ආදරය, ශෘංගාරය, දුක, සතුට, හිමිවීම, අහිමිවීම වගේ සිතුවිලි, කැට් කරලා මිරිකලා පෙරල ගත්තු භාෂාවක් තමයි සංගීතය කියන්නේ. ඉතිං මේ භාෂාව බිහිවෙන්නත් අපූරු සිදුවීම් පාදක වෙලා තියෙනවා. ඔයාලා ආදරයෙන් වැළඳගත්තු මේ ගීත බිහිවෙන්න පාදකවුණු හරි අපූරු සිදුවීම් එහෙමත් නැත්නම් අත්දැකීම් ගැන ඔයාලා දැනුවත් කරන්නයි අද සුදානම.
01.
“මගේ පුංචි රෝස මලේ…
මමයි නුඹේ වියපත් බඹරා…
නුඹ හිනෙන්වත් නොදකින කුමරා..//”
වයසින් වැඩි කෙනෙක් ගේ හිතේ තමාට වඩා ගොඩාක් ලාබාල යුවතියක් ගැන ඇතිවුන ඒත් ඒක කවදාවත් කියාගන්න බැරී උන, හරි අව්‍යාජ ප්‍රේමයක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. මේක ලිව්වේ ධම්මික බණ්ඩාරයන්. අමරසිරි පීරිස් මහතා ගේ ගැඹුරු කටහඩට සංගීතය මුහුකලේ ඩැනිස්ටර් පෙරේරා. ගීතය ලියන්න හේතු වුනේ දකුණු පළාතේ හිටිය සංගීතවේදියෙක්ගේ අත්දැකීමක්. මෙතුමා භාත්කන්ඩ සංගීතය ඉගෙන ගන්න ළමයින්ට සංගීත පන්ති කලා. මේකට ආවා එක ගෑණු ළමයෙක් වයලීන් ඉගෙනගන්න. කාලයක් යනකොට මේ සංගීත ගුරුතුමාට ඒ ගෑණු ළමයා පන්තියට ආවේ නැති දවසට අනිත් අයට පාඩම කියලා දෙන්න බැරි තරමටම හිත නොසන්සුන් වෙනවා. කොහොම හරි කාලයක් ගිහින් දවසක මේ ගෑනු ළමයා එයාගේ ගුරූතුමාට බුලත් අතක් දීලා වැදලා, පංතියෙන් අයින් වෙලා යනවා. ඒ එයාගේ විවාහය සඳහා. දවසක්දා තානායමක සප්පායම් වේවි ඉන්න මෙතුමා මුණගැහෙන්න එනවා සහෝදර සංගිතවේදියෙක් වුනු ධම්මික බණ්ඩාරයන්. ඉතිං එදානම් මේ මිතුරු හමුව සංවේදී හමුවීමක් වෙනවා. මෙතනදි ධම්මික බණ්ඩාරයන්ට වස්තුබීජයක් වෙන්නේ ධම්ම පදයේ එන එක ගාථාවක්.
“හිත වනාහි දුර ගමන් කරන, තනිව සරන, ශාරීරයක් නැති ගුහාවක්” සමාජයේ ජීවත්වන අතරතුර හිතට දැනෙන යම් යම් සිතුවිිලි යම් යම් හේතු කාරණා නිසාම ප්‍රකාශ කරන්න අපිට බැරිව යනවා. ඉතිං තමා විසින්ම තමාගේ හිත දමනය කරගත්ත සංගීතවේදියෙකුගේ ඒකපාර්ශවික ආදරයක භාවමය අත්දැකීමක් තමයි ධම්මික බණ්ඩාරයන් මේ ගීතයට පාදක කරගත්තේ.
02.
“හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න..
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න..”
කෙනෙක්ට තමන්ගේ ආදරය දිහා ආත්මාර්ථකාමී නොවී, අයිතිකරගන්නම තරඟ නොකර, දුරකට වෙලා ඒ දිහා වෛරයක් නැතුව බලා ඉන්න පුලුවන්නම්, ඇත්තටම ඔහු හෝ ඇය බෝසත් චරිතයක්. මේක ලිව්වේ ධම්මික බණ්ඩාරයන්. ගායනා කරන්නේ අමරසිරි පිරිස්. සංගීතය මුහුකලේ ඩැනිස්ටර් පෙරේරා. මේ ගීතයට හේතු වුන කාරණයත් හරි අපූරුයි. ධම්මික සර් ගේ සිංහල පන්තියේ හිටියා තරුණියක් හා තරුණයෙක්. කෙල්ල කෙසෙල් කොලේ ඔතලා තඩි බත් එකක් ගේනවා. කොල්ලා ඒකට සම්මාදම් වෙනවා. කාලයක් ගිහින් කෙල්ල කැම්පස් යනවා. කොල්ලා ආගිය අතක් නැහැ. දවසක් වෑන් එහෙකින් බැහැලා ආපු සේල්ස් රෙප් කෙනෙක් අහනවා “සර්ට මාව අඳුනන්න පුලුවන්ද,” කියලා. බලපුවාම අර බත් මුලට වග කියපු කොල්ලා. විස්තර අහනකොට කියනවා “සර් මම ඒ සම්බන්ඳේ නතර කළානෙ. එයාට හොදට ඉගෙන ගන්න පුළුවන්. මම ඉතිං මැටිටා නෙ. ඊටත් මම තමයි තාත්ත නැති මගේ පවුල ජීවත් කරන්නේ මේ රස්සාව කරලා. ඉතිං ඒ ළමයාගේ ඔළුවට මේ බර දාන්න බැහැනේ කියලා.” තරුණයෙකුට කරන්න අමාරු කැප කිරීමක් කරපු ඒ තරුණයාගේ අවංක ආදරය වෙනුවෙන්, හන්තානයේ කදු වළල්ලට මුවා වෙච්ච නේවාසිකාගාරයක තමන්ට හිමිකරගන්න බැරිවුණු ආදරයක් වෙනුවෙන් සුසුම් හෙලන තරුණිය වෙනුවෙනුත් තමයි මේ ගීතය බිහිවුණේ.
03.
“තනි තරුවේ..//
ඔබත් ඔහොම ඔතන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා..”
කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ ජීවිත වලට එක ඒක ප්‍රශ්න එනවා. ඒව තේරුම් අරගෙන එක තැනක නැවතිලා ඒ හැල හැප්පීම් වලට මුහුණ දෙන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතයේ ලබන ලොකුම ජයග්‍රහණය. මේ ගීතය ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස්. සංගීතය මුහුකරලා ගායනා කරන්නේ වික්ටර් රත්නායක. දවසක් ප්‍රේමකීර්ති, වික්ටර් ඇතුළු කට්ටිය ත්‍රීකුණාමලයේ ට්‍රිප් එකක් යනවා. කාලා බීලා අහවර වෙලා හැමෝම පැදුරු කොට්ට දාලා නිදාගන්න ලෑස්ති වෙනවා මුහුදු වෙරළේ. ඉතින් මෙහෙම ඉන්නකොට වික්ටර් අහනවා ප්‍රේමකීර්ති ගෙන් “ප්‍රේම් උබට කවි එහෙම මතක් වෙන්නේ නැද්ද ” ප්‍රේමකීර්ති කියන්නේ ක්ෂණිකව හටගන්නා සිතුවිලි කැටි කරලා නිර්මාණ බිහිකරන්න පුළුවන් පුදුමාකාර චරිතයක්. එදා කියපු වචන පේළියක් තමයි තනි තරුව බිහිවෙන්න හේතු වුණේ.
පහු කලෙක තමන්ගේ ජීවිතයට ආපු එක එක හැල හැප්පීම් මැද තනි තරුව කාන්තාවකට සමාන කරනවා.
ඒ ප්‍රශ්න ගැටුමකට ගෙනයන්නේ නැතුව, නැවතිලා විසඳගමු කියලායි තනි තරුවෙන් ප්‍රේමකීර්ති ඇයට කිව්වෙ.
04.
“මගේ ආදර පවසට ඔබ නියං කලට හඬන අහස…
මගේ ආදර වරුසාවට යටිකුරු කළ කලසකි නුඹ…”
බාධා කම්කටොලු නැති ආදරයක් හැමෝටම හිමිවෙන්නේ නෑ. එහෙම නැති උනහමත් ආදරය ලස්සන වෙන්නේ නෑ. කොටින්ම දැනෙන්නේ නෑ. මේ හැම දෙයක්ම එක්ක ජය ගන්නා ආදරය ලස්සනයි, මිහිරියි. මේ ගීතය ලියන්නේ මහින්ද දිසානයකයන්. ඔහුගේ සංකල්පනාවට සංගීතය යෙදුවේ කරුණාරත්න විජේවර්ධන. හඬ මුසුව ක්‍රිෂාන්ත එරන්දක හා මාලනී බුලත්සිංහලගේ. පාසල් වයසේදීම ආදරයෙන් බැදුන යුවළක් ඉන්නවා. තරුණියගේ තාත්ත ඉස්කෝලෙ මහත්තයෙක්. තරුණයාගේ තාත්තා හරක් බලන්නෙක්. දෙන්න නෑනයි මස්සිනයි වුණාට මොකද තමන්ගේ දුව හරක් බලන කෙනෙක්ගේ පුතාට දෙන්න තාත්තා කොහෙත්ම කැමති නෑ. දවසක් මේ තාත්තා බෑනට කියනවා උබට මගේ දුව දෙන්නම් හැබැයි උබ ඊට ඉස්සෙල්ලා මනුස්සයෙක් වෙලා මට පෙන්නහන් කියලා. මේ අභියෝගය භාරගත්ත තරුණයා මුලින්ම පොඩි රස්සාවක් කරනවා. පස්සේ පොඩි පොඩි කොන්ත්‍රාත් වැඩ කරන්න ගන්නවා. අද ඒ හරක් බලපු කෙනාගේ පුතා ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගම් කිහිපයක හිමිකාරයෙක්. මේ දෙන්නගේ නොනිමි ආදරයේ සටහන් තමයි මෙලෙස ගීතයකින් දිගහැරෙන්නේ.
05.
“එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා….”
ආදරයෙන් ඉපදුණු මිනිස්සු, ආදරේත් එක්ක ජීවත් වෙන්නේ නෑ, ආදරෙන් වේලිච්ච මිනිස්සු මියැදෙනකම් ආදරෙන් ඉන්නෙත් නෑ. එහෙව් පින්සාර ආදර කතා මරණයෙන් පසු පවා ජීවත් වෙනවා. හරියට මේ වගේ. මේ ගීතය ලියන්නේ විමල් ජයශාන්ත. මේ ඔහුගේ ආදර කතාව. මේකට සංගීතය යොදවලා ගායනා කරන්නේ සනත් නන්දසිරියන්. දවසක් සනත් නන්දසිරි මහත්තයා හම්බවෙන්න විමල් එනවා. ඇවිත් කොලයක් අතට දීලා කියනවා.. මහත්තයෝ මේ මම ලියපු සින්දුවක්. මං ආයිත් සිංදු ලියන්නේ නෑ. පුලුවන්නම් මේක කියන්න කියලා.
මොහු තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. නන්දසිරි මහත්තයා මේ පදපේලි ටික කියවලා අහනවා ඇයි මේ වගේ එකක් ලිව්වේ කියලා. පිළිතුර වෙන්නේ “මේක මගේ ඇත්ත අත්දැකීමක්”. මේ තරුණයා තරුණියකට ආදරය කරනවා. තරුණිය දෙනියායේ. දෙන්නා ඇත්තටම ආදරය කරනවා. කිසි දවසක වෙන්වෙන්නේ නැ කියලා පොරොන්දු දීගෙන ආදරෙන් ඉන්නවා. ඒත් දෙන්නගෙම දෙමාපියන්ගෙන් නම් මේකට කැමත්ත හම්බවෙන්නේ නැහැ. දෙමාපියන්ගේ බලකිරීමට තරුණිය මේ සම්බන්ධය නතර කරනවා. ආදරයේ නාමයෙන් දුන් පොරොන්දු කඩකරපු එකට මේ තරුණිය අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවනවා. දවසක් තරුණයාට තරුණියගේ තාත්තාගෙන් පණිවිඩයක් එනවා, වහාම ගෙදර එන්න කියලා. තරුණයා හිතනවා එයාලගේ ආදරයට දෙමාපියන්ගේ අකමැත්තක් නැති නිසයි එන්න කිව්වේ කියලා. බොහොම සතුටින් තරුණියගේ ගෙදර යනවා. මග දිගට කොඩි වැල්. ඒ අතරින් යන තරුණයා දකිනවා සුදු වියනක් යට සැතපිලා ඉන්න තමන්ගේ පෙම්වතිය. මේ ගීතයෙන් වියෝගයෙන් මිරිකුනු තරුණයෙකුගේ වේදනාව තමයි අපගේ හදවත් තෙත් කරන්නේ.
Leave a Reply