බත් කියන්නෙ අපේ ප්‍රධාන ආහාරෙ විත්තිය ආයෙ ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. අපි මේ ලියන්නෙ හැමදාම හැම වෙලේම සෙට් නොවුනත් අපේ කට්ටිය ආසම කරන බත් එක්ක කදිමට ගැලපෙන සයිඩ් එකේ යන කෑම ගැන. බත් එක්ක අනුපානෙට මෙච්චර ආහාර සයිඩ් කික් එකක් දෙන්න සෙට් වෙනවද කියලත් හිතාගන්න බැරුව ඇති. සමහරුනං මේ වගේ සයිඩ් එකෙන් යන කෑමවලට කොච්චර ආසයිද කිවුවොත් බතට ව්‍යංජන දාගන්නවටත් වඩා වැඩිපුර මේ වගේ සයිඩ් කික් එකක් දෙන ආහාර බෙදාගන්න විත්තිය දකින්න පුළුවන්. ගෙවල්වල තියාගෙන ඉන්න, කඩෙන් ඒ වෙලාවට අරගන්න, සමහරවෙලාවට වැඩිපුර කියලා ඉල්ලගන්න මේ වගේ සයිඩ් ආහාර ගැන අපි ලියපු සටහනේ නැති දෙයක් මතක් වුනොත් ඔයාලා අපිට කියන්න.
1. පපඩං
ලංකාවෙ අපිට ප්‍රසිද්ධම සයිඩ් ආහාරෙ. කඩවලින් බත් එකට ලැබෙන්නෙ තනි පපඩමක්. සමහර කඩවල ලැබෙනව ලොකු පපඩමක්. සමහරුනං දෙන්නෙ දෙන්න ඕනවට විතරයි. ඒ වෙලාවට ඉතිං කියල වැඩිපුර ඉල්ලගන්නයි වෙන්නෙ. කොහොමත් ගෙදර බදින සමහර පපඩංවලට වඩා කඩේ බදින පපඩං රසයි. ගෙදරදි ලැබෙන සමහර පපඩං මඤ්ඤොක්කා මික්ස් නිසා කන්න අමාරුයි. ඇත්තටම බොහෝදෙනෙකුට පරිප්පු සහ පපඩං එක්ක විතරක් බත් කාගෙන කාගෙන යන්න පුළුවන් කම තියෙනවා. එහෙම සයිඩ් කික් එකක් දෙන කෑමක් විදියට වැඩිම සාර්ථකත්වයක් උසුලන්නෙ පපඩං. ඊටපස්සෙ තමයි මේ ලැයිස්තුවෙ තියෙන අනිත් ඒවා එන්නෙ. සමහරුනං පිටිගොඩ කියල නොකෑවට මොකද සමහරු පෙරේතකමට ගෙදරදි වෙනම පොඩි පිඟානකට බෙදාගත්තු පපඩම් දීසියම කන්න අමතක වෙලා බත් කාලා ඉවර වුනාට පස්සෙ හරිම අවුලෙන් ඒ දිහා බලං ඉන්නව.
2. බැදපු මිරිස්
පපඩං එක්ක ඇතැම් කඩවලින් ලැබෙන අනිත් දේ තමයි මිරිස්. සමහර මිරිස් ඇතුළෙ ලුණු පිරිලා. කාගන්න අමාරුයි. දැවිල්ල ඇති කියල හැපුවට ලුණු වැඩිවෙලා කාගන්න බැරි වෙනවා. ශරීර සෞඛ්‍යය ගැන හිතලා තෙලෙන් බැදපු පිටි ගුලි කියලා පපඩං නොකන මිනිස්සු හරි හරියට කන දෙයක් තමයි බැදපු මිරිස් කියන්නෙ. සමහරු නං බැදපු මිරිස් බෑග්වල දාගෙනත් ගෙවල්වල කනවා. ඇත්තටම බැදපු මිරිස් කියන්නෙත් කිරි මාලු හොද්දක් එක්ක බතක් කන්න කියාපු සයිඩ් කික් එකක් දෙන කෑමක්.
3. පරිප්පු වඩේ
මේකත් බත් එක්ක බැඳුනු ෂෝක් ආදර කතාවක්. ගොඩක් දෙනෙක් මේකට තෝරගන්න වඩේ එකක් තියෙනවා. මේකට ගන්නෙ සාමාන්‍යයෙන් උදේට විකුණන්න තියෙන ලොකු පරිප්පු වඩේ නෙමෙයි. මේකට හරියන්නෙ ප්‍රමාණයෙන් කුඩා හොඳට කරවෙන්න බැදපු මිරිස් දාපු වඩේ. සමහර තැන්වල නං කොච්චිත් දානවා. සමහර තැන්වල කෑම පාර්සලේටත් ලැබෙනවා. හැබැයි බොහෝ විට වෙනම සල්ලි දීලා ගන්න තමයි වෙන්නෙ. කට්ටිය කරන්නෙ රුපියල් පහේ වඩේ 4ක් විස්සට අරගෙන බත් එකත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ කන එක. පරිප්පු වඩේ එකෙන් බඩත් පිරෙන නිසා බත් ගොඩක් කන්න ඕනෙත් නෑ.
4. රෝස්ට් පාන්
මේක ගොඩක් වෙලාවට රාත්‍රී ආහාරයට සෙට් වෙන කෑමක්. මොකද හවසටනෙ උණු උණු රෝස්ට් පාන් එන්නෙ. ඉතිං රෑ කෑමට බෙදාගත්තු බත් එකත් එක්ක රෝස්ට් පාන් එකකුත් අරගෙන තමයි කන්න වාඩිවෙන්නෙ. සමහරුනං කෙලින්ම රෝස්ට් පාන් එක අතට ගන්නෙ නැතුව පුචි පුංචි කෑලි කඩලා බත් එක උඩින් දාගෙන තමයි කන්න පටන්ගන්නෙම. බත් අනද්දිම රෝස්ට් පාන් කෑලිත් අනාගෙන කද්දි මාර ආතල් එකක් තියෙන විත්තිය ඒ විදියට කාපු ඕන මනුස්සයෙක් දන්නව. ඒ වගේම පපඩං වලට වඩා රසට රෝස්ට් පාන් වාටිය හැපෙන විත්තියත් නොරහසක්.
5. පිපිඤ්ඤා/අන්නාසි
මේ කම්බිනේෂන් එක ගොඩක් වෙලාවට ලැබෙන්නෙ ෆ්‍රයිඩ් රයිස් එක්ක. ඒ වුනත් ගෙදර කෑම ඔක්කොම වගේ මිරිස් පැත්තට බර නං පිපිඤ්ඤා ගෙඩියක් පෙති ගහල ගත්තම වැඩේ ගොඩ. කටෙන් කටට අමුතුම රිෆ්‍රෙෂින් රසක් දැනෙන විදියට කන්න පුළුවන් කෑමක් තමයි පිපිඤ්ඤා. අන්නාසිනං අපිට හිතුනු හිතුනු වෙලාවට කපාගෙන කන්න බැරි වුනත් ගෙදර බත් කාලා කන්න අන්නාසි කපලා තියෙද්දි ප්‍රධාන බත් වේලටත් අන්නාසි පෙත්තක් එකතු වෙන එක නවත්තන්න බෑ. ඒ ඒකෙන් කෑම එකට දෙන වෙනස් රසය නිසාමයි.
6. චිලී පේස්ට්/සෝස්/චට්නි
මේ ඉතිං කොතනත් කවදත් සයිඩ් කික් එක දීපු කෑම ටිකනෙ. ඔක්කොම දැන් එනවනෙ බෝතල්වල. ගෙදර හදන්න දෙයක් නෑ. ඕනම ඇල් මැරුණු කෑමකට කික් එකක් දීලා ගන්න චිලී පේස්ට් වලට පුළුවන්. ලේසියට ව්‍යංජන අඩුවෙන් හදාගත්තු එළවලු බතක රස වැඩි කරලා ගන්න සෝස්වලට පුළුවන්. චිලී ඇන්ඩ් ගාලික් සෝස් කියන්නෙ බත් එක්ක නැගලම යන සෝස් එකක්. අනිත් දේ චට්නි. චට්නි ක්නන හුරු වෙච්ච මිනිහා බත් නොකා චට්නි කාගෙන කාගෙන යන තත්ත්වයකුත් තියෙනවා. ඒ තරං රස අඹ චට්නියක් තියෙනවානං බතට කිරි හොද්දක් විතරක් වුනත් ඇති.
7. රතු ළූණු සහ අමු මිරිස්
මේක තමයි ගමේ ගොඩේ පටන් අපේ මිනිස්සුන්ට අනාදිමත් කාලෙක ඉඳන් සයිඩ් කික් එකක් දීපු කෑම. රතුළූණු ගෙඩි තුනක් එක්ක අමු මිරිස් කරලක් තියෙනවනං ඕන බතක් කම්මැලි නැතුව කන්න පුළුවන්. ඒකට මේ කෑමවල ටෙක්ස්චර් එකත් ලොකු හේතුවක්. රතු ළූණු හැපෙන සද්දෙ වගේම රතු ළූණුවලින් දෙන රසය කෑමක් එක්ක නියමෙට බ්ලෙන්ඩ් වෙන දෙයක්. අමු මිරිස් කරලක් කියන්නෙත් දැවිල්ලම විතරක් නොවෙන වෙනස් රසයක් සුවඳක් සහ කෑම පිරියක් ඇති කරවන නියම සයිඩ් කික් එකක් දෙන දෙයක්.
අපි මෙතනට නොයෙක් බැදුම් වර්ග වගේම, ලුණුදෙහි හෝ සිංහල අච්චාරු නොදැම්මෙ ඒවා දැනටමත් සයිඩ්කික් කියන තැනින් ප්‍රධාන ව්‍යංජන ගොඩට මාරු වෙලා ඉවර නිසායි.
Leave a Reply