්කෘතිය නිසා අපේ මතක වලට බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් තියෙනවා.

 

7. අවට නිවෙස් වල සිටින ගුහාවාසීන් දැකගන්නට සැලැස්වීම

Image Source – lookism.net

ගුහාවක ගිහින් හිරවෙලා උන්න තායිලන්තේ ළමයින් ටිකක් සති දෙකකට පස්සේ තමයි ඒ දෙමාපියන්ට දකින්නට ලැබුනේ. අපේ ලේන් එකේ, අපි ඉන්න පාරේ සමහර ගෙවල් තියෙනවා සති දෙකට නෙමෙයි, මාස ගාණකට ඒ ගෙවල් වල ඉන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඔවුන් ගුහාවාසීන් වගේ ඉඳලා හිටලා යන එන වෙලාවක කලාතුරකින් මිස දකින්නට ලැබෙන් නැහැ. ඒත් මේ චූන් පාන් වාහනේ නිසා ඇතැම් වෙලාවට ගෙදර ඉන්න පිරිමි කෙනාට අල්ලපු ගෙදරක ඉන්න ලස්සන යුවතියක් වුනත් දැකගන්නට හැකියි. ඒ වගේම ගෑණු ළමයෙක්ට උනත් අල්ලපු ගෙදරක නැවතිලා ඉන්න හැඩ කොල්ලෙක් බලාගන්නත් මේ චූන්පාන් රථය නිසා අවස්ථාව ලැබෙනවා.

 

නිවාඩු දවසකදි ගෙදර ඉද්දි, කිරි හට්ටි, මල් පෝච්චි, අතු කපනවා, පිහිය මුවාත්, බෝතල් පත්තර, මල් පැල, පරණ යකඩ වලට ප්ලාස්ටික් බේසමක් ආදී විවිධ ආකාරයේ වෙළෙන්දන් යනවා. ඇත්තටම මේක වෙලාවකට අපිට කරදරයක්. ඒත් එක අතකින් මේවා අපේ දොර ගාවටම ලැබෙන සේවාවන්. චූන් පාන් වාහනයෙන් ගෙදර දොර ගාවටම අපිට බනිස් ගෙඩිය ගෙනත් දෙනවා. ඒ වගෙම  සද්දෙන් ඒ බව මතක් කරලාත් දෙනවා. චූන් පාන් වාහනේ උනත් වැදගත් යමක් කමක් කෙරෙන තැනක් කියලා ඔබට මෙයින් වැටහෙන්නට ඇති.

Cover Image Source – deskgram.net

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *